ලෝකය ජයගත් අභීත නායකයා

මවුබිම ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් දේශප්‍රේමියා

ජනතාවට අසීමිතව ආදරය කළ රාජ්‍ය නායකයන් ද රාජ්‍යනායකයන්ට ආදරය කළ ජනතාව පිළිබඳව ද ලෝක ඉතිහාසයේ සඳහන් වන්නේ ඉතා කලාතුරකිනි.

බලයට පත් වන රාජ්‍ය නායකයා තම අභිමතාර්ථයන් ඉටු කැර ගැනීම උදෙසා ජනතාව බිල්ලට දී ඔවුන්ගේ දහසක් බලාපොරොත්තු සුණු විසුණු කැර දැමූ පසු ජනතාවගේ ද්වේශයට හා වෛරයට පාත්‍රවීම ලොව සුලභ සිද්ධියකි.

ජනතා විශ්වාසය කඩ කළ රාජ්‍ය නායකයන්ව පයින් ඇන විසි කිරීමට ජනතාව පසුබට නොවේ.

එසේම ජනතා සිතුම් පැතුම් ඉටු කිරීමට තම දිවි පරදුවට තබා කටයුතු කරන රාජ්‍ය නායකයන් තම පනසේ ආරක්ෂා කිරීම ජනතාවගේ සිරිතය. මෙය ලෝක දේශපාලනයේ ස්වභාවයයි.

රටක් රාජ්‍යයක් ජයගත් රාජ්‍ය නායකයා බලයෙන් උදම් වීම යනු ඔහුට උන්හිටි තැන් අහිමිවීමය.

‘බලය’ තම සුඛ විහරණය සඳහා නොව ජනතාවගේ සුබ සෙත උදෙසා කැප කරන රාජ්‍ය නායකයා යුගයෙන් යුගයට ජනතා ආදර ගෞරවයට පාත්‍රවේ.

තමා බලයට පත් කළ ජනතාව වෙනුවෙන් හදවත උණුවෙන දෑසට කඳුළු ගලා එන රාජ්‍ය නායකයන් ලොව ඉතා විරලය.

එවන් විරල ගනයේ රාජ්‍ය නායකයකු අද ශ්‍රී ලංකාවේ “ජනාධිපති” පදවිය හොබවයි. ඒ අන් කවරකු නොව මහින්ද රාජපක්‍ෂ මැතිතුමාය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනාධිපතිතුමා ජනතාවට අවංකවම ආදරය කරයි. ජනතාවද ඔහුට අසීමිතව ආදරය කරති.

1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකාවේ ජනතාව 2005 වසර ලබද්දීත් දීන ජාතියක් ලෙස අසරණ වී සිටියහ. ඔවුන් ‘දීන’ වූයේ ලෝකය හමුවේය. ඒ කෑම බීම උදෙසාය. බෙහෙත් හේත් හා වස්ත්‍ර උදෙසාය. විදේශයන්ගෙන් යමක් ලැබෙනතුරු දෑස් අයාගෙන සිටි ජාතියක් තිස් අවුරුදු ත්‍රස්තවාදයෙන් ද පීඩිතව සිටියහ. එදා සිට මෙදා දක්වා ජනතාව විසින් බලයට පත් කළ රාජ්‍ය නායකයන්ට ජනතාවගේ කුසගින්දර නිවීමට තිබූ එකම මඟ විදේශයන්ට දෑත් පෑමය.

ශ්‍රී ලංකාව දෙකඩ කැර උතුරු නැඟෙනහිර ඊළාම් රාජ්‍යයක් උදෙසා අවි අතට ගෙන කෲර ඝාතන සිදුකළ එල්. ටී. ටී. ඊ. කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉදිරියේ පමණක් නොව ලෝක රාජ්‍ය නායකයන් ඉදිරියේ ද ‘බාබු’ වැනි දමිළ කොළු කුරුට්ටන් ඉදිරියේ ද තම ජීවිත දානය ඉල්ලා අපේ රාජ්‍ය නායකයන් දනින් වැටුණ වාර අනන්තය.

ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයන් දීනත්වයෙන් දීනත්වයට පත් වෙමින් රට අරාජික වෙමින්ද ජනතාව මරණ බියෙන් තැති ගැහෙමින් ද හෙටක් ගැන විශ්වාසයක් තැබිය නොහැකිව අන්ත අසරණව යන එන මං නොදැන හතර ගාතෙන් වැටි සිටි අවස්ථාවක 2005 ජනාධිපතිවරණයට කාලය එළඹින.

ජනතා බලයෙන් බලයට පත් වී ජනතා බලාපොරොත්තු සුණු විසුණු කළ ජනතාව කබලෙන් ළිපට ඇද දැමූ දකුණේ පක්‍ෂ විපක්‍ෂ දේශපාලඥයන් බලයෙන් උදම් වී දෑස් අන්දව අත පත ගාද්දී බටහිර ඇතැම් රාජ්‍යයන්ගේ ආධාර උපකාර ඇතුව උතුරේ පමණක් නොව දකුණේ ද බෝම්බයෙන් උණ්ඩයෙන් තම අණසක පතුරමින් රජ ව සිටි ප්‍රභාකරන් හෙට උදාවන තම කළ දවස පිළිබඳ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටියේය.

රුහුණේ ගිරුවාපත්තුවේ අති දුෂ්කර ගම්මානයෙන් 1970 ලාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්‍ෂ නමැති “කොළු ගැටයා” සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමඟ එක්වී බ්‍රිතාන්‍යයේ මහ රැජිණ වෙනුවෙන් සේවය කරන බවට දිව්රුම් දුන්නේය. 1947 සිට පාර්ලිමේන්තුවට පත් වූ සියලු මන්ත්‍රීවරු එතෙක් දිවුරුම් දී තිබුණේ ද බ්‍රිතාන්‍ය මහ රැජිණ වෙනුවෙනි.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ජන රජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කොට ගෙන බ්‍රිතාන්‍ය මහ රැජින වෙනුවෙන් නොව තම රටේ ජනතාව වෙනුවෙන් 1972 මන්ත්‍රීවරු යළි පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙද්දී ජාත්‍යාලයෙන් ඔද වැඩි හිටි සැබෑ දේශප්‍රේමි තරුණයකුගේ තරුණ කටහඬ එකල ගෝල්ෆේස් මහ මුහුද ඉදිරියේ තිබූ පාර්ලිමේන්තුව දෙදරවන්නට සමත් විය.

එදා ජාත්‍යාලයෙන්ද තරුණ බවින්ද දේශප්‍රේමිත්වයෙන් ද ඔද වැඩී ගිය මෙම තරුණ මන්ත්‍රීවරයා 1994 වනතුරු ජනතාවගේ හඬ විය. එජාප කෲර බිහිසුණු රාජ්‍ය පාලනය යුගයේදී තරුණ පරපුරේ ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා ජනාධිපති පාලනයට එරෙහිව ද අභීතව ජනතාව සමඟ මහපාරට බැස සටන් කළ මන්ත්‍රීවරයා දෛවය විසින් උප ඇමැති , ඇමැති විපක්‍ෂ නායක හා අගමැති වශයෙන් ඔසවා තැබූ මේ ශූර වීර මිනිසා 2005 ජනාධිපති වරණයේදී ශ්‍රී. ල. නි. පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් නොකිරීමට දේශපාලන බලධාරීන් බලවත් උත්සාහයක් ගනිමින් සිටි අවස්ථාවක එම අසාධාරණයට අයුක්තියට එරෙහිව එම අභියෝග ජය ගැනීමට මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා සමත් විය.

ජනාධිපතිවරණයේ දී තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කොට රටට ගෞරවණීය සාමයක් උදාකොට බෙදී වෙන් වී තිබූ රට එක්සේසත් කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා මහින්ද චින්තනය මඟින් දුන් ප්‍රතිඥාව ජනතාව හිස් මුදුනින් පිළිගත්තා.

ජනාධිපතිවරණයේදී ශ්‍රී. ල.නි. පක්‍ෂයේම බලවතුන් කකුලෙන් අදිමින් අකුල් හෙලද්දී විපක්‍ෂය ජාත්‍යන්තරය සමඟ එක් වී මහින්ද රාජපක්‍ෂ නැමැති හද්දා පිටිසර ගොවි පුතු රාජ්‍ය නායකත්වයට ඒම වැළැක්වීමට සියලු කූට උපක්‍රම යොද්දී උතුරු නැඟෙනහිර රජ කෙරු ප්‍රභාකරන්ගේ බොරු වළවල් වල නොවැටී සියලු අභියෝග ජය ගත්තේ ය.

අභියෝග ජය ගැනීම මහින්ද රාජපක්‍ෂ නැමැති යුග පුරුෂයාට කිසි කළෙක අභියෝගයක් නොවූ බව එතුමාගේ දේශපාලන ගමන් මගේ රන් අකුරෙන් සනිටුහන් වී තිබේ.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ අධර්මිෂ්ඨ පාලනයට එරෙහිව එදා අභීතව හඬ නැඟූ මහින්ද රාජපක්‍ෂ මහතා 88 - 89 ප්‍රේමදාස භීෂණ යුගයේ තම එඩිතර බවත් නීතිඥ වෘත්තියත් උපයෝගී කොට ගෙන අහිංසක තරුණ තරුණියන් පරණ ටයර් සෑ වල දැවී යාමෙන් වලක්වා ගැනීමට තම ජීවිතය පරදුවට තබා කටයුතු කළේ ය.

එ. ජා. ප. දාහත් වසරක පාලන කාලය තුළ ශ්‍රී. ල . නි. පක්‍ෂය දෙකට තුනට හතරට පහට කැඩී විනාශ වී ගිය යුගයේ ‘පාද යාත්‍රා’ ජනඝෝෂා අරඹමින් නිදා සිටි පාක්‍ෂිකයන් අවදි කරමින් රට අතහැර ගිය පක්‍ෂයට උරුමකම් කියුවන් ආපසු රටට ගෙන ඒමටත් 1994 දී එ. ජා. පය පරාජය කැර බලය ලබා ගැනීමටත් ඉවහල් විය.

තමාට නාම මාත්‍ර ඇමතිකම් ලැබෙද්දීත් පක්‍ෂය අතහැර පලා නොගිය මේ උදාර දේශපාලඥයා තමා ලැබූ අත්දැකීම් හා පන්නරය උපයෝගී කොට ගෙන ප්‍රබල අමාත්‍ය පදවි පරාජයට පත් කරමින් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට සමත්වී ය. සියලු අභියෝග ජය ගනිමින් අගමැති පදවියට පත්වෙන මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකත්වයට පත්වෙන තුරු සංසුන්ව ඉවසීමෙන් කටයුතු කිරීම මොන තරම් දේශපාලඥයන්ට ආදර්ශයක්ද? ඉවසීමෙන් සැනසීම ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමත් සමඟ ශ්‍රී. ල. නි. පක්‍ෂ නායකත්වයට පත් වීමත් සමඟ ගමේගොඩේ ගැමි දේශපාලඥයන්ගේ කළ දසාව යහපත් විය. වරප්‍රසාද ලත් පංතියට පමණක් සීමා වී තිබූ මැති ඇමැති පදවි හද්දා පිටිසරින් තේරී පත් වූවන්ට පිරිනැමිණ.

කොටි ත්‍රස්තවාදීන්ට මුහුණ දෙමින් යුද්ධයට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් ‘ගම’ නඟා සිටුවීම උදෙසා ජාතික සවිය ‘ගම නැඟුම’ , ‘මග නැඟුම’ ව්‍යාපෘති රටට හඳුන්වා දුන් ජනාධිපති තුමා නගරය සේම ගමත් සංවර්ධන කිරීමේ අඩිතාලම දැමීය. මේ වන විට එම සංකල්පය ගම වේගවත් සංවර්ධනයකට යොමු කැර ඇත. ගමේ ගැමි ජනතාවට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබා දීමට අමාත්‍යවරුන් රාජ්‍ය නිලධාරින් සිටිය දී සෘජුවම සම්බන්ධවීමට තරම් සාමාන්‍ය ජනතාව පිළිබඳ හැඟීමක් ආදරයක් සෙනෙහසක් තිබූ රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවෙන් හමු නොවේ.

ත්‍රස්ත ප්‍රහාර මොහොතින් මොහොත උග්‍ර කැර ඊළාම් රාජ්‍ය ස්ථාවර කැර ගැනීමේ අවසන් හිනිපෙත්තට වේළුපිල්ලේ ප්‍රභාකරන් ළඟා වෙද්දී එන පොට හොඳ නැති බව අවබෝධ කොට ගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනතාවගේත් රණවිරුවන්ගේත් පූර්ණ ආශිර්වාදය මැද මානුෂික මෙහෙයුම ඇරඹීය. මානුෂික මෙහෙයුමේ දී සිංහල මුස්ලිම් ජනතාවටත් වඩා දිවි බේරා ගැනීමට හැකිවූයේ උතුරේ එල්. ටී. ටී. ඊ. සංවිධානය ආරක්ෂක වළල්ලක් සේ රඳවා ගෙන සිටි ලක්‍ෂ සංඛ්‍යාත දමිළ ජනතාවය.

එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදයත් ප්‍රභාකරනුත් බේරා ගැනීම උදෙසා මානුෂික මෙහෙයුම තීරණාත්මක අවස්ථාවට පත් වෙද්දී ඇතැම් බටහිර රාජ්‍යයන් මානුෂික මෙහෙයුම නතර කරන ලෙස ජනාධිපති තුමාට කරන ලද බලපෑම් ඉදිරියේ අභීතව කටයුතු කළාසේම තිස් වසරක කෲර ත්‍රස්තවාදයත් එහි නිර්මාතෘ වරයාත් නන්දිකඩාල් කලපුවේ ගිල්වා දැමීමට සමත් විය.

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු බටහිර රාජ්‍යයන්ගේ සෙවනේ වෙසෙන ප්‍රබල කොටි සමඟ එක්වූ දේශීය කොටි ජනාධිපතිතුමා ජාත්‍යාන්තර අධිකරණය හරහා දංගෙඩියට ගෙන යෑමට දරන අමානුෂික උත්සාහය ඉවසීමෙන් ද අධිෂ්ඨානයෙන් ද බුද්ධියෙන් ද යුතුව පරාජයට පත් කිරීමට ජනාධිපතිතුමා සමත්වී සිටි.

දෙවන ජනාධිපතිවරණයේ දී ‘මව්බිම’ ත්‍රස්තවාදයෙන් නිදහස් කැර ගත් “දේශප්‍රේමියා” සියයට හැටක ජන වරමකින් යළි ජනාධිපති පදවියට පත් කිරීමට තරම් මේ රටේ ජනතාව කෘතවේදී වූහ.

රටට සාමය උදාකළ ජනාධිපතිතුමා මේ රට බත බුලතින් ස්වයංපෝෂිත කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ඇරඹූ අතර පළමු ජනාධිපති කාලයේදී මේ රටේ ගොවි ආර්ථිකය සවිමත් කිරීම උදෙසාත් රට සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහාත් වසරකට රුපියල් දස ලක්‍ෂ පනස් දහසක පොහොර සහනාධාරය ලබාදීමේ ප්‍රතිඵලය අද ජාතිය භුක්ති විඳිමින් සිටිති. රසායනික පොහොර සහනාධාරය සේම කාබනික පොහොර සහනාධාරයක් ලබන ජනවාරි මස සිට මේ රටේ ගොවි ජනතාවට ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කැර තිබේ.

මේ රටේ හැම පවුලක්ම නගා සිටුවීම උදෙසා ජනාධිපති තුමාගේ මග පෙන්වීම යටතේ ඇරඹි දිවි නැඟුම පවුල් දස ලක්‍ෂයක ඉලක්ක කැර ගත් වැඩසටහන සාර්ථක වී ඇති අතර පසුගිය 28 දා තවත් පවුල් 15 ලක්‍ෂයක් සම්බන්ධ කැර ගැනීමේ දිවිනැඟුම දෙවන අදියර ඇරඹිණි.

අසීමිතව ජනතාවට ආදරය කරන ජනාධිපති තුමා සැබෑ බෞද්ධයෙකි. උතුම් වූ දළඳා සමිඳුන් වැඳ පුදා ගැනීමටත් ජය ශ්‍රීමා බෝ සමිඳු වැඳ පුදා ගැනීමටත් නිරන්තරයෙන් පැමිණෙන මෙම රාජ්‍ය නායකයා ජාතික සවිය ගම නැඟුම යටතේ මේ රටේ සියලු ආගමික සිද්ධස්ථාන දියුණු කිරීම උදෙසා මූල්‍ය ආධාර ලබා දෙමින් සිටී.

තිස් වසරක යුද්ධයේ දී විනාශ වී නටඹුන් වී ගිය උතුරු නැඟෙනහිර පළාත් යළි නඟා සිටුවීම උදෙසා නැඟෙනහිර නවෝදය සංවර්ධන ව්‍යාපෘතියත් උතුරු වසන්තය සංවර්ධන ව්‍යාපෘතියත් ඇරඹූ ජනාධිපති තුමා දකුණේ ජනතාවට සේම උතුරු නැඟෙනහිර ජනතාවටත් එක සේ ආදරය කරයි.

2006 ජූනි 15 දින කැබිතිගොල්ලෑව බස් බෝම්බ මහා ඛේදවාචකයේ දී ආරක්ෂක අංශ උපදෙස් පවා නොතකා තම දිවි පරදුවට තබා කැබිතිගොල්ලෑවට පැමිණි ජනාධිපති තුමා මළ සිරුරු බදාගෙන හඬන ඥාතීන් හමුවේ වාවා ගත නොහැකි ශෝකයෙන් ලමැද තද කැර ගෙන සිටි වේදනාව තවත් දරා ගත නොහැකිව ජනාධිපති තුමාගේ දෑසින් කඩා හැලුන කඳුලු කැටි ලොව සියලු රාජ්‍යනායකයන්ට ආදර්ශයක් වන්නේ නම් මේ ලොව මොන තරම් සුන්දර ස්ථානයක් බවට පත්වේද?

ජනාධිපතිතුමාගේ වේදනාවෙන් බර මුහුණෙන් දෑසින් කඩා හැලුන උණු කඳුලුත් ජනතා දුකේදී උණුවෙන හදවතක් ඇති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ සංවේදිතාවය දුටු එදා අනුරාධපුර දිස්ත්‍රික් එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. බී. ඒකනායක මහතා එ. ජා. පය අතහැර ජනාධිපති තුමා සමඟ එක්වීම ද රටක් ජාතියක් රුදුරු ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට අවංක හා නිවැරැදි උත්සාහයක නිරත වී සිටි ජනාධිපති තුමාට ශක්තියක් වීමට එ. ජා. ප. නියෝජ්‍ය නායක තුමා ඇතුළු මන්ත්‍රීවරු දහ අට දෙනෙකු එක්වීම ද ජනාධිපතිතුමා ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයෙකි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා වැනි මානව හිතවාදී අවංක සෘජු ජනතාවට ආදරය කළ නායකයන් ලෝක දේශපාලන ඉතිහාසයේ ඉතා විරල වූවා සේම තවත් අවුරුදු දහසකටවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා වැනි සංවේදී රාජ්‍යනායකයකු මේ රටේ පහළ නොවනු ඇත. මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ගොවි ජනතාව වෙනුවෙන් එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.