ප්‍රවාහන සේවයේ සැබෑ දියුණුවක් ඇති වූ යුගයක්

ප්‍රවාහන සේවයේ සැබෑ දියුණුවක් ඇති වූ යුගයක්

ඕනෑම රටක ජාතික සංවර්ධනයෙහිලා ප්‍රධාන වශයෙන් බලපාන සාධක අතරින් ප්‍රධානම සාධකය වන්නේ එරට ප්‍රවාහන සේවාවයි. ආර්ථික සමාජයීය සංස්කෘතික කවර අන්දමේ දියුණුවක් සඳහා වුවද ප්‍රවාහන සේවාව තුළින් ඉටුවන්නේ ඉමහත් සේවාවකි. පොදු ප්‍රවාහන සේවාව මේ අතරින් ඉතා වැදගත් වෙයි.

අපේ රටේ පොදු ප්‍රවාහන සේවාවන් තුළින් සියයට 75 ක් පමණ මගී අවශ්‍යතා ඉටුකරයි. මහින්ද චින්තනය අනුව තිරසාර ප්‍රවාහන සේවාවක් ගොඩ නැගීමේ භාරදූර කාර්යය දැන් රජය අරඹා තිබේ. අපේ රටේ පොදු ප්‍රවාහනය ගැන සැලකීමේදී දුම්රිය ශ්‍රී ලංගම හා පුද්ගලික යන අංශ ප්‍රධානත්වයක් උසුලයි. එම පොදු සේවාවන් ගුණාත්මක සුවපහසු මෙන්ම කලට වේලාවට ගමනාන්තය දක්වා යාමේ ඉලක්කය සපුරාලීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙයි. පොල් රුප්පාවලින් තල් රුප්පාවට ප්‍රවාහන පහසුකම් සැලසීම ලබා ඇති විශේෂ ජයග්‍රහණයකි.

දුම්රිය සේවාව මඟින් අතර වඩාත්ම ජනපි‍්‍රය බවට පත්ව ඇත්තේ අඩු වියදමකින් වැඩි සේවාවක් සපයා ගත හැකි නිසාය. මගී ප්‍රවාහනය මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට ද ඒ තුළින් ඉමහත් සේවාවක් සැලසේ. සංචාරක කර්මාන්තයටද එය ඉතා සමීපව තිබේ.

ශ්‍රී ලංකාවේ දුම්රිය ධාවනය කිරීමේ මූලික අඩිතාලම වැටුණේ 1845 වසරේදීය. 1864 දෙසැම්බර් 27 වැනිදා කොළඹ සිට අඹේපුස්ස දක්වා ධාවනය කිරීමෙන් ඇරඹුණු දුම්රිය සේවාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය යටතේ වඩාත් ආකර්ෂණීය සේවාවක් සපයා දෙමින් වැඩි මගී ජනතාවක් දුම්රිය වෙත අද්දවා ගැනීමට කටයුතු කර තිබේ.

දුම්රිය ඇණියට බලවේග කට්ටල වැඩියෙන් දුම්රිය එක් කිරීම ද්විත්ව දුම්රිය මාර්ග සැකසීම නවීන සංඥා හා විදුලි සංදේශ ක්‍රම භාවිතා කිරිම් ඇතුළු පියවරවල් රැසක් ගෙන තිබේ. උඩරට මාර්ගයේ ප්‍රධාන ගැටලුවක්ව පැවැති එන්ජින් හිඟය මගහැරවීම සඳහා බලවේග කට්ටල දුම්රිය හඳුන්වා දීම පිළිබඳව ද අවධානය යොමුකර තිබේ.

දිනකට ලක්‍ෂ5 ක පමණ මගී ජනතාවක් සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගන්නා දුම්රිය සේවය තවත් ගුණාත්මක බවට පත්කිරීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළවල්වල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී.

දිනකට දුම්රිය ගමන්වාර 320ක් පමණ ධාවනයකරන අතර ධාවනයට යෙදවිය හැකි දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල ප්‍රමාණය 141 කි. ඉදිරි වසර නිමවීමට පෙර තවත් බලවේග කට්ටල දුම්රියට එක්කිරීමට සැලසුම් කර තිබේ.

එස් 11 බලවේග කට්ටල දුම්රිය 20 ක් ගෙන්වීමේ ව්‍යාපෘතියක් තවත් කට්ටල 11 ක් ළඟදීම ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක්වේ.

රැකියා සඳහා යන සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සඳහා රඹුක්කන සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය එන්ජින්වලට අමතරව බලවේග කට්ටල දුම්රිය යොදවා තිබේ.

දක්ෂිණ අධිවේගී දුම්රිය මාර්ගයේ ඉකුත් කාලය තුළදී ඇරඹූ ප්‍රධාන ව්‍යාපෘතියකි. ඉන්දියාවේ ඉර්කොන් සමාගමේ අනුග්‍රහයෙන් ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය නිම කිරීමෙන් පසු පැයට කිලෝ මීටර් 100 ක වේගයෙන් කොළඹ සිට මාතරට යාමට හැකිවේ. යාලදේවි දුම්රිය වසර 30කට පමණ පසු සිය ගමන් ඇරඹුවාය.

දුම්රිය දෙපාර්තමේන්තුමේ යෝධ පිම්මක් වන වව්නියාවේ සිට කන්කසන්තුරේ දක්වා වූ උතුරු දුම්රිය මාර්ගය ඉදිවෙමින් පවතී. මෙහි දුර කිලෝමීටර් 159 ක් වන අතර, පාලම් 85 ක් දුම්රිය ස්ථාන 16 ක් හා උප දුම්රිය ස්ථාන 12 කින් යුක්තය.

මැදවච්චිය තලෙයිමන්නාරම මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද දැවැන්ත ව්‍යාපෘතියකි. එහි දුර කිලෝමීටර් 110 ක් වන අතර මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 24570 ක් වෙයි. 2016 වසර වනවිට දුම්රිය මගී ප්‍රමාණය සියයට 6 සිට 10 දක්වාත් භාණ්ඩ ප්‍රවාහනය සියයට 2 සිට 5 දක්වාත් වැඩි කිරීමට සැලසුම් කොට තිබේ.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ තෝරාගත් දුම්රිය ස්ථාන සියයක් මගී ප්‍රවාහන පහසුකම් වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර ඒ යටතේ මේ වනවිට දුම්රිය ස්ථාන 10 ක් සංවර්ධනය කර තිබේ.

ජා ඇළ සිට සීදුව දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම, කැලණිවැලි මාර්ගයේ වේගසීමා ඉවත්කිරීම, අනුරාධපුරයේ සිට උතුරු දුම්රිය මාර්ගය සඳහා සංඥා පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ගිවිසුම් අස්සන් කිරීම සිදුකර ඇති සංවර්ධන ක්‍රියා අතර වේ. ඉන්ධන ප්‍රවාහනය සියයට 60 සිට 75 දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කර තිබේ.

දුම්රිය එන්ජින් හා මැදිරි පුනරුත්ථාපනය කඩිනම් කිරීම තුළින් දුම්රිය ධාවනයට දුම්රිය යෙදවීම වේගවත් කර තිබේ. කඩාවැටෙමින් තිබූ ලංගම ශක්තිමත් කිරීමට මහින්ද චින්තනය යටතේ ඇති පියවරවල් නිසා අද එය මගී ජනතාවගේ ප්‍රසාදය හිමිවන තැනට පත්වෙමින් තිබේ. ලංගම බස් රථ ඇණිය 7000 දක්වා වැඩිකර ගැනීමට ප්‍රවාහන ඇමැතිවරයා පියවර ගෙන තිබේ.

ලංගම පුද්ගලික ඒකාබද්ධ කාලසටහන් ඇරඹීමෙන් පසු ලංගම බස් රථ සියයට 40 ක් හා පුද්ගලික බස් රථ සියයට 60 ක් ද වන ලෙස ධාවනය යෙදවීමට තීරණය කර ඇති අතර ඒ අනුව මගීන්ට ඉතා ගුණාත්මක සේවාවක් ලබාදීමට හැකිවේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශ මුදා ගැනීමෙන් පසු එම ප්‍රදේශවල සිටින මගී ජනතාවගේ මගී අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා උතුරු වසන්තය හා නැඟෙනහිර උදානය යටතේ අලුතින් බස් රථ යොදවා තිබේ. උතුරු වසන්තය යටතේ යාපනය වව්නියාව ත්‍රිකුණාමලය මඩකලපුව ඇතුළු මාර්ග 12 ක බස් රථ 30 ක්ද, නැගෙනහිර උදානය යටතේ මාර්ග 4 ක බස් රථ 38 ක්ද යොදවා තිබේ.

බස් රථයක් සඳහා ප්‍රශස්ත මගීන්ට යහපත් සේවාවක් ලබාදීම සඳහා ඩිපෝවල කාර්යක්ෂමතාව වැඩිකිරීම පිණිස ඵලදායිතා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ අතර රුපියල් මිලියන 46.2 ක වියදමින් බුලත්සිංහල හොරොව්පතාන ඩිපෝ හා ඒකල අම්පාර කළුදෑවල ටයර් කර්මාන්ත ශාලා ද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ සනීපාරක්ෂක පහසුකම් ඉදිකර තිබේ.

ඩිපෝ 17 ක් නවීකරණය කර ඇති අතර විවිධ අංශ යටතේ පුහුණු කිරීම් සිදුකර තිබේ.

ලීසිං ක්‍රමය යටතේ දොර දෙකේ බස් රථ 1000ක් ධාවනයට යෙදවීමට සැලසුම් කර ඇති අතර වසර 20 කට පසුව යාපනයේ සිට කොළඹට ශ්‍රී ලංගමින් ප්‍රවාහන සේවා යොදවා තිබේ.

සමස්ත දුම්රිය කාලසටහන්වලට සමගාමීව රටපුරා බස් සේවාවක් පැවැත්වීම සිදුකෙරේ. මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා නුගේගොඩ වෛද්‍ය ආයතනයේ ශාඛා පිහිටුවා තිබීම නිසා කොළඹට නොපැමිණ සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට ජනතාවට හැකි වී තිබේ.

ආසියාවේ හොඳම සේවාවක් ඇති රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ සිහිනය දැන් ඉටුවෙමින් පවතින බව මගී ජනතාවට ද දැනෙන්නට පටන් ගෙන තිබේ.