ජනපති චින්තනයේ අසිරිය

ජනපති චින්තනයේ අසිරිය

ජනාධිපතිතුමාගේ 67 වැනි උපන් දිනය සමරණ මේ මොහොතේ මහින්ද චින්තනයට පදනම් වූ දර්ශනය හා සංකල්ප පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහයක් කිරීම වැදගත් යයි මම සිතමි.

බුදු දහමේ එන ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා එම දර්ශනය, මෙහිදී මාගේ සිතට නිතැතින් සිහියට නැගේ. ඕනෑම දෙයක් ගැන හෝ, ඕනෑම කාරණයක් ගැන මූලික වශයෙන්, කිසියම් දර්ශනයක් හෝ දැක්මක් ඇති වන්නේ ය. එය සම්‍යක් දෘෂ්ටිය හා මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දෙකොටසකට බෙදේ. සම්‍යයක් දෘෂ්ඨිය වැඩිය යුතු ධර්මතාවයක් වන අතර, මිථ්‍යා දෘෂ්ටිය, අත්හළ යුතු ධර්මතාවයකි. කුසල අකුසල දෘෂ්ටි වශයෙන් හඳුන්වනු ලබන්නේ ද එයම වේ.

යහපත් දෘෂ්ටිය මුල් වීමෙන්,

යහපත් සංකල්ප ඇතිවේ.

යහපත් සංකල්ප මුල්වීමෙන්,

යහපත් වචන ඇතිවේ.

යහපත් වචන මුල්වීමෙන්,

යහපත් ෙඓතසික හා ශාරීරික ක්‍රියා ඇතිවේ

යහපත් ක්‍රියා තුලින් යහපත් පැවැත්ම ඇතිවේ.

යහපත් පැවැත්ම මුල් වීමෙන් යහපත් උත්සාහය ඇතිවේ

යහපත් උත්සාහය තුළින් යහපත් සිහිය හා බුද්ධිය ඇති වේ.

ජනපතිතුමාගේ වැඩිමහල් සොයුරිය ජයන්තිි රාජපක්ෂ විවාහ දිවියට ඇතුළත් වූ දින සිය මව සහ සහෝදර සහොදරියන් සමඟ ගත් ඡායාරූපයක්

යහපත් සිහිය හා බුද්ධිය මුල් වීමෙන් චිත්ත සමාධිය හෙවත් සැනසීම ඇතිවේ.

එම සැනසීම, ලෞකික සැනසීම හා ලෝකෝත්තර සැනසීම වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. බුදු දහමට අනුව පුද්ගලයා තුළ ඇතිවන උතුම් සැනසීම වන්නේ “නිර්මාණය” යි.

“මහින්ද චින්තනය” හෙවත්, මහින්ද දර්ශනය වන්නේ, මධ්‍යම ප්‍රතිපදාව පදනම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයම බව ඉතා පැහැදිලිය ඒ අනුව මහින්ද චින්තනය ද,ලෞකික, පැත්තෙන් පටන් ගෙන ලෝකෝත්තර පැත්ත දක්වා එකිනෙකට බැඳී පවතින දෘෂ්ටි පද්ධතියකි.

සබ්බේ සත්ථා - ආහාරට්ඨිකා

(සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත් වෙති)

සියලුම සත්ත්වයන්ගේ ලෞකික දිවි පැවැත්මට මූලික හේතු වූ වන්නේ, ආහාරයයි. ආහාර ඉබේ පහළ නොවේ. එය තම සිත කය වෙහෙසා ලබා ගැනීමෙන් කළ යුතු වේ. මේ තත්ත්වය අවබෝධකරගත් ජනාධිපතිතුමා, එල්.ටී.ටී.ඊ. යුද්ධය පවතිද්දීම ආහාර බෝග නිපදවීමේ කාර්යයට මූලිකත්වය ලබාදුණි.

යුද්ධ පැවැති ප්‍රදේශවල හැර රටේ සෙසු පළාත්වල භෝග නිපදවීම ක්‍රියාත්මක කළේ ය. යුද්ධයෙන් පසු රටපුරා ඇති වූ සාමකාමී වාතාවරණය යටතේ, රට පුරාම එය ව්‍යාප්ත කළේ ය. මේ මොහොත වන විට එහි ප්‍රතිඵල භුක්ති විඳීමට ජනතාවට හා නිෂ්පාදකයනට හැකිවීම ජනාධිපතිතුමා ලැබූ විශාල ජයග්‍රහණයකි. මේ තත්ත්වය ජාත්‍යන්තර වශයෙනුත්, පිළිගැනීමට ලක් වී තිබීම, ජනාධිපතිතුමාගේ කීර්ති ප්‍රසංශාවට හේතු වී තිබේ. ආදර්ශමත් රාජ්‍ය නායකයකුගේ තත්ත්වයට පත්ෙමින් තිබීම, අප රටෙත් ජනතාවගෙත් අති විශිෂ්ට ජයග්‍රහණයකි. ජනතාවගේ කැපවීම මත එය ඉතා සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ වෙමින් පවතී.

ආහාර බෝග නිෂ්පාදනය කිරීම පමණක් නොව, කාර්මික අංශයේ නිෂ්පාදනය ද විධිමත් පරිදි සිදු කරමින් ආසියාවේ අසිරිය බවට පත් කිරීමේ කාර්යභාරය ඉතා සාර්ථක තත්ත්වයට ගෙන එමින් පවතී. ආහාර නිපදවීම පමණක් නොව, ඒවා සුරක්ෂිත කොට රටපුරා ජනතාව අතර සහන මිල ක්‍රමයක් යටතේ බෙදා හැරීම ද සිදුවෙමින් පවතී. ඒ තුළින් ජනතාව තුළ දිනෙන් දින ඇතිවන මානසික හා ශාරීරික ප්‍රබෝධය දකින්න ජනාධිපතිතුමාට ඇති වන්නේ අති විශාල ප්‍රබෝධයකි. සැනසීමකි. එය ලෞකික සැනසීම වේ.

ලෞකික සැනසීමෙන් තොරව, ලෝකෝත්තර සැනසීමක් ඇති නොවේ. ඒ අනුව ලෞකික සැනසීමේ කෙළවරට පැමිණි පසු, ලෝකෝත්තර සැනසුම් මාර්ගයට පිවිසේ පරමාර්ථ වශයෙන් ගත් විට, මහින්ද චින්තනයේ උපරිම අවස්ථාව යොමු වී ඇත්තේ, නිර්මාණ මාර්ගයට බව ඉතා පැහැදිලිය.

අශෝක ධර්මය හා මහින්ද චින්තනය අතර සමාන කමක් තිබේද?

දඹදිව අශෝක අධිරාජයා, ලොව පළමු වන වරට, තම රාජ්‍ය ප්‍රතිපත්ති හා එතුමාගේ දර්ශනය “අසෝක ධර්මය, නමින්, තම අධිරාජ්‍ය පුරාම, ශිලා ලේඛණ, ටැම් ලිපි, පුවරු ලිපි, මඟින් ප්‍රසිද්ධ කර ඇත. සියලුම රට වැසියෝ මාගේ දරුවෝ ය” (ඝවේ මුණිසේ පජ මම ) යන පාඨය, රට පුරාම ප්‍රසිද්ධ කරවීය. එතුමාගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය “ධර්ම විජය” හෙවත් ධර්මයෙන් ජය ගැනීමේ ප්‍රතිපත්තිය විය.

ජනපතිතුමාගෙන් පාසල් සිසුවියන් තිළිණ ලබමින්...

මහින්ද චින්තනයද, අශෝක අධිරාජයාගේ ධර්ම විජය ප්‍රතිපත්තියට හා අශෝක ධර්මයට බෙහෙවින් සමාන වේ. අශෝක රජුගේ මුල්ම ප්‍රතිපත්තිය වූයේද, කෘෂි කාර්මික වගාව තුළින් ආහාර බෝග වගා ව්‍යාපාරය දියත් කිරීමයි තම අධිරාජ්‍යය පුරාම එය ව්‍යාප්ත කෙළේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද, ධර්ම විජය ප්‍රතිපත්තියෙහි පිහිටා, ත්‍රස්තවාදී යුද සමයේ, සතුරු පක්ෂ සමග කටයුතු කළේ, මානූෂ්‍යවාදී, දැහැමි ප්‍රතිපත්තියක පිහිටා සිටය. කෝපාවිෂ්ටව, වෛර සිතින් නොවේ. හමුදාවට යටත් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයනට සැලකූ ආකාරය, මුළු ලොවටම ආදර්ශයක් විය. ඔවුන්ට සැලකූයේ සතුරු ආකාරයට නොව, නොමග ගිය තම රටේම දූදරුවන් ලෙසය.

පුරවැසියන් ලෙසටය. ජනපතිතුමාගේ කාරුණික බව, අනුකම්පාව, මෛත්‍රී ගණය ප්‍රකට වූ අවස්ථාවක් විය. ලෝක ඉතිහාසයේ සිදුවූ මෙවැනි අවස්ථාවලදී, එම , රාජ්‍ය නායකයන් හා හමුදාවන් ක්‍රියා කළ අමානුෂික ක්‍රියා කලාප හා සසඳන විට අපගේ ජනාධිපතිතුමාගේ හා ආරක්ෂක හමුදාවේ උතුම් මානුෂවාදී ගුණය මුළු ලොවටම ප්‍රදර්ශනය විය. අශෝක රජතුමාගේත් ජනාධිපතිතුමාගේත් කෘෂි කාර්මික ප්‍රතිපත්තියේ කැපී පෙනෙන විශේෂ ලක්ෂණයක් වූයේ එය මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව සත්ත්ව වර්ගයාදට පිහිට වූ ප්‍රතිපත්තියක් වීමයි. අශෝක රජතුමා මුළු අධිරාජ්‍ය පුරාමත්, මංමාවත් හා ගම්, නියම්ගම් වල හා නගරවලද, මංමාවත් දෙපසද, ගහ කොළ, පලතුරු, බෙහෙත් පැළෑටි රෝපණය කරවීය. එයින් සෙවණත්, ආහාර ප්‍රශ්නය විසඳීමටත් හැකි විය.

වැසියාගේ ජලප්‍රශ්නය විසඳීම සඳහා, ගම් දනව්වල හා නගරවල හා මග දෙපස ළිං, පොකුණු හා ජලාශ තැනවීය. ධර්ම මහාමාත්‍යවරු පත්කොට, විවේක ස්ථාන ඉදිකරවීය. රට පුරා වෙහෙර විහාර අසූහාර දහසක් ඉදිකරවා රට වැසියා වන්දනාවට උනන්දු කළේ ය. රටපුරා චෛත්‍ය, වන්දනාමාන ස්ථාන ඉදිකර වීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාද, මෙම දර්ශනය මත පිහිටා කටයුතු කරන ආකාරය අපට දැක ගත හැකිය.

ආහාර, විදුලිය, ජලයෝජනා ක්‍රම , වැව් අමුණු, හා ජලමාර්ගද, අධිවේගී මාර්ග, ගුවන් පාලම්, දුම්රිය මාර්ග ඉදිකිරීම ද, වෙහෙර විහාර අලුතින් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම ද, පළාත් හතේම විශාල චෛත්‍ය 7 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබීම ද අනෙකුත් ආගමික සිද්ධස්ථාන ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණයද, ශීඝ්‍ර ලෙස මහින්ද චින්තනය යටතේ සිදුවෙමින් පවතින ආකාරය දෙස් විදෙස් රටවල බලවත් ප්‍රසාදයට හේතු වී තිබෙන ආකාරය සංචාරකයින්ගේ හා විදේශී රාජ්‍ය නියෝජිතයින්ගේ ප්‍රකාශන තුළින් සනාථ වේ.

අශෝක ප්‍රතිපත්ති හා අශෝක ධර්මය හා දර්ශනය තුළින් සිදුවූයේ කෙටි කාලීන සේවයකි. එතුමාගේ අභාවයෙන් පසු අශෝක ධර්මය විවිධ හේතූන් මත පරිහානියට ගොදුරු විය. නමුත් අශෝක රජුගේ ධර්මදූත ව්‍යාපාරය හා 3 වන ධර්ම සංඝායනාව, ඉතා සාර්ථක විය. එතුමාගේ ධර්ම දූත ව්‍යාපාරයට සමකළ හැකි ව්‍යාපාරයක් මෙතෙක් ලොවේ ඇති වූයේ නැත. තම අධිරාජ්‍යය පුරාමත් විදේශීය රටවල් ඇතුළු මුළුමහත් ලෝකයටත් ඉතා වටිනා දහමක් වශයෙන් බුදු දහම ප්‍රචලිත වී ස්ථාපිත වූයේ ය. ධර්මදූත ව්‍යාපාරයේ සාර්ථකත්වය අද මුළු ලෝකයටම ඔප්පු වී හමාරය.

ජනාධිපතිතුමා, කුඩා කාලයේ සිටම හැදී වැඩුණේ , ගැමි සංස්කෘතිය පදනම් කරගෙනය. පිටිසර බද ගැමි ජනතාව, ගහකොළ හා සතුන් , සිව්පාවුන්, ගැමි ආහාර පාන ගැමි ඇඳුම් පැළඳුම්වලට හුරු වූ අයෙකි. කුඹුරු ගොවිතැන හේන් ගොවිතැනට හුරු වූ අයෙකි. අසල්වාසීන්, ගැමි ජනතාව , ඥාතීන් හිත මිතුරන් සමග අවංක කතාබහ ඇසුර, හැම දෙනාගේම ආදරය ගෞරවයට, සැලකිල්ලට භාජනය වූ අයෙකි. එතුමා තුළ එම උතුම් ගතිගුණ පිහිටා තිබෙන්නේ තම පවුල් පරම්පරාවේ චාරිත්‍ර ධර්ම හා ගති සිරිත් අනුවය. ඒවාට ජනතාව දැක්වූයේ පුදුම ආදරයකි. ගෞරවයකි. පිළිගැනීමකි. එදා සිට මේ දක්වාත් එහි කිසිදු අඩුවක් සිදු වී නැත. දිනෙන් දින ජනතාවගේ ආදරය ගෞරවය වැඩිවනවා මිස කිසිම අඩුවක් සිදු වී නොමැත. රාජපක්ෂ පරපුරේ දෙදෙනෙකු මේ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවටත්, පාර්ලිමේන්තුවටත්, මහජනතාවගේ වැඩි ඡන්දයෙන් තෝරා පත් කර යවා ඇත. මෙවැනි ආදර්ශයක් අප රටේ කිසිදු පවුල් පරම්පරාවකින් මෙතෙක් ලැබී නැත.

ඩී. ඒ. රාජපක්ෂ මහතා සහ දරුවන් ...

දේශපාලනයට පැමිණි පිළිවෙල අනුව මෙම ඓතිහාසික වාර්තාව පිහිටුවා තිබෙන්නේ.

1. ඩී.එම්.රාජපක්ෂ

2.ඩී.ඒ.රාජපක්ෂ

3.ජෝර්ජ් රාජපක්ෂ

4.ලක්ෂ්මන් රාජපක්ෂ

5.මහින්ද රාජපක්ෂ

6.නිරූපමා රාජපක්ෂ

7.චමල් රාජපක්ෂ

8.ශෂීන්ද්‍ර රාජපක්ෂ

9.බැසිල් රාජපක්ෂ

10.නාමල් රාජපක්ෂ

දකුණේ රෝහණ පුරවරයේ , හම්බන්තොට , වීරකැටියේ මැදමුලන ගම්මානයෙන් මෙතරම් සංඛ්‍යාවක් , දිගින් දිගටම තම නියෝජිතයන් වශයෙන් ජනතා ඡන්දයෙන් තෝරා පත් කිරීමට හේතු කාරණා විමසා බැලීම වැදගත්වේ.

1.ගැමි සුවඳ හොඳින් හඳුනන ගැමියන් වීම

2.ආදරය, කරුණාව, මෛත්‍රිය හා වීරත්වයෙන් යුතු අය වීම

3.මිනීමැරීම්, හොරමැරකම්, වංචාව, ස්ත්‍රී දූෂණය, පගා ගැහීම පිටු දැකීම

4.භික්ෂූ සංඝයාට පුද පූජා ආදරය, ගෞරවය දක්වන පිරිසක් වීම

5.වැසියාගේ දුකේදීත් සැපතේදීත් ඔවුන් හා එකට සිටීම

6.නෑදෑ හිත මිතුරන්ට ආදර ගෞරවයෙන් සංග්‍රහ කිරීම

7.පංචශීලය ආරක්ෂා කරණ ගුණ සම්පන්න පිරිසක් වීම

මෙවැනි වාර්තාවක් ලෝකයේ වෙනත් කිසිම රටක ඇතැයි මම නොසිතමි. මෙය ඓතිහාසික වාර්තාවක් පමණක් නොව ගිනස් පොතේද සටහන් විය යුතු වාර්තාවක් ලෙස මම දකිමි.

ජනාධිපතිතුමාගේ උපන් දිනය සහ පදවි ප්‍රාප්තිය සමරන මෙම අවස්ථාවේදී එතුමාගේ අනාගත බලාපොරොත්තු හා සියලු භාරයයන්, රත්නත්‍රයේ හා දළදා සමිඳුන්ගේත් ශ්‍රී මහා බෝ සමිඳුන්ගේත් , සියලු ඉෂ්ඨ දෙවි දේවාතාවනුගේත් , ආරක්ෂාව පිහිට, ආශිර්වාදය, ලැබේවා! සියලුම කටයුතු ඉතාමත් හොඳින් සාර්ථක ලෙස ඉෂ්ඨ සිද්ධ වේවා!