කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට විශේෂ වැඩපිළිවෙළක්

කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට විශේෂ වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවට සාපයක් වී තිබු කුරිරු කොටි සංවිධානය අද නැත. සමස්ත දේශයම අද යළි පිබිදී තිබේ. මුළු මහත් ශ්‍රී ලංකාවම අද ඉවක් බවක් නොමැති සංවර්ධන යුද්ධයකට මැදි වී ඇත. එම සංවර්ධන ව්‍යාපෘති සියල්ල ක්‍රියාත්මක වන්නේ මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් කරුණු එකක් නෑර ජයග්‍රහණය කරවීමේ අහිලාෂයෙනි. මේ උදා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හය වැනි පදවි ප්‍රාප්තියයි.

ඉකුත් වසර හයක කාලය මේ රටේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් බැවින් එය ශ්‍රී ලාංකික කිසිවකුටත් අමතක නොවේ. රට තස්ත්‍රවාදීන්ගෙන් බේරා ගැනීමේ මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක කරන අතරම වසර 30 ක් පුරා රටට නොලැබුණු සංවර්ධන ව්‍යාපෘති රැසක් රජය ක්‍රියාත්මක කළේය. මේ රටේ ජීවනාලීය කෘෂිකර්මාන්තය බව නොපිළිගන්නා අයෙක් නැත. එදා ඈත අතීතයේ මෙන් මේ රට සහලින් ස්වයං පෝෂිත කිරීමේ වගකීම ද රජය බාර ගන්නේ මේ මානූෂික මෙහෙයුම ක්‍රියාත්මක කරන අතරමය.

රජය මේ රටේ ගොවි ජනතාවට නව ජීවයක් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගත්තේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අභියෝගය කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාට බාර දුන්නේය. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ගොවි ජනතාව නඟා සිටුවීමත් දේශීය නිෂ්පාදන නඟා සිටුවීමත් වෙනුවෙන් ගත හැකි සියලු පියවරයන් ක්‍රියාත්මක කිරීම ඒ අනුව ආරම්භ කෙරිණි.

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව එම අභියෝග ජය ගැනීමට පසුගිය වසර හය තුළ කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කළ වැඩසටහන් රැසකි. ඉන් පළමුවැන්න පොහොර සහනාධාරයයි. ගොවීන්ට අවශ්‍ය පොහොර මිටියක් රුපියල් 350 ක සහන මිලට ලබා දීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටියි.

මේ පොහොර සහනාධාරය සඳහා වසරකට රුපියල් මිලියන පනස් දහසක් රජය වැය කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. මේ පොහොර සහනාධාරය නිසා අද කෘෂිකර්මාන්තයේ විශාල දියුණුවක් තිබෙන බවත් රට සහලින් ස්වයංපෝෂිත වී ඇති බවත් ඇමැතිවරයා පවසයි.

මීට අමතරව එළවළු, අර්තාපල්, මුංඇට, කව්පි වැනි ආහාර ද්‍රව්‍යවලින් ද මේ රට ස්වයංපෝෂිත වී ඇතැයි හෙතෙම සඳහන් කරයි. සියයට විස්සක් ව පැවැති බඩඉරිඟු නිෂ්පාදනය සියයට අසූපහක් දක්වා වර්ධනය වූයේද මේ පොහොර සහනාධාරය හේතුවෙන් බවද අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන් මේ පොහොර සහනාධාර වැඩපිළිවෙළ නිසා ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන ඒම සම්පූර්ණයෙන් නවතා ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෘෂිකර්මාන්තය නඟා සිටුවීමේ අරමුණෙන් රජය ඉකුත් වසර හයේ දී ක්‍රියාත්මක කළ තවත් විශේෂ වැඩපිළිවෙළක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ හදුන්වා දිය හැකිය. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජය වසරකට රුපියල් මිලියන 700 ක් වැය කළ බව කෘෂිකර්ම ඇමැතිවරයා පවසයි.

ඉකුත් වසර හයේ දී එළවළු හා පළතුරු අපනයනය බෙහෙවින් දියුණු වූ බවත් ඒවා සාම්ප්‍රදායික නොවන ආහාර ලෙස දැන් පිටරට යවන බවත් පැවසීය.

රජය මෙරට කෘෂිකර්මාන්තයට නව පණක් දීම වෙනුවෙන් ආරම්භ කළ අපි වවමු – රට නගමු වැඩසටහනට මෙරට මෙන්ම පිටරටවල් වලින් පවා දැඩි ප්‍රසාදයක් හිමි විය. මේ වැඩසටහන් නිසා මේ රටේ සෑම පුරවැසියෙක්ම වගා කීරීමට පෙළඹුණු අතර තමන්ගේ ගෙවත්තේ සුළු වගාවන් ආරම්භ කිරීමට ජනතාව පක්ෂ පාට බේද නොතකා කටයුතු කළ බව සැබෑවකි.

අපි වවමු රට නගමු වැඩසටහන ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා ද අනුමත කරමින් ධවල මන්දිරයේ බෝග වගා කළ අයුරු මේ රටේ සියලු දෙනා මාධ්‍ය මඟින් දැන ගනු ලැබිණි. මේ වැඩසටහන කොතරම් සාර්ථක වීද යත් අදත් මේ රටේ ජනතාව තමන් වගා කර ආහාර සපයා ගැනීමට උත්සුක වෙති.

අද වන විට ක්‍රියාත්මක වන දිවි නැගුම වැඩසටහනටද අද විශේෂ ස්ථානයක් හිමි වී තිබේ. මේ යටතේ ගෙවතු මිලියනයක් වගා කෙරෙන අතර ගෙවතු වගා සඳහා අවශ්‍ය පැළ, පොහොර මෙන් ම තාක්ෂණික සේවාවන් ද රජය මගින් ලබා දෙයි.

මීට අමතරව රජය ක්‍රියාත්මක කළ වාරි පබුදුව වැඩපිළිවෙළ යටතේ වාරිමාර්ග රැසක් අලුත්වැඩියා කළ බව කෘෂිකර්ම ඇමැතිවරයා පවසයි. ඒ අතර සුළු වාර්මාර්ග මෙන් මහා වාරිමාර්ග රැසක් ද වෙන බවත් හෙතෙම කියයි.

වසර තිහක කාලයක් යුද්ධය හේතුවෙන් බැට කෑ උතුරු නැගෙනහිර ප්‍රදේශද අද වේගයෙන් සංවර්ධනය වන අතර එම ප්‍රදේශ පුරා අද කෘෂි නවෝදයක් ඇති වෙමින් පවතී. යුද්ධය නිසා අවතැන් ව සිටි ගොවි පවුල් සියල්ල මේ වන විට නැවත පදිංචි කර අවසන් බවත් දැන් ඔවුන් වගා කටයුතු නැවත ආරම්භ කර ඇති බවත් අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රුපියල් 12 ක් වැනි ඉතා පහළ මිලක තිබුණු වී කිලෝවකට රුපියල් 30 ක ස්ථාවර මිලක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය බව කිසිවකුට වෙනස් කළ නොහැකි සත්‍යයකි. ජනතා ජනවරම හිමි වී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වන විටත් වී කිලෝවකට රුපියල් 12 ක මිලක් ලැබෙමින් තිබිණි.

නිෂ්පාදන වියදම පියවා ගත නොහැකි මෙන් නිෂ්පාදන විකුණා ගත නොහැකි ගොවීන් සියදිවි නසා ගැනීමේ යුගයක් එදා පැවතිණි. නමුත් මහින්ද රාපපක්ෂ යුගය උදා වූයේ ගොවීන්ගේ සියදිවි නසා ගැනීමේ යුගය නිමා කරමිනි.

වත්මන් රජය ඉකුත් වසර හයේ දී කෘෂි භාණ්ඩ රැසක් සඳහා බදු සහන ලබා දී තිබෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා කියයි. විශේෂයෙන් මෙරට නිෂ්පාදනය කරන සියලු ආහාර ද්‍රව්‍ය සඳහා රජය බදු සහන දී ඇතැයි ඒ මහතා පවසයි. මුංඇට, බඩඉරිඟු, මිරිස්, කවුපි වැනි මෙරට නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය ආනයනික බදු වැඩි කර දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ බවත් ඇමැතිවරයා කියයි. ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ පහසුකම් ඇති කිරීම සඳහා අලුතෙන් වෙළෙඳ මධ්‍යස්ථාන රැසක් රජය ආරම්භ කළ බව පවසන අබේවර්ධන මහතා කිළිනොච්චියේ ගොවින්ගේ නිෂ්පාදන ඒ පළාත්වලදීම අලෙවි කර ගැනීමට කිළිනොච්චියේද ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බවද කියයි.

මීට අමතරව ගොවීන්ට නව තාක්ෂණික ක්‍රම හදුන්වා දීමට රජය කටයුතු යොදා ඇති අතර සුර්ය එළියෙන් ක්‍රියාත්මක වන බිංදු ජල ව්‍යාපෘතියට විශේෂ ස්ථානයක් හිමි වේ. සූර්ය එළියෙන් ක්‍රියාත්මක වන නිසා විදුලි බිල ඉතිරි කර ගැනීමට ගොවීන්ට අවස්ථාව හිමි වේ.

ඉන්ධන ඉතිරි වන නිසා මෙම ව්‍යාපෘතියට ගොවීන්ගෙන් විශාල ඉල්ලුමක් තිබෙන බවත් ඇමැතිවරයා කියයි. නව තාක්ෂණය යටතේ ගොවීන්ට වැසි ආවරණ ලබා දීමේ ව්‍යාපෘතියක් ද ආරක්ෂිත ගෘහ තුළ වගා කීරීමේ ක්‍රමයක් ද රජය මේ වසර හය තුළ ජනතාවට හදුන්වා දුන් තවත් ව්‍යාපෘතියක් වේ. මේ යටතේ වගා කිරීමෙන් පිරිසිදු නැවුම් නිෂ්පාදනයක් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබේ.

තිරිඟු පිටි භාවිතය අවම කිරීම සඳහා රජය සහල් පිටි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළ අතර මේ වසර හය තුළ එම වැඩපිළිවෙළ අතිශයින්ම සාර්ථක වී තිබෙන බව ඇමැතිවරයා පෙන්වා දෙයි. මේ වැඩපිළිවෙළ සෞඛ්‍ය ගැටලුවලට විසඳුමක් ලෙස ද ක්‍රියාත්මක වන බව පවසන ඇමැතිවරයා සහල් පිටිවලින් බිස්කට් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ද දැන් ආරම්භ කර තිබෙන බවත් කියයි. මේ නිසා ගොවීන්ට වාසි රැසක් ලැබී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.

රජය මේ වසර හය තුළ ක්‍රියාත්මක කළ සියලු ව්‍යාපෘති ගොවිතැන ලාභදායි ව්‍යාපාරයක් වීමට හේතු වූ බවත් ඇමැතිවරයා අවධාරණය කරයි. කෘෂි තාක්ෂණික උද්‍යාන ආරම්භ කිරීමෙන් ගෙවිතැන දර්ශනීයව පවත්වාගෙන යාමට කටයුතු සංවිධාන කර තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි. වස විසෙන් තොර පලදාවක් ලබා ගැනීම සඳහා කාබනික පොහොර ව්‍යාපෘතියක් ද රජය අරඹා ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500 ක ආයෝජනයක් දරා ඇති බවත් හෙතෙම කියයි.

ස්වාභාවික ආපදාවලදී වගා හානි වන ගොවීන්ට බිත්තර වී නොමිලයේ ලබා දීම ඇතුළු ආධාර ලබා දීමේ වැඩසටහන් රජය ඉකුත් වසර හය තුළ නොපමාව ක්‍රියාත්මක කළේය. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල ගංවතුර තත්ත්වයන් නිසා විනාශ වූ අක්කර ගණනාවක් වෙනුවෙන් රජය ආධාර ලබා දුන් බවත් අබේවර්ධන මහතා කියයි. මේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී සෙවනැල්ල මෙන් පිටිපස සිටි ජනාධිපතිතුමා සියලු දේට අවශ්‍ය මුදල්, උපදෙස් මෙන් ම ශක්තිය ද ලබා දුන් අයුරු කෘෂිකර්ම ඇමැති අබේවර්ධන මහතා ප්‍රකාශ කරන අතර එතුමාගේ උපදෙස් පරිදි මෙරටට අවශ්‍ය බීජ මෙරට තුළ දීම නිෂ්පාදනය කර ගැනීමේ මෙහෙයුම අරඹා ඇති බවත් කීවේය.

ඒ අනුව වසර 30 ක් නොසළකා හැර තිබූ බීජ ගොවිපළවල් නවීකරණය කර නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදා ඇතැයි හෙතෙම පවසයි.

ඒ අනුව ඉදිරියේ දී වී නිෂ්පාදනය සඳහා 100% ක් දේශීය බීජ යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් අබේවර්ධන මහතා පෙන්වා දෙයි.

මේ සියලු වැඩසටහන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කර ගැනීමට ඉඩ ලැබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සියල්ල පිළිබඳ ව සොයා බැලූ නිසා බවත් පවසන අබේවර්ධන මහතා ආහාර සුරක්ෂිතතා කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්මය සම්බන්ධයෙන් ගැටලු පැන නැගුණු විටදී ඒ පිළිබඳ ව ගැඹුරු අධ්‍යයනයක යෙදෙන බවත් සදහන් කරයි.

ජනාධිපතිවරයා අවශ්‍ය තැන්වලදී දායක වී කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට උත්සාහ දරන අයුරු ප්‍රශංසනීය බවත් හෙතෙම කියයි.

කෘෂිකර්මාන්තයේ දියුණුවට මහින්ද චින්තනය මඟින් එළි දක්වා තිබූ බොහොමයක් දෑ දැන් ක්‍රියාත්මක කර ඇති අතර මේ නිසාම පසුගිය වසර හය තුළ මෙරට කෘෂිකර්මාන්තය නොවුවිරූ සංවර්ධනයක් ළඟා කර ගෙන ඇති බව මනාව පැහැදිලි වේ.