ලෝකය ජයගත් අභීත නායකයා

ලෝකය ජයගත් අභීත නායකයා

ඕනෑම රටක සංවර්ධනය උදෙසා එරට රාජ්‍ය නායකයාගේ දර්ශනය පෞරුෂය සහ විනිවිද දක්නා බුද්ධිය අතිශය ඉවහල් වේ. ඓතිහාසික තොරතුරු විමසීමේදී ලෝකය ජයගත් දේශපාලකයන් තම රටවල් ඔසවා තැබූයේ එවැනි චින්තනයක් තමන් තුළ කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කළ නිසා බව සනාථ වේ. තම පෞද්ගලික මතිමතාන්තරයක් ඔස්සේ ගොස් යම් පොදු පරමාර්ථයක් ඉටුකරගත නොහැක. හුදෙක් එය සිය නිරාමිස පරමාර්ථයත් ජන විඥාණයේ හදගැස්ම සමඟ එක් වූවක්ම විය යුතුය. එවැනි පුළුල් දැක්මක් සඳහා රට ඉදිරියට ගෙන ගිය වී. අයි. ලෙනින්, ලී ක්වාන්, යූ. මහතීර් මොහොමඩ්, පිදෙල් කැස්ත්‍රෝ, ඒබ්‍රහම් ලින්කන් වැනියවුන් මෙන්ම ශ්‍රී ලංකාවේ දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු හා පළමුවන විජයබාහු වැනි නරපතීන් නිදසුන් ලෙස දැක්විය හැක.

මා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගැන යමක් මුලින්ම දැනගත්තේ 1970 පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා ලෙසිනි. මගේ සුළුපියා වූ දිවංගත අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමන් හා සමීපව දේශපාලන කටයුතු කළ 1982 ජනාධිපතිවරණයේ දී යම් යම් අවස්ථාවල අපට හමුවීමට අවස්ථාව ලද ද අදහස් හුවමාරු කර ගනිමින් සමීප ඇසුරකට අවස්ථාව ලද්දේ ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ විසින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට රෝහන ජනරංජන යන නාමයෙන් මල්වත්තේදී පැවති උත්සවයේදී ය.

මා යටිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව විවිධ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ කටයුතුවලදී අපේ ආශ්‍රය ඉතා දැඩි බැඳීමක් බවට පත්විය. එම බැඳීම දේශපාලන කටයුතුවලට පමණක් නොව පෞද්ගලික මට්ටම දක්වා විහිදුණු එකක් විය. විශේෂයෙන් 2001 වසරේ පැවති මහා මැතිවරණයෙන් පසු මා එක්සත් ජාතික පක්ෂ රජය විසින් අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ගත් අවස්ථාවේ මා හමුවීමට බෝගම්බර බන්ධනාගාරයට වහාම පැමිණි එතුමා බලවත් සේ මානසික කඩා වැටීමකට ලක්ව සිටි මා අස්වසාලමින් බිඳීයාමකට ඉඩ තිබූ දේශපාලන ගමනට ජීවයක් ලබා දුන්නේය.

තමන් ද මෙවැනිම ඉරණමකට 1989 දී මුහුණ දුන් සැටිත් බරපතළ රෝගාතුරව සිටි සිය මව බැලීමට පවා එවකට පැවති රජය ඉඩනොදුන් බවත් මවගේ මළගමට පවා සීමාවන් පනවමින් සහභාගිවීමට සිදුවූ බවත් එවැනි තත්ත්වයක වූව ද තම දේශපාලන ගමන්මග වෙනස් නොකළ බවත් මට දන්වමින් මගේ මානසික තත්ත්වය ශක්තිමත් කිරීමට පියවර ගත් අතර එසේ නොවූයේ නම් මා දේශපාලනයෙන් සමුගැනීමට පවා ඉඩ තිබු බව පවසන්නේ කෘතඥතාපූර්වකවය. රටක් කරවන රාජ්‍ය නායකයන් හෝ දේශපාලනය කරන නායකයන් බන්ධනාගාරය නැමති විශ්වවිද්‍යාලයේ අත්දැකීම් විඳ තිබීම මා මුලින් සඳහන් කරන ලද විනිවිද දක්නා දර්ශනයක් ඇති කර ගැනීමට බෙහෙවින් උපකාරී වූ බව බන්ධනාගාර ජීවිතයෙන් මට පසක් විය.

2001 වසරේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස පත්වූ පසු මට එතුමන් සමඟ සමීප ඇසුරක් ඇතිකර ගැනීමට අවස්ථාවක් ලැබුණි. මහනුවර කන්ද උඩරටට අතිශයින් ඇලුම් කළ එතුමා මහනුවර පැමිණි බොහෝ අවස්ථාවලදී මාගේ නිවසට පැමිණීමට ද අමතක කළේ නැත. ඉතා චාම් ගතිපැවතුම් ඇති එතුමා ඇතැම්විට මැදියම් රාත්‍රිය වනතුරු අපේ රට ගැන උතුරේ අරගල ගැන හා අප රටේ අනාගතය ගැන කථා කළේය. එතුමන්ගේ එම අදහස් ඉතා සාරගර්භ විය. වල්පල් බහුබූත ඕපදූප එවැනි සාකච්ඡාවකට මාතෘකා නොවීය. මේ රටේ නායකත්වය ගැනීමට මේ පුරුෂයා කොතරම් සුදුසුද යන්න මට නිතර සිතුණි.

කොතරම් ප්‍රමාද වී නිදාගත්ත ද අළුයම අවදිව සීතලේ වූවද ව්‍යායාම් කරන එතුමා ගමේ ඇත්තන් හා කථා කිරීමට මහත් අභිරුචියක් දැක්විය. මගේ ගම වූ යටිනුවර දෙල්දෙනියේ ගැමියෝ එතුමා පැමිණි බව දැනගත් පසු එතුමා හා කථා කිරීමට මගේ නිවසට පැමිණිය හ. ගැමියන්ගේ අදහස් උදහස් කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ එතුමන් එම අදහස්වල ඇති වටිනාකම මැනවින් හඳුනා ගත්තේ ය. මිදුලේ සිට ඔවුන් හා කරන කථාබහ තර්ක නිර්ව්‍යාජ දැනමුතු ගැමියෙකුගේ ස්වරූපයක් ගත්තේ ය. හිස උදුම්මාගත් ඇතැම් දේශපාලකයකුගේ ස්වරූපයක් එහි නොවීය. යම් සාවද්‍ය අදහසක් වූවද හිත් නොරිදා එතුමා සවන් දුන්නේ මේ ගැමිකම කෙරෙහි වූ අපරමිත දයාව නිසාම ය. මෙම ගැමියන් හා කරන කථාබහ මට අතිශය සංවේදී දසුනක් විය.

2004 මහා මැතිවරණය මෙරට අතිශය වැදගත් සන්ධිස්ථානයක් විය. නැවත මේ රට ස්වාධිපත්‍ය කරා යනවා ද නොඑසේ නම් බෙදුණු රටක වෙසෙමු ද යන්න තීරණය වූයේ 2004 මහා මැතිවරණයේදී ය. යම් ලෙසකින් මේ මහා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය ලද්දේ නම් අද අපට මේ දිවයින තුළ රටවල් දෙකක් දක්නට ලැබෙනු නොඅනුමානය. මෙම මැතිවරණය සඳහා ඓතිහාසික ගන්නෝරුව රණබිමේ දී පැවති පළමු ජනරැළියේ දී මා එතුමන් හඳුන්වා දුන්නේ අපේ අනාගත අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලෙසිනි. මෙම ප්‍රකාශය අපේම පක්ෂයේ ඇතැම් අයගේ දැඩි විවේචනයට ලක්වූව ද මෙම අදහසේ මම දැඩිව එල්බගෙන සිටියෙමි.

රටටම ඓතිහාසික තීන්දුවක් දෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළ ද රටේ ජාතික ප්‍රශ්නය එක තැන පල්වෙමින් 2001 වසරේ දී අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුම පදනම් කර ගනිමින් එල්.ටී.ටී.ඊ. කොටි ශක්තිමත් වූහ. 2005 ජනාධිපතිවරණයට පෙර මෙරට අනාගත ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්වන බව මා ප්‍රකාශ කළේ එතුමාට ජනාධිපති අපේක්ෂක්තවය ලබාදීමටත් පෙර පිළිමතලාවේ දී පැවැති ඓතිහාසික ජනරැළියකදී ය.

2005 ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමන් නම් කළ ද පක්ෂ අභ්‍යන්තරයේ පවා මතය වූයේ එතුමන්ට මෙය ජයගත නොහැකි බවය. අප අපේ උත්සාහය අත් නොහැරියෙමු. ඉතා තියුණු සටනක් දැක්වූ මෙම මැතිවරණයේ දී ජ්‍යෙෂ්ඨ නායකයින් පවා සටන කර හරිද්දී බිම් මට්ටමේ ඡන්ද දායකයාගේ අභිලාශය හා පැතුම වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයයි. ඒ අනුව 52% ක ප්‍රතිශතයක් ලබමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීය. මොහොතක් මේ රට නින්දෙන් පිබිදියාක් මෙන් නව ප්‍රබෝධයකින් ගමන අරඹමින් උතුරේ සිවිල් අර්බුදය මාවිල්ආරු සොරොව්වෙන් අරඹා පුදුකුඩිඉරිප්පුව දක්වා වූ වසර 04 ක ගමන්මග තුළ මිනීමරු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළගම දක්වා ගමන් කෙරුණි.

රට නිදහස් කරගත් ජාතික වීරයා ලෙස හැමගේ ආශිර්වාදය එතුමන් වෙත පුදකරමින් 2009 මැයි 18 වන දින එක පවුලක දරුවන් සේ කැවුම් කිරිබත් රස භුක්ති වින්දෙමු. නිදහසේ අරුණළු දුටුවෙමු. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහසේ ගමන් කරමු. නාගදීපය වන්දනා කරමු. වැල්වැටිතුරේ වෙරළ, නල්ලුර් කෝවිල, කරෙයිනගර් වෙරළ, කන්කසන්තුරය, දඹකොළපටුන, කඳුරුගොඩ විහාරය වසර 30 කට පසු සියැසින් දැක ගත්තෙමු.

සාම කාක්කන්ට යටත් වෙමින් ජයග්‍රහණය පෙනි පෙනි තිබිය දී සටන හකුලා ගන්නට පූර්වගාමී රාජ්‍ය නායකයින්ට සිදුවූවද මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය උත්සාහය අත්නොහළේ ය. අතලොස්සක් වූ කොටින් සනසනවාද රටේ සාමය ස්ථාපිත කොට සංවර්ධනය තහවුරු කරනවා ද යන ප්‍රශ්න දෙකින් එකක් තෝරා ගැනීමට එතුමාට සිදුවූ අතර දෙවන ප්‍රශ්නයට එතුමන් පිළිතුරු සැපයීය. තුන් හෙලේ එක්සේසත් කළ රජවරුන් මෙරට සිටියේ තිදෙනෙකි. දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු හා පළමුවන විජයබාහු යන නරපතිනගෙන් පසු මෙරට එක්සත් කළ එකම නායකයා වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් ය. මේ ශ්‍රේෂ්ඨ නරපතින් ගණයට මහින්ද රාජපක්ෂ නාමය ද ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වී හමාරය.

එතුමා වචනයේ පරිසමාප්ත්‍යාර්ථයෙන්ම ඉතා සැදැහැවත් බෞද්ධයකු විය. ඇතැම් පුද්ගලයින් මෙන් මහජනතාව ඉදිරියේ තමා ආගම් ලැදි අයෙකු බව පෙන්වීමට දරන ව්‍යාජ උපාසක විලාශයක් නොව ගැඹුරු අවබෝධයකින් තෙරුවන් කෙරෙහි සැදැහැවත් වූ අයෙකු විය. මහනුවරට පැමිණි සෑම විටම දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට හා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැ දැකීමට එතුමා අමතක කළේ නැත. එමතු ද නොව අනුරාධපුරට ගිය සෑමවිටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද කතරගම ගියහොත් කිරි වෙහෙරද වැඳ පුදා ගැනීම එම ගමන්හි අනිවාර්ය අංගයක් විය.

එමෙන්ම පොදු ජනතාවට ද විවර වූ සෑම පුරපසලොස්වක දිනකම අරලියගහ මැදුරේ පැවැත්වෙන ධර්ම දේශනය එතෙක් සිටි කිසිදු ජනපතිවරයෙකු විසින් නොකළ පුණ්‍යකර්මයක් විය. සෑම වැදගත් රාජ්‍ය කටයුත්තකදීම එතුමන් සංඝයා වහන්සේගේ අනුශාසනා මෙන්ම අන්‍යාගමික පුජකතුමන්ලාගේ අදහස් උදහස් විමසීය. බෞද්ධ ආගම මෙන්ම හින්දු කතෝලික ඉස්ලාම් ආගම් කෙරෙහි ද ඒවායේ යහ ගුණාංගයන් කෙරෙහි ද එතුමන් දැක්වූයේ අපරමිත ගෞරවයකි.

දරුවන් කෙරෙහි අපරිමිත දයාවක් සෙනෙහසක් දැක්වු එතුමා තමා ගැන සඳහන් කළේ මේ රටේ ආඩම්බරකාර තාත්තා ලෙසිනි. සියලු වැඩසටහන් සකස් කිරීමේ දී අනාගත පරපුරට ගැලපෙන අයුරින් සැකසිය යුතු බවත් සෑම දෙමාපිය කෙනෙක් ම දෛනික චර්යාවේ කොටසක් තම දරුවන් සඳහා වෙන් කළ යුතු බවත් ප්‍රකාශ කළේ දරුවන් මේ රට නුදුරු අනාගතයේ දී භාර ගැනීමේ කාර්යය සඳහා මුහුණ දිය යුතු නිසාය. ගැඹුරින් සළකා බලන කළ මේ දැක්ම සියලු රාජ්‍ය පාලකයින්ට හා ප්‍රතිපත්ති සම්පාදනය කරන්නන්ට සිය හදපත්ලේ ගැඹුරින් තැන්පත් කරගත යුතු වන්නේ ඇතැම් වැඩිහිටියන් අතින් දරුවන්ට වන විවිධ අකටයුතුකම් විමසා බැලීමෙනි. අරලියගහ මැදුර එතෙක් පැවතියේ සීමිත පිරිසකට විවෘතවය. එතුමන් විසින් එකී ප්‍රතිපත්තිය බිඳ දමමින් පොදු ජනතාවට සිය නායකයාගේ නිල නිවස නැරඹීමට හා විශේෂයෙන් දැයේ දරුවනට අරලියගහ මන්දිරය විවෘත ස්ථානයක් බවට මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් පත් කරන ලදී.

එතුමා හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අචල විශ්වාසයක් තැබීය. ප්‍රතිවිරුද්ධ මතධාරින් උපේක්ෂා සහගත ලෙස ඉවසීය. යුද්ධය හමාර නම් ජනතාවට සහන දෙන්න යැයි කීමට තරම් බංකොලොත් නොවීය. විරුද්ධ පක්ෂය කුලල්කා ගන්නා විට බොරදියේ මාළු බෑමට කටයුතු නොකළේ ය. ප්‍රබල විරුද්ධ පක්ෂයක් සැමවිටම ප්‍රාර්ථනා කළේ ය. ප්‍රබල රජයක අවශ්‍යතාවය හඳුනාගෙන සිටි හෙතෙම ඒ තුළින් විපක්ෂය වැනසෙනු දකිනුද රිසි නොවීය.

සැබෑ ගැමියෙකු හා ප්‍රායෝගික මිනිසෙකු වූ හෙතෙම ඇතැම් පිරිස්වල වන්දි ගායනා ප්‍රතික්ෂේප කළේ ය. ඉතා කෙටිකලක් මෙරට ජනාධිපති වූ ඩී. බී. විජේතුංග මැතිතුමා හා අගමැති ගාල්ලේ දහනායක මැතිතුමා හැරෙන්නට වරප්‍රසාද ලත් පන්තියෙන් බැහැර වු ගැමි පවුලකින් පැවත ආ එකම රාජ්‍ය නායකයා එතුමා විය. එනිසාම එතුමා 1970 තරුණ නවක මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ටිකින් ටික දේශපාලන පන්නරය මුවහත් කරගෙන ඬ;යීජ්‍ය ඇමැති, ඇමැති, විපක්ෂ නායක, අගමැති හා උත්තරීතර ජනාධිපති තනතුර දක්වා ආ ගමන දේශපාලන තෙම්පරාදු භාවයේ ගාම්භීර ගමනක් බව කිව යුතුයි.

1994 සිට තමා ලද කම්කරු හා ධීවර යන අමාත්‍ය තනතුරු තම ජ්‍යෙෂ්ඨත්වයට තරම් නොවේ යැයි බර ඇමතිකම් ඉල්ලා ගියේ ද නැත. එවකට රාජ්‍ය නායකත්වය එතුමන්ට බෙහෙවින් කෙනෙහෙලිකම් කළ බව මුළු රටම දනී. එහෙත් තම පියාණන් ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමන් හා එක්ව සැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියේ නැත. මගේ අදහසේ හැටියට 2001 වසරේ දී චන්ද්‍රිකා කුමාරතුංග රජයේ ඇමතිවරු කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට යන අවස්ථාවේ තමාට සිදුවූ මදිපුංචිකම් නිසාවෙන් මුලින් ම පක්ෂය හැර යා යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් ය. කුමන ප්‍රශ්නයක් ඇති වූව ද එතුමා පක්ෂය හැර නොගියේ ය.

අද නායකත්වයට පොර අල්ලන විපක්ෂයේ නායකයින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ආදර්ශයට ගත යුතු යැයි මා කියන්නේ ඒ නිසාය. කුමන බාධක මැද වුව ද තමාට පැවරෙන කාර්යය හොඳින් කිරීමට කටයුතු කිරීමට ද අවස්ථාව තමාට ලැබෙන තුරු ඉවසීම ද එතුමන් සතු ශ්‍රේෂ්ඨ ගුණාංගයන්ය. මේ නිසා කුඩාවට ඇරඹූ පාද යාත්‍රාව මහා ජන ගංගාවක් බවට පත්විය. නගරයේ වාහනවල නලා ශබ්ද කළාට ජන මතයක් ගොඩ නැංවිය නොහැකි බව මෙරට විපක්ෂය හොඳින් තේරුම් ගත යුතුය. ජනතාව අතර සිටිමින් ඔවුන්ගේ දහඩිය සමඟ ජනමතය තේරුම්ගත යුතු වූවත් මද දුරක් පයින් ගොස් සැප රියකට ගොඩ වී පෙළපාළි යන කොම්ප්‍රදෝරු විපක්ෂයක් කෙලෙස නැවත බලයට පත්වන්නේද යන්න අපි විපක්ෂයෙන් විමසමු.

2005 වසරේ මැතිවරණ ප්‍රකාශය ලෙස ජනතාවට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන වැඩසටහන හා 2009 වසරේ මැතිවරණ ප්‍රකාශය වු මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන යටතේ යුද්ධයක් පැවතෙමින් තිබූ රටක් ලෙස සංවර්ධන කාර්යයන් ද අඛණ්ඩව ගෙන යන ලදී. මග නැඟුම, ගම නැඟුම, දිවි නැඟුම, නැඟෙනහිර නවෝදය උතුරු වසන්තය හා දැයට කිරුළ යන වැඩසටහන් තුළින් අප රට ඉහළ ආර්ථික මට්ටමක් කරා ගෙන ආ අතර ඒක ජන ආදායම් මෙකී කාලසීමාව තුළ දෙගුණ කිරීමට රජය සමත්විය.

මුදාගත් නැඟෙනහිර ආ උතුරු පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා රජය විසින් ගන්නා ලද්දේ මහත් පරිශ්‍රමයකි. රට පුරා අධිවේගී මාර්ග පාලම්, සන්නිවේදන පහසුකම් විදුලි පහසුකම් හා ජලසම්පාදන හා කෘෂි නිෂ්පාදන වර්ධනය කිරීමේ වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක විය. පුදුකුඩිඉරිප්පු ජයග්‍රහණයෙන් පසු උතුරු වසන්තය හරහා උතුරු පළාතේ විශාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමක් සිදුවූයේ විශ්වකර්ම නිර්මාණ ලෙසිනි.

ලොව කිසිදු රටක නොවූ විරූ අන්දමින් උතුරු හා නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම් ඉතා වේගයෙන් සිදුවිය. විදේශීය පශ්චාත් යුධ විශේෂඥයින් 2009 මැයි 18 න් පසු උතුරු නැගෙනහිරි ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදුවී ඇති ආකාරය නිරීක්ෂණය කරමින් ප්‍රකාශ කළේ ලොව කිසිදු යුද පැවති රටක මෙවන් සංවර්ධනයක් නොදුටු බවයි.

ම්ලේච්ඡ කොටින් විසින් විනාශ කළ පාලම්, මහා මාර්ග, දුම්රිය මාර්ග, රජයේ කාර්යාල, රෝහල්, බැංකු මෙන්ම ගොවිපළවල් පසුගිය දෙවසර තුළ යථා තත්ත්වයට පත්කිරීමට රජය සමත්විය. මුළු දිවයින පුරා ආවරණය වන පරිදි ගමේ නියෝජිතයින් පත්කිරීමට මැතිවරණ පැවැත්වූ අතර පාලනය කළ නොහැකි හේතු නිසා නියෝජිතයින් පත්කිරීමට ඉතිරිව ඇත්තේ පළාත් පාලන ආයතන දෙකක පමණී. මැතිවරණ පැවැත්වූ ආයතනවලින් 90% ක් ඉක්මවූ ජයග්‍රහණයක් ලැබීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය.

දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පැය කිහිපයකින් ළඟා විය හැකි මාර්ග පද්ධතිය රටේ සංවර්ධනයට මහත් රුකුලක් ලබා දේ. රට පුරා ප්‍රධාන මාර්ග කාපට් ඇතිරීමේ කාර්යන් ඉතා කඩිනමින් සිදුවේ. කෙරවලපිටිය, නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ යන විදුලි බලාගාරයන් ද, මොරගහකන්ද බහුකාර්යය ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ පසුගිය 06 වසර තුළ අප රටේ සංවර්ධනයේ දැවැන්ත නිර්මාණයක් විය. රටේ ජනගහනයෙන් 87% ක් සඳහා විදුලිබල පහසුකම් සළසා ඇති අතර ඕනෑම අයෙකුට සුළු වේලාවකින් දුරකථන සබඳතාවයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලාංකිකයනට දැන් ලැබී ඇත.

රටේ විරැකියාව 5% දක්වා ද ආර්ථික සංවර්ධන ප්‍රතිශතය 8% දක්වා ද පවත්වා ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේදීය. ජීවන වියදම් කොතරම් ඉහළ ගිය ද රටේ ජනතාව 64% ක් ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ඔසවා තැබූයේ මෙකී සංවර්ධනය නිසා නොවේ යැයි කාටනම් කිව හැකි ද? රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි වැටුප් හා ප්‍රතිලාභ හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගෙන් 75% ක්ම මහින්ද රාජපක්ෂ රජය විශ්වාස කර ඇති බව තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් සනාථ වේ. මේ සියලු ආර්ථික සමාජ සංවර්ධනයට නියමුවාණන් වූයේ රාජ්‍ය නායක සේනාධිනායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නිවැරදි නායකත්වය හා දර්ශනයයි. නිර්භයව ප්‍රකාශ කළ හැක.

එතුමන්ට රජවාසල මෙන්ම දුගී පැල්පත ද සුවපහසු යහනා මෙන්ම බිම ඇතිරූ පැදුර ද ඉහළම රාජ්‍ය නායකයාගේ සිට කටුමැටි පැලේ දිළින්දා ද එක සමානව ඇසුරු කිරීමේ මහා වාසනා මහිමයක් තිබුණි. කුරහන් සාටකය කර්කෂ මැදපෙරදිග මෙන්ම සීතල ග්‍රීන්ලන්තයටද පැළඳි රාජ්‍ය නායකයාණන් දෙන පණිවිඩය ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවටම පළ කරමිනි. කුඩා දරුවන් දුටු විගස ඉන්නා තැන ද දරනා තනතුර ද අමතකව දාරක පේ‍්‍රමයෙන් ඔසවා වඩා සිප ගත් එතුමා ඔවුන්ගේ අනාගතය ගැන වර්තමාන සමාජ වගකීම නිතර පැහැදිලි කර දුන්නේ ය.

ආරක්ෂකයින්ගේ උපදෙස් ද අමතක කරමින් මහජනයා අතරට ගොස් අත්වැල් බැඳ ගනී. කලට වේලාවට වැඩ සැළසුම් කරයි. මෙවන් නායකයෙක් ජාතියේ පිනට පහළ වූවා යැයි නොකියන්නේ නම් එයට කුහකත්වය යැයි කියමු. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් තවත් වරක් නොව එතුමාගේ දිවිය පුරාම මෙරට රාජ්‍ය නායකයා වනු දැකීම ශ්‍රී ලාංකීය පොදු ජනතාවගේ පැතුමයි.

එම නිර්මල පැතුම සමඟ එතුමන්ගේ ජනපති පදවිප්‍රාප්තියෙන් වසර 07 ක් ගෙවුණු මේ මොහොතේ අප රටේ සාමය සමෘද්ධිය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම ලොව දිදුලන රාජ්‍යයක් බවට පත්කිරීමට සෙන්කඩගල නුවර වැඩවසනා ශ්‍රී දළදා සමිඳුන්ගේ සරණත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හට ලැබේවායි ප්‍රාර්ථනය කරමි.