ජාත්‍යන්තරයේ අවිශ්වාසය දුරු කළ නායකයා

ජාත්‍යන්තරයේ අවිශ්වාසය දුරු කළ නායකයා

සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව සෑම අංශයකින් ම සංවර්ධනයක් ලබමින් ඉදිරියට ගමන් කරන අවස්ථාවක විවිධ අවලාද නඟමින් එම සංවර්ධන ගමන ආපස්සට හැරවීමට ජාත්‍යන්තරයේ ඇතැම් රටවල්, සංවිධාන මෙන් ම මාධ්‍ය උත්සාහ ගනිමින් සිටී. එම උත්සාහයන්ට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ අභිමානය ලොව දස දෙස පතුරුවාලන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරයි.

සහශ්‍රක සංවර්ධන අරමුණු මුදුන් පමුණුවා ගනිමින් ආසියාවේ ආශ්චර්ය කරා රැගෙන යන ගමනේ දී ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබෙන ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වර්ධනය අතින් කලාපයේ පෙරමුණ ගෙන සිටී. ජාතික මට්ටමින් සහශ්‍රක අරමුණු සාක්ෂාත් කරගෙන තිබීම මෙන් ම ඊට සාපේක්ෂව සෙසු අරමුණු ඉටු කර ගැනීමේ මාවතට ප්‍රවිශ්ට වී සිටීම මෙහිදී කැපී පෙනේ.

මානව සංවර්ධනය සම්බන්ධයෙන් සැළකිලිමත් වීමේ දී ශ්‍රී ලංකාව අසම සම රටක් බව ලෝක ප්‍රජාවගේ මතයයි. මීට වසර 10කට පමණ ඉහත දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ කතා කළේ මිට හාත්පසින් ම වෙනස් තත්ත්වයකි. සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස සැළකූ ශ්‍රී ලංකාව සංවර්ධන මාවතට කිසිඳු ලෙසකින් හෝ ළඟා වී නොමැති සේම ත්‍රස්තවාදී අරගලයන් සමඟ රට අභ්‍යන්තරයේ විවිධ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙන බවට හඳුන්වා දුන්නේ ය.

සැබවින් ම එය අතිශයෝක්තියක් නොවේ. එවැනි අවාසනාවන්ත යුගයක් ගත කළ ශ්‍රී ලංකාව වර්තමාන තත්ත්වයට ගෙන ඒම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වර්තමාන රජය ඉටු කර ඇත්තේ ප්‍රශංසනීය කාර්යභාරයකි. රටක් සංවර්ධනය කිරීම යනු ත්‍රස්ත භීතියෙන් මුදාගෙන ආර්ථික වර්ධනයක් කරා පිය නැඟීම හුදෙක් ම සිහිනයක් පමණකි.

කිසි දිනෙක පරාජය කළ නොහැකි යැයි ජාත්‍යන්තරය තුළ විශ්වාසයක් තබා සිටි එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානය ශ්‍රීී ලංකා ධරණිතලය තුළ දී පරාජයට පත් කළේ සැවොම විශ්මයට පත් කරමිනි.

සැබවින් ම එය ශ්‍රී ලංකාවේ ඉරණම විසඳු තීරණාත්මක සන්ධිස්ථානයක් විය. ත්‍රස්තවාදයෙන් ජයගත් අපේ මාතෘ භූමිය අද ලෝකයේ දියුණු රාජ්‍යයන් සමඟ කරට කර සංවර්ධන ගමනක නියලී සිටින්නේ ය.

සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය ආදී කරුණු සම්බන්ධයෙන් සලකා බලන කළ ශ්‍රී ලංකාව සහශ්‍රක සංවර්ධන අරමුණු රැසක් ඉටුකරගෙන තිබේ.

පසුගිය 2009 වසර ආරම්භයේ සිට ම සහශ්‍රක සංවර්ධන අරමුණු ජයගැනීමේ ප්‍රගතිය වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජිනීවා හි පිහිටි ඡ්ඛ්ර්‍ණඉර්‍ණඛ් හි ඉහළ ඛණ්ඩයට ස්වෙච්ඡාමය කරුණු සැළකිරීමත් කර ඇත.

අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, මහා මාර්ග, වාරිමාර්ග, නිවාස අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන් ම හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කර සමාජ ගත කිරීම, ප්‍රතිසංධානය, නැවත පදිංචි කිරීම ඇතුªළුව සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතියක් ළඟා කර ගැනීමට අද වන විට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

ශ්‍රී ලංකාව අභ්‍යන්තර වශයෙන් මෙවැනි ජයග්‍රහණ රැසක් ලබා ගනිද්දී ජාත්‍යන්තර වශයෙන් ලෝක ප්‍රජාව අතර ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය වපුරුවාලමින් ඔවුන්ගේ අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි දිනාගැනීම සඳහා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අප සතුය.

ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලාංකේය ජාතික අවශ්‍යතා ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම, ප්‍රතීයමාන කිරීම හා ආරක්ෂා කිරීම මෙන් ම ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන ජාත්‍යන්තර සංවර්ධනයන් සම්බන්ධයෙන් රජයට උපදෙස් ලබාදීම මූලික වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සිදු කෙරේ.

විදේශ කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති, සැළසුම් හා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, විදේශයන්හි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම, ජාත්‍යන්තර ගිවිසුම් හා සම්මුතිවලට එළඹීම, විදේශ රාජ්‍ය හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව තුළ නියෝජනය කිරීම, විදේශයන්හි දී ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීම, රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය හා වරප්‍රසාද ලබා දීම මෙන් ම ප්‍රදූත කාර්යයන් ඉටු කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරේ.

මෑත කාලයේ දී ජාත්‍යන්තරය තුළ අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙවර වඩාත් කැපී පෙනන තත්ත්වයක් දක්නට ලැබුණි. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවන අසත්‍ය චෝදනා හා අවලාද පරාජය කරමින් ලෝක ප්‍රජාව අතර ශ්‍රී ලංකාවේ සත්‍යතාව පිළිඹිබු කිරීමට මෙහි දී වඩාත් වැදගත් තැනක් හිමි විය.

මේ ආකාරයට ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට විවිධ චෝදනයන් හා අවලාද එල්ලවීම මෑතකදී බොහෝ සෙයින් දක්නට ලැබුණි. එය අදටත් නිමා වී නොමැත. දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත අර්බුදය සම්පූර්ණයෙන් ම නිමා කිරීමත් සමඟ ශ්‍රී ලංකාව යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා එල්ල වීමට පටන් ගත්තේය. හුදෙක් ම මේ සඳහා ගන්නා ලද උත්සාහය ශ්‍රී ලංකාව අවතක්සේරු කිරීමට හා සංවර්ධනයේ ඉදිරි ගමනට බාධා කිරීමට බව බෙහෙවින් ම පැහැදිලිය. ශ්‍රී ලංකාව තුළ එල්. ටී. ටී. ඊ. ය සම්පූර්ණයෙන් ම පරාජයට පත් වූව ද තවමත් ඔවුන්ගේ ජාත්‍යන්තරය සක්‍රීය වී සිටිති. ඇතැම් රාජ්‍යයන් මෙන් ම රාජ්‍ය නායකයන් ද ඔවුන්ව දිරිමත් කිරීමට රහසේ කටයුතු කරති.

එංගලන්තය, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එල්. ටී.ටී. ඊ. සංවිධානය නියෝජනය කරමින් විදේශයන්හි වෙසෙන කොටි හිතවාදීන්ට සහයෝගය ලබා දෙයි. ඒ නිසා ම ජාත්‍යන්තරය තුළ ශක්තිමත් වන ඔවුන් ශ්‍රී ලංකාවට පහරදීම සඳහා විවිධාකාරයෙන් පිඹුරුපත් සකස් කරති.

ජාත්‍යන්තරය තුළ සිටි කොටි හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වඩාත් මැනවින් දිස්වන්නට වූයේ දරුස්මාන් වාර්තාව හා බ්‍රිතාන්‍ය චැනල් -4 වීඩියෝ පටයන් සමඟිනි. මෙවැන්නකින් ඔවුන් බලාපොරොත්තු වූයේ කුමක් ද යන්න ඉතාම පැහැදිලියි. දරුස්මාන් වාර්තාව යනු කුමක් ද? ජගත් මහ ලේකම් බෑන් කී මූන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පත් කරන ලද කමිටුවක වාර්තාවකි.

මෙම ත්‍රි පුද්ගල කමිටුවේ නායකත්වය ගනු ලැබුවේ කොටි හිතවාදියෙකු වන ඉන්දුනීසියාවේ හිටපු නීතිපති මර්සුකි දරුස්මාන්ය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පමණක් මෙයින් බලාපොරොත්තුවන බව සඳහන් කළ ද අවසානයේ එහි අන්තර්ගත වී තිබෙන්නේ කොටි හිතවාදීන්ගේ අරමුණු පමණකි.

ශ්‍රී ලංකා රජය හෝ රජයේ හමුදාව කිසිඳු ජාතියක් සමඟ සටන් කළේ නැත. ඔවුන් මානුෂීය මෙහෙයුමක් දියත් කළේ ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ පමණකි. සමස්ත ලෝකයාම මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළා පමණක් නොව එහි යථාර්ථය පිළිබඳ හොඳීන් අවබෝධ කර ගත්හ. එවැනි අවස්ථාවක දී ශ්‍රී ලංකාවට විරුද්ධව කරුණු දැක්වීම පමණක් සිදු නොකර සත්‍යය ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් ම සිදු විය යුත්තකි.

නමුත් දරුස්මාන් වාර්තාවේ අන්තර්ගතය වන්නේ ශ්‍රී ලංකා රජයේ හමුදාව විසින් බර අවි ප්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන් දහස් ගණනක් මරා දැමීම, එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන්ට බරපතළ හානි සිදු කිරීම ආදී කරුණු සැලකිල්ලට ගෙන මානව හිමිකම් කඩවී තිබෙන බවයි. කෙසේ වුව ද මෙය පදනමක් නොමැති වාර්තාවකි. මා එසේ පවසන්නේ ශ්‍රී ලංකා රජයේ ඛ්මුදාවට සිදු වූ හානිය මිය ගිය රණවිරුවන් පිළිබඳව ඒ තුළ කිසිදු සටහනක් නොමැති වීම නිසාය.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට හා විශේෂයෙන් ම ලොව විනය ගරුකම හමුදාවක් වන අපේ රණවිරුවන්ට අපහාස කිරීමේ අරමුණින් ඔවුන් යොදා ගන්නේ බ්‍රිතාන්‍ය චැනල් - 4 නාලිකාව මඟින් විකාශය කරන ලද වීඩියෝ පටයයි. එය ලෝකයේ කොටි හිතවාදී රටවල් කිහිපයකම විකාශය කරන්නට විය.

සැබවින් ම මෙය අසත්‍ය වීඩියෝ පටයක් විය. එසේ ම කොටි හිතවාදීන්ගේ අවශ්‍යතාවට නිර්මාණය කර ගන්නා ලද්දක් විය. ශ්‍රී ලංකා රජයේ හමුදාවන් වෙත බාරවීමට පැමිණි එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ ඇඳුම් ඉවත් කොට ඔවුනට වෙඩි තබා මරා දමන රූප රාමු ඒ තුළ අන්තර්ගත විය. මෙය අසත්‍යයක් බවට සිදු කළ පරීක්ෂණවල දී සනාථ කර ගැනීමට හැකි විය.

මෙවැන්නකින් ඔවුන් උත්සාහ කළේ ශ්‍රී ලංකාවට අවලාද නඟමින් ජාත්‍යන්තරය තුළ විකෘති තත්ත්වයක් ඇති කිරීමටය. ඒ මඟින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය අවම වනු ඇතැයි ද බලාපොරොත්තු විය. නමුත් මානුෂීය මෙහෙයුමේ සිදු වූයේ කුමක් ද යන්න ශ්‍රී ලාංකිකයන් සත්‍ය වශයෙන් දනී. මෙය ජාත්‍යන්තර ප්‍රජාව වෙත පෙන්වීමේ අරමුණින් රජය විසින් පිළිතුරු වාර්තාමය වැඩසටහනක් නිෂ්පාදනය කෙරිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂනය යටතේ මේ කාර්යය සිදු කෙරිණි. පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව එම පිළිතුරු වාර්තා වැඩසටහන ලෝකයේ එක් එක් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති හා මහකොමසාරිස් කාර්යාල 54 ක පමණ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කෙරිණි.

එය මේ වන විටත් තානාපති කාර්යාල කිහිපයකම ප්‍රදර්ශනය කර තිබේ. මෙය ප්‍රදර්ශනය කරන අවස්ථාවට ඒ ඒ රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් දේශපාලනඥයන්, විද්වතුන්, මාධ්‍යවේදීන් කැඳවිම විශේෂත්වයකි. ඒ මඟින් ඔවුන්ට ශ්‍රී ලංකාව පිළිබඳ, රජයේ හමුදාවන්ගේ ක්‍රියාදාමය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

මේ අතර එල්. ටී. ටී. ඊ. හිතවාදීන් ගන්නා ලද මේ උත්සායන් සියල්ල අසාර්ථක වූ පසුව ශ්‍රී ලංකාවට එරෙහි ව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත යෝජනාවක් ගෙන ඒමට උත්සාහ කළේ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ එහි දී කොටි හිතවාදීන් වෙනුවෙන් පෙනී සිටිය ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා නුවරට ගිය ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිසගේ පිළිතුරු හමුවේ මහ කොමසාරිස්වරිය නිරුත්තර විය. එමෙන් ම කොටි පුල්ලි ගැලවෙන්නට පටන් ගත්තේ ය.

ශ්‍රී ලංකාව සෑම විටම ලෝකයේ සෑම රටක්ම, ජාත්‍යන්තර සංවිධානයක් සමඟම දැඩි ලෙස මිත්‍රශීලිව හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වන ශ්‍රී ලංකාවට එරෙහි ව ඇතැම් විට එම සංවිධානය ක්‍රියා කිරීමට උත්සාහ කළ ද එය එහි ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමකි. කෙසේ වෙතත් ලෝකයේ රටවල් 192ක සාමාජිකත්වයක් හිමි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය සුදානමින් සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අමතරව ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (සාර්ක් සංවිධානය), පොදු රාජ්‍ය මණ්ඩලය, නොබැඳි ජාතීන්ගේ සංවිධානය ආදිය සමඟ ද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කටයුතු කරයි.

මෙවැනි සංවිධාන හා එක් එක් රටවල් සමඟ ශ්‍රී ලංකාව සහයෝගීව කටයුතු කරන නිසාම ඇතැම් අවස්ථාවල දී ශ්‍රී ලංකාවට එරෙහි ව එල්ලවන ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණදීම සඳහා ඇතැම් රටවල් අපේ රටට සහයෝගය ලබා දී තිබේ. එහි එක් උදාහරණයක් ගෙන හැර දක්වන්නේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත වාර්තාවක් ගෙන ඒමට දැරූ උත්සාහයේ දී ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් දෙකක් ඇතුළු රටවල් අටක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිට ඇත.

පාකිස්තානය, කියුබාව, ඇල්ජීරියාව, චීනය, රුසියාව, මැලේසියාව, පිලිපීනය වැනි රටවල් එහි දී වැදගත් කොට සැලකිය හැක. මේ ආකාරයට ලෝකයේ බොහොමයක් රටවල් ශ්‍රී ලංකාව සමඟ සිටීම කොටි හිතවාදීන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට මහත් බාධාවක් වී තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල සේවය කරන රාජ්‍යතාන්ත්‍රිකයන් ද ඉතා විශාල ප්‍රමාණයක් එක් එක් රටවල සිටිති.

ඔවුන් ඒ ඒ රටවල පෙනී සිටින්නේ තම මවු රට වෙනුවෙනි. තම දේශයේ අභිමානය පතුරුවාලීම මෙන් ම රටට එරෙහිව එල්ල වන ප්‍රහාරයන් හමුවේ සාර්ථක පිළිතුරු ලබාදීමට ඔවුන් බැඳී සිටිති. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල සේවය කරන තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් විවිධ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ වූවෝ වෙති. ඇතැම් විට වසර ගණනාවක් විදේශ සේවයේ සිටි පළපුරුදු අය මෙන් ම වෙනත් වෘත්තිකයන් ද ඒ අතර වෙති.

මෙහි දී පෙන්වා දීමට උත්සාහ කරන්නේ එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මානුෂීය මෙහෙයුම් සිදුකළ අවසන් සමයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කළ වීරෝධාර රණවිරුවන් තිදෙනෙක් අද වන විට විදෙස් රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස පෙනී සිටීමයි.

මෙලෙස සේවය කරන රාජ්‍යතාන්ත්‍රිකයන්ට ද කොටිහිතවාදීන් විවිධාකාරයේ අවලාද නගන්නට විය. යුද අපරාධ චෝදනා එල්ලකරමින් අධිකරණයන් හමුවේ නඩු දැමීමට පියවර ගත්හ. අදාළ සේවාවෙන් ඉවත් වන ලෙස ඒ ඒ රජයන් වෙත බලකර විරෝධතා ව්‍යාපාර ආරම්භ කළහ. කෙසේ වූවද අපේ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මෙන් ම විදේශ කටයුතු අමාත්‍යාංශය පෙනී සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හා තානාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජර්මනියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ජගත් ඩයස් හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහත්වරුන්ට කොටි හිතවාදීන්ගෙන් යුද අපරාධ චෝදනා එල්ල විය. අදටත් එවැනි චෝදනාවලින් කිසිදු අඩුවක් නොමැත. ඒ කුමන චෝදනාවක් එල්ල වූව ද ඔවුන් ශක්තිමත් හා නව ජවයකින් ඉදිරියට ගමන් කරනුයේ ශ්‍රී ලංකාව වෙනුවෙනි.

මෙවැනි එඩිතර විරුවන් ඒ ඒ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් බවට පත් කර ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවන්ට නිසි පිළිතුරු ලබා දීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ මෙහෙවර කාගේත් පැසසුමට ලක් වන්නේ ය. යුද බිමේ දී නොබියව පියවරෙන් පියවර ඉදිරියට ගියා සේ ම ජාත්‍යන්තරය ජය ගැනීමට ද ඔවුන් කිසි විටෙකත් පැකිලෙන්නේ නැත.