මේ ස්වර්ණමය යුගයේ ආරම්භයයි

මේ ස්වර්ණමය යුගයේ ආරම්භයයි
 

ජනපතිඳුන්ගේ දෙවැනි පදවි ප්‍රාප්තිය 2010 නොවැම්බර් මස 19 වන දින සිදු වුණා. එය ජ්‍යෙතිෂයට අනුව කෙසේ වූයේද ?

2010 නොවැම්බර් 19 වන දින පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවෙනිි වතාවට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ඒ වන විට මහා බලගතු රාජයෝගයක් ශ්‍රී ලංකා කුම්භ ලග්න ජන්ම පතේ පැවතියා.

එය රාජයෝගවලින් අංක එකේම රාජයෝගය සාමාන්‍යයෙන් ජ්‍යෙතිෂය ගැන සුළුවෙන් දන්නා කෙනෙක් වුණත් මේ රාජ යෝගය ගැන දන්නවා. එය ‘හූචක’ නම් මහා පුරුෂ යෝගය ලෙස හඳුන්වනවා. ලක්ෂයක් දෝෂ භංග කරන ප්‍රබලම ග්‍රහ යෙදුමක් ගෙන දුන් දිග් බලය නම් සුවිශේෂී බලයක් හේතු කොට ගෙන පෙර පින් බලය ගැන පවසන භාග්‍යස්ථානය නමින් හඳුන්වන 9 වැන්නේ තුලා රාශියට අධිපති සිකුරුත් බලගතුව පිහිටියා. එනිසා දෙවෙනි පදවි ප්‍රාප්තිය යෙදුණු දිනය මහා බලගතු ග්‍රහ යෙදුමක් යෙදී තිබුණු දිනයක්.

එවගේම එදින එතුමා උපන් නැකතම යෙදී තිබුණා. එය ඉතා බලගතු නැකතක්. ග්‍රාහ ගමන් අප කාටවත් වෙනස් කළ නොහැකියි. මේ රටේ රාජ්‍ය නායකයාගේ වාසනාවට මහා විශාල බලගතු ග්‍රහ යෙදුමක් ද 2010 නොවැම්බර් 18 සහ 19 යන දෙදින තුළ යෙදී තිබුණා.

පංච මහා පුරුෂ යෝග හේතුකොට ගෙන ගුරුගෙන් යෙදුණු ලක්ෂයක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුම හා දිග් බලය නම් බලගතු ග්‍රහ යෙදුම හේතු කොට ගෙන පෙර පින් බලය ගැන පවසන 9 වැන්නේ සිකුරු ඉතාම ස්වක්සේත්‍ර හා මූල ත්‍රිකෝණ බලයෙන් සිටීම අනුවත් රටේ පාලන බලය දකුණු පළාතට ගොස් මේ රටේ ජ්‍යෙතිෂවේදීනුත් නොහිතන කාලවකවානුවක් මේ රාජපක්ෂ පරපුර රට පාලනය කරනවා.

මෙය දශක හැටියටත් සඳහන් කළ නොහැකියි. ඒ ගැන මීට වඩා යමක් සඳහන් කරන්නේ නෑ. මේ තත්ත්වය කාවටත් වෙනස් කළ නොහැකියි. මෙතෙක් මා කියූ අනාවැකි කිසිත් වැරැදී නෑ. ඒ වගේ නිවැරැදිව අනාවැකියක් ඒ සඳහන් කළේ.

ජනපතිඳුන්ගේ දෙවන ධුර කාලයේ වසරක් ගෙවී ගොස් දෙවන වසර ආරම්භ කරන මේ මොහොතේ එහි සුබ මං සලකුණු ගැන යමක් සඳහන් කරමු.

මේ දෙවනි පදවි ප්‍රාප්තියේ දෙවනි වසර ආරම්භ කරන මොහොතේ යෙදෙන ග්‍රහ තත්ත්වය ඉතාමත් බලගතුයි. 2009 සැප්තැම්බර් 09 වෙනිදා සිට ශ්‍රී ලංකා කුම්භ ලග්නයට ලග්න ඒරාශ්ටකයක් සෙනසුරු ගෙනදී තිබෙනවා.

එවගේම ජනරජ සිංහ ලග්නයටත් සෙනසුරු ඒරාශ්ටකයක් ගෙනදී තිබෙනවා. මේ ඒරාශ්ෂ්ටකත් සමඟයි, ජනපතිඳුන් මෙතෙක් කටයුතු කළේ.

නමුත් අද දින ජනපතිඳුන් දෙවැනි පදවි ප්‍රාප්තියේ දෙවෙනි වසර අරඹන්නේ ශ්‍රී ලංකා කුම්භ ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා උච්චත්වයෙන් උච්ච බලයෙන් සිටින වෙලාවක. එනිසා මේ ආරම්භයත් සමඟ රටේ ග්‍රහ තත්ත්වය සුබදායකයි. එනිසා ආරම්භ කරන සියලු සංවර්ධන කටයුතු කඩිනමින් නිමා කර ගැනීමට ද හැකියාව එතුªමාට ලැබෙනවා.

ජනපතිඳුන්ගේ ජන්ම පතට අනුව එතුමාගේ ධනස්ථානයට සෙනසුරු පැමිණ බලගතු වුණා. රටේ රාජ්‍ය නායකයාගේ ධනස්ථානයට සෙනසුරු පැමිණ බලගතු වන විට එහි සුබපල ලැබෙන්නේ රටට.

රට තුළ සිදුකෙරෙන සංවර්ධන වැඩ කටයුතුවල ඉදිරිය කෙසේ වේද ?

රටේ සංවර්ධන කටයුතු වේගවත්ව කෙරුණත් එහි ප්‍රතිඵල අපට දක්නට ලැබුණේ නෑ. උදාහරණ තමා හම්බන්තොට වරාය එය විවෘත කළාට තවම එහි ආදායම් මාර්ග පැමිණියේ නෑ. එවගේමයි නොරොච්චෝලෙ සංවර්ධන කටයුතුවලටත් පොඩි පොඩි බාධා කිරීම් එල්ල වුණා. තවද අධිවේගී මාර්ගය පසුගිය ඔක්තෝම්බර් මාසයේ විවෘත කිරීමට සිටියත් පැවති ග්‍රහ තත්ත්වය නිසා එය වෙනස් වුණා. මේ සෙනසුරු මාරුවෙන් පසුව මෙ මස 27 වෙනිදා එම මාර්ගය විවෘත කෙරෙනවා.

එනිසා මේ ග්‍රහ පිහිටීම් අපේ සංවර්ධන කටයුතුවලට පොඩි පොඩි බාධා එල්ල කළා. ඒවා එතරම් සැළකිය යුතු ආකාරයකට සිදු වුණේ නෑ.

එබැවින් දැනට ආරම්භ කර ඇති සංවර්ධන කටයුතු වේගයෙන් සංවර්ධනය වී ඉන් නිසි පල ලැබීමට ජනපතිඳුන්ගේ මේ දෙවන පදවි ප්‍රාප්තියේ දෙවෙනි වසරේ ආරම්භයත් සමඟ හැකියාව ලැබෙනවා.

මේ සෙනසුරු මාරුවේදී සෙනසුරු මාරු වී තුලා රාශියේ ඉන්නවා. මෙය 2014 නොවැම්බර් 02 දා දක්වා පවතිනවා. මේ කාලය තුළ රට තුළ කෙරෙන සංවර්ධන කටයුතුවල විශාල ප්‍රගතියක් සමෘද්ධියක් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සෙනසුරු මාරුවත් සමඟ රටේ ස්වර්ණමය යුගය ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කුම්භ ලග්නයේ නවවෙනි කොටුවට තමා සෙනසුරු පැමිණ බලගතු වන්නේ නව වෙනි කොටුවෙන් විදේශ ගමන්, විදේශ සබඳතා පෙන්නුම් කරනවා. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. එවගේම උසස් අධ්‍යාපනයේත් විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරනවා. එහිදී විදේශීය දරුවන් අධ්‍යාපනය හැදෑරීමට මෙරට පැමිණීමට නියමිතයි. විදේශ ආයෝජකයන් විශාල ලෙස මෙරටට පැමිණෙන බවක්ද පෙන්නුම් කරනවා.

කෘෂි කර්මාන්තයේ ප්‍රගතිය මේ සියලු ක්ෂේත්‍ර අභිබවා ඉදිරියට පැමිණෙනවා. එදා රජ දවසේ රටේ පැවති ස්වයං පෝෂිත ජීවන රටාව නැවත මෙරට ජනතාවට උරුම වෙනවා.

ලෝකයේ බොහෝ රටවල් අද වන විට ස්වාභාවික විපත්වලට ගොදුරු වෙමින් පවතිනවා. අපේ රටටත් එවැනි බලපෑම් ඇති වෙයිද ?

අපට අපල ගෙන දෙන ප්‍රධාන ග්‍රහයන් දෙදෙනෙක් ඉන්නවා. ඉන් එක් කෙනෙක් සෙනසුරු, අනිත් කෙනා රාහු. මේ වෙලාවේ රාහු ග්‍රහයා නීචව ඉන්නේ. මේ ආකාරයට රාහු නීච වූයේ පසුගිය ජූනි මාසේ 6 වෙනිදා එනිසා රාහුගේ නීචත්වය ටිකක් බලපානවා. ඒ වගේම මේ වෙලාවේ කේතු ග්‍රහයත් නීච තත්ත්වයට පත්ව සිටිනවා. ඒ නිසා කාලගුණය හා දේශගුණස යන පැතිවලින් සුළු සුළු බාධා ඇතිවිය හැකියි.

ස්වාභාවික විපත් නිසා ලෝකයේ බොහෝ රටවල විශාල පිරිස් මියයද්දී එවැනි බලපෑම් අපට ඇති වුණේ නෑ. (සුනාමිය හැර) ඒ කියන්නේ අපේ රටේ තිබෙන වාසනාව. මෙයට ජනපතිඳුන්ගේ වාසනා ගුණයත් එක්ව තිබෙනවා.

රට තුළ ක්‍රියාත්මක අනෙක් ප්‍රබල පක්ෂ ගැන යමක් සඳහන් කළොත්

ජනාධිපතිතුමාගේ ග්‍රහ බලය හේතු කොට ගෙනත් මේ වෙලාවේ රටේ තිබෙන ග්‍රහ තත්ත්වය හේතු කොට ගෙනත් සාර්ථක විපක්ෂයක් තිබීමට හැකියාවක් නෑ. මහජනතාව විවිධ පක්ෂවලට එකතුª වන්නේ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගන්න. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ සියලු ජනතාවගේ අපේක්ෂාවන් හා බලාපොරොත්තු ඉටු කිරීමට ක්‍රියා කරන නිසා වෙනත් පක්ෂයක පිහිට පැතීමට මහජනතාවට අවශ්‍ය නෑ. ඉන් පෙන්නුම් කරන්නේ මෙතුමාගේ පාලන කාලය තුළ පක්ෂ දේශපාලනයට තිත තැබීමක් සිදුවන බවක්.

රජයට විරුද්ධ ව සිදු කෙරෙන විදේශීය බලවේග ගැනත් යමක් සඳහන් කිරීම කාලෝචිතයි.

මේ කිසිම බලවේගයකට ජනාධිපතිතුමාට විරුද්ධව යමක් කරන්න බෑ. 2014 නොවැම්බර් 02 වනදා දක්වා මේ තියෙන ග්‍රහ තත්ත්වය අනුව කිසිදු විදේශීය බලවේගයකට මේ රටට අත තියන්න බෑ.

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වන සමුළුව පවත්වන්නේ ලංකාවේ ඉන් විශේෂ වාසි ලංකාවට අත්වෙයිද ?

2013 වසරේ සෙනසුරු උච්චව ඉන්න වෙලාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වන සමුළුව ශ්‍රී ලංකාවේ තියෙනවා. කියන එක ඉතා වැදගත්. රටේ නායකයාගේ රටේ ජනතාවගේ වාසනාවට මෙය සිදුවන්නේ. 1976 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය පැවති වෙලාවේ නොබැඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේ තිබුණෙ.

ඒ වෙලාවේ ලෝකයේ රටවල රාජ්‍ය නායකයන්ගේ අවධානය අපේ රට කෙරෙහි යොමු වුණා. එහිදී සිරිමාවෝ මැතිණියගේ ඉල්ලීමක් අනුව තමා අපේ රටේ උදවියට මැද පෙරදිග රැකියා සඳහා යාමට අවස්ථාව ලැබුණේ. එනිසා 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව 2013 වසරේ ලංකාවේ පැවැත්වීම අපේ රටේ සංවර්ධනයේ විශාල ප්‍රගතියකට හේතුª වෙනවා.

2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයේ දිවුරුම් දුන් මොහොත් සිට මේ දක්වා පැවති සෑම පදවි ප්‍රාප්තියක්ම සිදු වී දින නැකැත් දවස්. අද දිනත් ඉතාම සුබදායක දවසක්. එයිනුත් අමුතු ආකාරයේ ආශිර්වාදයක් හිමිවන බවක් පේනවා. ජනපතිතුමා යන මේ ගමනට රාජපක්ෂවරුන්ගෙන් ලැබෙන ශක්තිය ඉතාම බලගතුයි. එය රටට වාසනාවක්. පෙර සිටි කිසිදු රාජ්‍ය නායකයකුට මේ වාසනාව තිබුණේ නෑ.

’බලගතු ග්‍රහ යෝගයක් මැදින් ජනපති දෙවන පදවි ප්‍රාප්තියේ දෙවන වසර ආරම්භ කරයි.