අභියෝග ජයගත් දූරදර්ශී නායකයා

අභියෝග ජයගත් දූරදර්ශී නායකයා

ඵලයක් කෙරෙන් මහා වෘක්ෂයක් එකෙණෙහිම පැන නඟින්නේ නැත. එය හැදී වැඩෙන්නට අවැසි සාධක සියල්ල මනා සේ සපුරාලිය යුතුය. එය කාලාන්තරයක් තිස්සේ වර්ධනය වී මහා වෘක්ෂයක් සේ ආඩ්‍යවෙයි. නායකත්වය ඔප මට්ටම් වන්නේ ද ඊට අවැසි සාධක කාලාන්තරයක් තිස්සේ සැපිරීම තුළිනි. එහෙත් ආකර්ශනීය නායකත්වය ලැබීම එක් ආකාරයක ආශිර්වාදයකි. දුලබ නායකත්වයකි. එය ඔපමට්ටම් වූයේ මිනිසා මිනිසාට හැබෑ ලෙසම ළෙංගතු වූ නිසා යැයි කීම අතිශෝක්තියක් ලෙස සැලකිය නොහේ. “මහින්ද රාජපක්ෂ” නැමැති ආකර්ශනීය නායකත්වය මා හඳුනා ගත්තේ මීට වසර හතළිස් පහකට පමණ ඉහතදීය.

මගේ මතකයේ හැටියට ඒ 1967 වර්ෂයේ දිනයකි. විදේ‍යීදය සරසවි බිම පුරා තැන තැන විසිර ගත් සිසුහු සිය දෛනික කටයුතුවල නිරතව සිටියහ. එහෙත් සුමංගල ශාලාව ඉදිරිපිට අමුතු යමක් සිදුවෙමින් තිබිණ. සුදු නෝනා කෙනකුත්, විල්මට් මහත්තයාත් තවත් පුද්ගලයකුත් ළමයින් අතරට පිවිසියේ ය. මේ පුද්ගල සුසංයෝගය හැඳින්වූයේ විල්මට් ඒ පෙරේරා කොමිසම ලෙසිනි. කොමිසමේ අපේක්ෂාර්ථය වූයේ විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා සාක්ෂි එකතු කිරීමය. එහෙත් කතිකාචාර්යවරු සේම සිසුහු ද මුනිවත රැක්කාහ.

“ඇයි මේ අය කිසි කෙනෙක් පරිපාලනයේ හොඳ හෝ නරක හෝ අපි සමඟ නොකියන්නෙ”

එදා සුමංගල ශාලාව ඉදිරිපිට දී කොමිසමේ ඇත්තෝ විමසූහ. ආවේගශීලි ශිෂ්‍යයෝ ඔවුනට හූ කියන්නට විය. පුංචි පුංචි ගල්කැට නියපොත්තට තබා විඳීන්නට නොපසුබට වීය. මේ කලබලයෙන් මිදී ගන්නට කොමිසමේ පිරිස වහාම උසස් අධ්‍යාපන කොමිසමේ වාහනවලට නැඟ ගත්හ. දෙවැනි වසරේ ශිෂ්‍යයෙක්ව හුන් මා ඔවුන්ගේ පාර හරස්කොට පාර හරහා නිදා වැටුණි. මහ හඬින් නැංවූ තිරිංග හඬ සමඟ රෝදය නතර වූයේ මගේ පපුව ළඟය. “මේ ඉදිරිපත් වීම කාගෙදැයි සොයාගෙන මහින්ද රාජපක්ෂ තරුණයා ජිම් එකට ආවේය.

ඇවැසි සියලු උපකාර සඳහා ඉදිරිපත් වූයේ ය. ඒ මිත්‍රත්වය එතුමාගේ ගමන් මඟ වෙතට අප මෙහෙය වූ බව සත්‍යයක්. විශ්වවිද්‍යාල සහකාර පුස්තකලාධිපතිවරයා ලෙස කටයුතු කළ රාජපක්ෂ තරුණයා එදා සිටම තමන්ගේ ගමන් මඟට අවශ්‍ය ඉදිරිගාමි චරිත සොයා ගියේ ය. හිතවත්කම් පවත්වා ගත්තේ ය. ලොකු කුඩා කාගේත් දුකට සැපට මානව හිතවාදියෙක් වූයේ ය.

ඒ නිසාම අපි එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට නොපසුබට කැපකිරීමක නියුක්ත වීමු. එවක ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාව සිටි මහින්ද විජේසේකරත් මමත් මුළු දේශන කාලයම ඊට යෙදවීය. ඒ 1970 වර්ෂයයි. එහෙත් අපේ කතා නායකයා නොදත් රහසක් මා සතුව තිබිණි. ඒ කොමිනියුට් පාක්ෂිකයකු ලෙස පෙනී සිටියද මම ජේවීපි සමාජිකයකු වීමයි. ජේවීපි ප්‍රකාශන අංශයේ කටයුතු කළ මා රතු කැකුළු හා ජනතා විමුක්ති පත්‍ර දෙකෙහිම කටයුතු කළේ ය.

අවසානයේ අපේක්ෂකයා මැතිවරණය දින්නේ ය. දැන් ඔහු අපේ මන්ත්‍රී තුමාය. කළගුණ සැලකීමෙහි ඔහු අදටත් නොපසුබට වන්නෙකි. එදා රාජපක්ෂ මන්ත්‍රීවරයා මා ඇමැතුවේ ය.

පළමුකොටම ලැබූ රස්සාවන්ගෙන් රක්ෂණ සංස්ථාවේ රස්සාව බාර ගන්නැයි ඔහු මට කීවේ ය. එහෙත් මාගේ රහස් සංගමය වූ හෙයින් මා එය ප්‍රතික්ෂේප කළේ දැන්ම රක්ෂා වුවමනා නැතැයි පවසමිනි. ඊළඟ වර්ෂය (71) උදාවූයේ මුළු රටම භීතියෙන් ඇලලී යමිනි. මා පිළිබඳ තොරතුරක් සොයා ගන්නට මන්ත්‍රිතුමා වෙහෙස ගෙන තිබිණි. මා ආපසු ඔහු සොයා ආවේ 1972 දවසකය. ඒ ඩඩ්ලි සේනානායක අගමැතිවරයා මෙලොවින් සමුගත් දා ය. ඒ වනවිට කතා නායකයා උන්නේ ඇන්ඩර්සන් මහල් නිවාසයකය. ඔහු මට ජාතික පොලේ කඩයක් අරන් දුන්නේ හෘදයාංගම සහෘද සිතිනි.

ඔහු පිළිබඳ ආපස්සට හැරී බැලීමේ දී මුල්පුරවැසිභාවය දක්වා එන ගමන පිළිබඳ බලාපොරොත්තුව ඔහුට සිහිනයක් නොවූ බව නොරහසකි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහු දේශපාලන සම්බන්ධතා පවත්වා ගත්තේ ය. ඔහු සමඟ එකම වේදිකාවන්හිදී තරග කළ අය සමඟ මිත්‍රව මහත්මයෙක් සේ කටයුතු කළේ ය. එදා මෙදා තුර ඔහු තුළ වන ඉදිරිපත් වීමේ ගුණය අගය කළ යුතුය.

මේ ආකර්ශනීය නායකත්වය ගොඩ නැඟෙන්නට ප්‍රධාන හේතුවක් ලෙස අපට දක්නට හැක්කේ ඔහු විසින් එක් රොක් කරගත් මහා මිනිස් ගංගාවයි. ඔහු සමීපයට යන අයකු තුළ ඇතිවන්නේ ආකර්ශනීය ස්වභාවයකි. දවසේ පැය විසිහතරෙන් 18/19 ක් ම රාජකීය වැඩවල නියුක්තව සිටීම මේ රාජපක්ෂවරුන්ගේ ස්වභාවයයි.

නිර්භීතකම - ඔහු උත්පත්තියෙන් ලද්දකි. වරෙක මිනීමැරුමකට සැක කළ පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් පරීක්ෂණ සඳහා යොමු කරන්නැයි අපට බාර කෙරිණි. අපි ඔවුන් පොලිසියට බාර කළෙමු. මොහොතකින් කාන්තාවෝ දෙදෙනෙක් හති දමමින් පැමිණියහ.

“බුදු මහත්තයෝ අපේ මිනිස්සුන්ට කකුල් දෙකෙන් එල්ලල ගහනව“

ඔහු විදුලි වේගයෙන් පොලීසියට ගියේ ය. අපි පයින්ම පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසට දිව ගත්තේ තත්ත්වය උණුසුම් විය හැකි යැයි අනුමාන කළ හෙයිනි.

“බාපිය ඔය මිනිස්සු” ඔහු මොර දුන්නේ ය. දරුණු ලෙස ගුටි කා සිටි මිනිස්සු ඇවිද ගැනීමට පවා නොහැකි විය.

“අරුන් දෙන්නට දැන් උඹල පැමිණිලි කරපන් මම සාක්ෂි දෙනවා’යි”

රාජපක්ෂ මන්ත්‍රිතුමා ගුටි කෑ මිනිසුන්ට කීවේ ය.

මට සිහිකළ හැකි සුවිශේෂි මතකයන් අතරේ මුල්කිරිගල අතුරු මැතිවරණය ප්‍රධානයි.

එදා නායකතුමා සිය ජීවිතය ගලවා ගත්තේ අනූනවයෙන්.

තංගල්ල කඩපොළේදී මන්ත්‍රීතුමාට කෙනෙක් වෙඩිල්ලක් තිබ්බේ ය. ඉලක්කය වැරදී වෙනත් කෙනකු ඉන් මිය ගියේ ය. එවක එජාප ආණ්ඩුව එහි වරදකරුවා ලෙස රාජපක්ෂ මන්ත්‍රිතුමා හිර බාරයට ගත්තේ ය. එහි දරුණුම ශෝකාන්තය වූයේ දුක දරාගත නොහී රාජපක්ෂ මාතාව මෙලොවින් සමුගැනීමය. අවසානයේ වැරදිකරුවෝ ඉදිරිපත්වූයෙන් මන්ත්‍රීතුමා නිදහස ලැබීය.

ඔහු අද දවස දක්වා ආ ගමන සොඳුරු මාවතක් යැයි පිටතින් දකින්නකුට පෙනෙනවා විය හැකි ය. එහෙත් එය එසේ නොවේ. ධෛර්යවන්ත, නිර්භීත මිනිසකුගේ අභියෝග පිරි මාවතකින් ආ ගමනැකැයි කීම යුක්ති යුක්ත ය. විටෙක ඔහු බෙහෙවින් හැ¼ගුම්බර මිනිසෙකි.

“බැනුම් ඇහුවොත් වැඩේ කෙරෙනවාමයි” ඒ ඔහු පිළිබඳ කියැවෙන ප්‍රකට කතාවකි. ඇවැසි විටෙක ඍජු තීරණ ගැන්මෙහි නොපසුබට නායකත්ව ගුණයකින් හෙබි මහින්ද රාජපක්ෂයෝ සතු ඉහළ කළමනාකරණ ශක්තිය අප ද ආදර්ශයට ගත යුතුය. මුළු මහත් ශ්‍රී ලංකාද්වීපයට කාලෙකින් ලැබුණු මාහැඟි නායකත්වයක් බව කීමද අතිශයෝක්තියක් නොවේ.