ජනාධිපතිතුමාගේ නව සංකල්පයකට අනුව බිහිවූ යොවුන් පාර්ලිමේන්තුව

ජනාධිපතිතුමාගේ නව සංකල්පයකට අනුව බිහිවූ යොවුන් පාර්ලිමේන්තුව

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ හයවැනි පදවි ප්‍රාප්තිය දක්වා පැමිණි ගමන් මඟ දෙස හැරී බලනවිට ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් විපර්යාසයන් රැසක් ඇති කිරීමට එතුමාට හැකිවිය. 1815න් පසු ශ්‍රී ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ජන නායකයා ලෙස බහුතර ජනතාව අතර ජනාදරයට පාත්‍ර වීමට හැකිවූ එකම නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට හැකිවිය.

රටේ කොඳුනාරටිය බඳු තාරුණ්‍ය එදා රටේ නායකයාට හා පාලකයන්ට එරෙහිව විවිධ අරගලයන් කරපු යුගයක් පැවතුණි. වමේ තරුණ පිරිස් පෙළ ගැසුන නමුත් වර්තමානයේ එවැනි උපවාස, උද්ඝෝෂණ අද රටේ ක්‍රියාත්මක නොවේ. එනයින් බලනකල අපට පෙනීයන එක් පැහැදිලි කරුණක් වන්නේ ශ්‍රී ලාංකීය තාරුණ්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සංකල්ප හා අනාගත දැක්ම පිළිබඳව එතුමන් සමඟ සිටින බව කිව යුතුය.

ශ්‍රී ලාංකීය මාතෘ භූමියේ පිනට පහළවූ ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමන් ශ්‍රී ලාංකීය දේශපාලනයට කලා වූ මහගු මෙහෙවර ඉදිරියට ගෙන ඒම සඳහා 1970 දී පාර්ලිමේන්තුවේ එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වීමද විශේෂ සිදුවීමකි. නමුත් 1977 එක්සත් ජාතික පක්‍ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය නිසා 1977 දී මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට පාර්ලිමේන්තු අසුන අහිමිවිය. එහෙත් 1989 සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නැවත පාර්ලිමේන්තුවට තේරී පත්වීමට එතුමාට හැකිවුණේ නිරන්තරයෙන් ජනතාව කෙරෙහි වූ විශ්වාසය තවත් ඔපනන්වමිණි. එම කාල වකවානුවේදී මානව අයිතිවාසිකම් වෙනුවෙන් එඩිතර හඬක් නැඟූ මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකටව සිටියේය.

එවැනි මානව දයාව තේරුම්ගත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ඉන්දියාවේ කල්කටා විශ්වභාරතී සරසවිය මගින් මානව කටයුතු සුරැකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර්ය පදවියක්ද ප්‍රදානය කෙරිණ. පුරා වසර 40 කට අධික දේශපාලන ජීවිතය තුළ ගොඩනඟාගත් ප්‍රධානතම කාරණයක් වන්නේ විදේශ රටවල් සමඟ මිත්‍ර සබඳතා ගොඩනඟා ගැනීමයි. එමගින් එතුමා හුදෙකලා වූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය පසුබිම සකසන ලදී.

වර්ෂ 1994 සිට 2004 දක්වා ධීවර කටයුතු පිළිබඳව කැබිනට් අමාත්‍යධුරය දරනු ලැබීය. එම අවධියේදී එතුමා සාගර කටයුතු පිළිබඳව ෂශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබූවේ රටේ නව වෙනසකට මූලබීජ වපුරමින්ය. අනතුරුව කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, පසුව වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරමින් හම්බන්තොට වරාය ඉදිකිරීමේ මූලික පදනම දමන ලදී.

2002 මාර්තු මාසයේදී විපක්ෂනායකවරයා ලෙස තෝරාපත් කෙරිණි. 2004 අපේ‍්‍රල් මාසයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමට ශ්‍රී ලංකා දේශපාලන කරලියේ නව වෙනසකට මුල පිරීය. එතුමාගේ එඩිතර නායකත්වයෙන් යුතුව 2005 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙමින් 2005 නොවැම්බර් 19 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සිදුවිය. එම දිවුරුම් දීම ශ්‍රී ලාංකීය ජන සමාජයේ වෙනසකට මුලපුරන බව හා රට එක්සේසත් කරන මහා ජන නායකයා මෙතුමන් බව කිසිවකු නොසිතන්නට ඇත.

අද වනවිට ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානයට ලක්වූ රාජ්‍ය නායකයෙක් බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පත්වී හමාර ය. ඒ එතුමන්ගේ එඩිතර හා උදාරතර, බුද්ධිමත් නායකත්වය පිළිබිඹු කරනු ලැබූ නිසාය. ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී විවිධ බාධක කම්කටොළු පැමිණියත් එම බාධක මැඩලීමට මහා පවුරක් සේ මේ ශ්‍රී ලාංකීය ජනතාව පෙළගැසෙන බව කිවයුතුය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ 6 වන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මතක් කළයුතු තවත් කරුණක් වන්නේ රටේ තරුණ නායකයන් බිහිකිරීම සඳහා විශාල කාර්යභාරයක් එතුමන් විසින් ඉටු කිරීමය. ලංකාවේ ක්‍රියාත්මක වන පුළුල්ම තරුණ සංවිධානය වන යෞවන සමාජ තරුණ සම්මේලනය මගින් අනාගත තරුණ දේශපාලන නායකයන් බිහි කිරීමේ හා ජාතීන් අතර තරුණ අදහස් හුවමාරු වැඩ සටහන යොවුන් පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ආන්දෝලනාත්මක කටයුත්තක් වනු ඇත.

ගමේ තරුණ නායකයන් එකතු වන මෙම යොවුන් පාර්ලිමේන්තුව මගින් ජාතීන් අතර සුහදත්වය අන්‍යොන්‍ය අවබෝධය හා භාෂා කුසලතාව වර්ධනය කරගෙන හමාරය. උතුරේ ද්‍රවිඩ තරුණයන් බහුතරයක් ඒකීය රාජ්‍යයක් තුළ කටයුතු කළයුතු යැයි අප සමගින් පවසන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උදාරතර දේශපාලන සංකල්පයට හිස නමමින්ය.

මෙවැනි නායකයෙක් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වීම තුළ රටේ ශ්‍රී ලාංකීය තරුණ හඬ එතුමන් කෙරෙහි නිතැතින් යොමුවීම තුළ සංවර්ධනයේ අරුණලු උදාවීම දෙමළ ඩයස්පෝරාවට හෝ බටහිර බලවේගවලට අත පෑමට නොහැකි වනු ඇත.