පුන්‍යවන්ත දෙරණේ පුන්‍යවන්ත නායකයා

පුන්‍යවන්ත දෙරණේ පුන්‍යවන්ත නායකයා

මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව මරණ බියෙන් වෙළී සිටි යුගයක, හෙටක් ගැන අංශු මාත්‍රයක බලාපොරොත්තු නොතිබූ යුගයක, ආර්ථික වර්ධනය, කොටස් වෙළඳපොළ, සංචාරකයන්ගේ පැමිණීම, මාර්ග කාපට් කිරීම, වැටුප් වැඩිකිරීම ආදී මේ කිසිදු කරුණක් ජනතා අවධානයට ලක් නොවූ යුගයකි.

පාසල් ගිය දරු පැටව් එනතුරු ගේට්ටු මුරකළ, දුම්රියේදී පෙම්වතුන් වී විවාහ වූ අඹුසැමියන් බෝම්බයකට මරුමුවට පත් වුවහොත් දරුවන් වෙනුවෙන් එක අයෙකු හෝ ජීවත් වියයුතු යැයි සිතා දුම්රිය දෙකක ගමන් කළ යුගයක්, මායිම් ගම්මාන කියා අවදානම් කලාප තිබූ යුගයක්, මෙරටට පැමිණෙන නැව් සඳහා රක්‍ෂණ අධිභාර ගාස්තු අයකළ යුගයක්, නිත්‍යානුකූල නොවන පොලිසි, උසාවි, ආණ්ඩු පැවති යුගයක් සැමවිටම අවිනිශ්චිත ජීවිත අවදානමින් වෙලී සිටි යුගයක්. එවන් වූ යුගයක ලක් දෙරණේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලු ජනතාව අපේක්‍ෂා කළේ මරණ බයෙන් තොරව සාමකාමීව ජීවත් වියහැකි රටක් උදාකළ හැකි නායකයෙකු තෝරා පත්කර ගැනීමයි.

මේ වනවිට ඉහත සඳහන් කළ සියලු උපද්‍රව පහව ගොස් ඇත. ආර්ථික යුද්ධය ජයගැනීම මීළඟ අභියෝගයයි.

එය අසීරු එහෙත් ජයගතහැකි ඉලක්කයකි. රාජ්‍යයක් සංවර්ධනයේ ඉහළට ඒමට දර්ශනයක්, ඉලක්කයක්, වැඩපිළිවෙළක් හා ඒ සඳහා සුදුසු නායකත්වයක් අවශ්‍යයය.

ශ්‍රී ලාංකික ජනතාව ආර්ථික, සමාජීය හා සංස්කෘතික අතින් සෞභාග්‍යමත් ජනතාවක් බවට පත්කිරීමට ඉදිරි වසර කීපය තුළ හැකිවනු ඇත. එය 2005 දී අති මහත් ශ්‍රී ලාංකික ජනතාව විසින් ගත් නිවරදි තීන්දුවේ ප්‍රතිඵලය වනු ඇත.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අත්පත් කරගැනීම වෙනුවෙන් සැකසුණු යහපත්ම දර්ශනය මහින්ද චින්තනයයි. එය රටේ සියලු ප්‍රදේශ ආවරණය වූ ශක්තිමත් වැඩ පිළිවෙළකි.

මීට වසර 6කට පෙර මෙරටට කෙනහිලිකම් කළ ජාත්‍යන්තරයේද මේ වනවිට යහපත් ප්‍රතිචාර දක්වයි. ආයෝජකයෝ, සංචාරකයෝ ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් සිටිති.

සියලු ජයග්‍රහණයන් පිටුපස නිවැරැදි නායකත්වයක් ඇත. අත්දැකීම් බහුල, සෘජු තීරණ ගැනීමේ හැකියාව ඇති විශේෂයෙන් මව්බිම, තමන්ගේ ජනතාව වෙනුවෙන් දිවි දෙවැනි කොට සලකන නායකයෙකු සිටින රටක ඉපදීම ද අප ලද භාග්‍යයකි.

අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය සැමරීම අතිශයින්ම ආඩම්බරයෙන් සිදුකළ හැකි සැමරුමකි.

ජනාධිපතිධුරයේදී පසුගිය වසර කීපය තුළ මව්බිම වෙනුවෙන් කළ කාර්යභාරය සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සදා මතකයේ රැඳෙනු ඇත.

ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ සුභ පෙරනිමිති දැනටමත් දසත පැතිරී ඇත. දැයේ දූ පුතුන්ට අනභිභවණීය ශ්‍රී ලංකාවක් උරුම කර දීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දරන්නාවූ මෙහෙය කැපවීම ශ්‍රී ලාංකික අප සැමගේ ගෞරවාදරයට පාත්‍රවනු ඇත. මෙවැනි සමයක මේ පුණ්‍යවන්ත දෙරණේ ජීවත්වීමට වාසනාවන්තයෙක් වීමි.