නොසැලෙන නායකත්වය

නොසැලෙන නායකත්වය

ජනාධිපතිතුමන්ගේ ජන්ම දිනය සහ තෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුබ පැතුම් පණිිඩයක් එක් කිරීමට ලැබීම මා ලැබූ මහත් භාග්‍යයක් ලෙස සලකමි. වසර 30ක් පුරා රට වෙලා තිබූ රුදුරු ත්‍රස්තවාදය මුලිනුපටා දමා රට එක්සේසත් කිරීමට අවශ්‍ය දූරදර්ශී නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයා ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති ලෙස මෙම ධූරයට පත්වූයේ අතිවිශාල ජනතා ප්‍රසාදයකිනි. එසේම එතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් ජනතා හිතකාමී එඩිතර ශූර නායකයෙකු ලෙසත් ජනතාවගේ සිත් දිනා ගෙන ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ජාතියේ පෙර පිනට පහළ වූ නායකයෙකු ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකිය. නිදහසින් පසු බලයට පත් කිසිම නායකයෙකු හමුවේ නොතිබුනු අති දුෂ්කර අභියෝගය වූ යුද්ධය ජය ගැනීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිදුන්ට අභියෝගයක් විය. එතුමන් ජනාධිපති ධූරය භාර ගන්නා අවස්ථාවේදී කුරිරු ත්‍රස්තවාදය මුළු රටම වෙලාගෙන තිබූ අතර සෑම ජන කොට්ඨාසයකටම එහි රුදුරු පල විපාක විඳීමට සිදුව තිබිනි.

එතුමාගේ එකම අභිප්‍රාය වූයේ කෙසේ හෝ තිස් වසරක ශාපලත් යුද්ධයෙන් ශ්‍රී ලංකා දේශයත් දෙකෝටියක ජනතාවත් මුදා ගැනීමයි. එතුමන්ගේ නොසැලෙන නායකත්ය නිසාම මුළු රටේම ජනතාව යුද්ධය නිමා කිරීමේ එකම අරමුණින් එතුමන් වටා රොක්වී තම සම්පූර්ණ සහයෝගය ලබාදුනි.

ශ්‍රී ලංකාව වර්තමානයේ ආසියාවේ ඉතාම නිදහස් සන්සුන් රාජ්‍යය බවට පත්ව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ එම දූරදර්ශී සහ ජාත්‍යන්තර බලවේග හමුවේ නොසැලී කටයුතු කළ අභීත නායකත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි.

පළමුවත් මවුබිම, දෙවනුවත් මවුබිම, තෙවනුවත් මවුබිම යන්න ජනාධිපතිතුමන්ගේ ශීර්ෂ පාඨය විය. එය අර්ථවත් කරමින් සියලු අභියෝගයන්ට එඩිතරව මුහුණ දෙමින් මව්බිම විජයග්‍රහණය කරා මෙහෙයවීය.

යුද්ධයක් පවතින අතරතුරද රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවීම එතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව පෙන්නුම් කරන්නකි.

රටේ සෑම ක්ෂේත්‍රයකටම පාහේ වර්ධනයක් පසුගිය වසර තුන තුළ පෙන්නුම් කෙරිණි. අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි. උතුරු නැඟෙනහිර ප්‍රධාන කොට මුළු ලංකාද්වීපය තුළම අප අද දකිනුයේ විශාල සංවර්ධන ව්‍යාපෘති ලහි ලහියේ සිදු කෙරෙන ආකාරයයි.

එතුමන් රටේ සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපෘතීන් නිසි ලෙස හඳුනාගෙන ඒවා ඛ්2යාවට නැංවීමට අවශ්‍ය පියවර ගැනීම මඟින් රටේත් ජනතාවගේත් අනාගත ශුභ සිද්ධිය තහවුරු කර ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ‘මහින්ද චින්තනය’ ප්‍රතිපත්ති මාලාව මඟින් රට තුළ විවිධ සංවර්ධන වැඩසටහන් මඟින් ජීවන බර අවම කර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ක්‍රමයෙන් ක්‍රියාවට නැංවෙමින් පවතී. බත බුලතින් සපිරි අඟහිගකමින් තොර ඉසුරුමත් රටක් උදාකරලීම එතුමාගේ අභිප්‍රාය වෙයි.

ජනාධිපතිතුමන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාත සංවර්ධනය කිරීමටත් ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීමටත් “උතුරු වසන්තය” දින 180 සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීය.

යුද්ධයේ අවසන් භාගයේදී උන්හිටි තැන් අත්හැර දමා ජීවිතය පමණක් රැක ගැනීමේ අපේක්ෂාවෙන් පුදුමාතලන් දක්වා පලාගිය උතුරේ ජනතාව කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මිදී රජයේ පාලන ප්‍රදේශවලට පැමිණියහ.

රජය මෙම ජනතාව සුබසාධන ගම්මානවල තාවකාලිකව පදිංචි කරවීමෙන් අනතුරුව අවශ්‍ය සෑම පහසුකමක්ම හැකි උපරිම ආකාරයෙන් සපයා දුනි.

ලක්ෂ තුනකට ආසන්න වූ මෙම සහෝදර ජනතාව නැවත පදිංචි කරවීම සහ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග යළි සකසා දීම රජය හමුවේ පැවති ප්‍රබල අභියෝගයක් විය.

ජනාධිපතිතුමන්ගේ නොසැලෙන නායකත්වය හා මඟ පෙන්වීම යටතේ රජය මෙ කාර්යයට ඉතා සාර්ථකව මුහුණ දුනි. මේ වනවිට ඉතා සුළු කොටසක් හැරුණු විට අනෙකුත් සියලු ජනතාව නැවත පදිංචි කර අවසන්ය.

එමෙන්ම ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් සියල්ලද රජය විසින් සපයා දී ඇත.

ලෝකයේ විශාලතම මෙන්ම වේගවත්ම නැවත පදිංචි කිරීමේ මානුෂික මෙහෙයුම ඉටු කරන ලද්දේ ඉතා කුඩා රජ්‍යයක් වන ශ්‍රී ලංකාව විසින් බව අවිවාදයෙන්ම පිළිගත යුතු වේ.

උතුරු වසන්තය වැඩසටහන යටතේ උතුරු ප්‍රදේශයේ යටිතල පහසුකම් විදුලිය, ජලය, සනීපාරක්ෂක සේවා, කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය, සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තය, සෞඛ්‍යය , අධ්‍යාපනය, ක්‍රීඩා , ප්‍රවාහනය යනාදී ක්ෂේත්‍ර බොහොමයක් ශීඝ්‍රයෙන් සංවර්ධනය කෙරිණි.

එසේම මහා පරිමාණ හා කුඩා වැව් සකස් කිරීම, ප්‍රධාන මාර්ග හා අනෙකුත් මාර්ග අලුත්වැඩියාව, විනාශ වූ පාලම් සහ නව පාලම් ඉදි කිරීම, රජයේ සියලු ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, ආගමික ස්ථාන පිළිසකර කිරීම යනාදී කාර්යයන් බොහොමයක් දැනටමත් නිම කර ඇත. ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් උතුරේ සිදුවන දැවැන්ත සංවර්ධනයේ ප්‍රතිපල පළාතේ ජනතාව භුක්ති විඳිමින් සිටී. ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇත.

ත්‍රස්තවාදයෙන් නිදහස් වූ උතුරු පළාතේ ආර්ථික, සාමාජික සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි පිබිදීමක් ඇත. රට ගිල ගෙන තිබූ ත්‍රස්තවාදයේ අඳුරු පරිච්ඡේදය නිම කළ ජන නායකයානන් හට අනාගත පරපුරද සිය ප්‍රණාමය පුද කරනවා නොඅනුමානය.

වසන් කළ නොහැකි යැයි පැවසූ යුද්ධය අවසන් කර නිදහස් මව්බිමේ සමෘද්ධිය යළි දිනා ජාතියත් අපගේ දරුවනුත් සුබ අනාගතයක් කරා රැගෙන යන ගමනට සියලු ජනතාවගේ ආශිර්වාදය ලබමින් චිරාත් කාලයක් රටට මහඟු සේවයක් කිරීමට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!

ඔබතුමන්ට දීර්ඝායුෂ වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

චිරං ජයතු නායකයාණෙනි,