රටට සුදුසුම නායකත්වය

රටට සුදුසුම නායකත්වය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 වසරේදී බලයට පත්වන විට එතුමා හමුවේ තිබූ ප්‍රධානම අභියෝගය එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමයි. රට හමුවේ එතුමා තැබූ ප්‍රධාන ප්‍රතිඥාව ද එයයි. බලයට පත්වීමටත් කලින්ම ඇතැම් දෙස් - විදෙස් බලවේග එතුමා හඳුන්වා දුන්නේ යුද වාදියෙකු වශයෙනි. එහෙත් ඒ වනවිට දශක දෙකහමාරක පමණ කාලයක් රටටත් - ජනතාවටත් ශාපයක්ව තිබූ ත්‍රස්තවාදය පිළිබඳ නිවැරැදි අවබෝධයක් තිබූ නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රශ්නයට අවතීර්ණ විය.

මේ ප්‍රශ්නය විසඳාගැනීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. නායකයා සමඟ ඍජුව සාකච්ඡා කිරීමට වුව තමා සූදානම් බව එතුමා ප්‍රකාශ කර තිබිණි. පළමු ප්‍රවේශය වශයෙන් සාකච්ඡා මාර්ගය තෝරා ගන්නා ලද්දේ බලයට පත් වූ ඉක්මනින්මය. සෑම අවස්ථාවකදීම පාහේ එල්.ටී.ටී.ඊ. ය සාකච්ඡා මේසයට පැමිණියේ වඩාත් ශක්තිමත් වීම අරමුණු කරමිනි. සාකච්ඡා මේසයෙන් ඉවත්වීම ද සුපුරුදු පරිදි සිදුවිය. මේ පිළිබඳ මනා අවබෝධයකින් යුතුව සාකච්ඡා මේසයට යාම එවර සාකච්ඡා ක්‍රියාමාර්ගයේ තිබූ විශේෂත්වයයි. එල්.ටී.ටී.ඊ. යට අවශ්‍ය පරිදි එම ක්‍රියාවලිය හැසිරවීමට ඉඩ නොලැබිණි. පළමු වටය ජිනීවාහිදී පැවැත්විණි. දෙවන වටය සඳහා රජයේ නියෝජිත පිරිස ඔස්ලෝ බලා ගියද එල්.ටී.ටී.ඊ. ය සුපුරුදු මාවත තෝරා ගනිමින් එය මඟ හැර ගියේ ය. එනම්, යුදමය ක්‍රියාදාමයකින් මෙය විසඳාගත යුතුය යන පණිවිඩය ඉන් ලබා දෙන ලදී.

ජල අයිතිය

අනතුරුව ත්‍රස්තවාදයේ සුපුරුදු ම්ලේච්ඡ හැසිරීම අපට දැකගත හැකිවිය. මාවිල්ආරුවේදී අහිංසක ගොවි ජනතාවගේ ජල අයිතිය අහිමි කිරීමට ත්‍රස්තවාදීන් ක්‍රියා කිරීමත් සමඟ රජය යුදමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය. රටේ නොයෙක් පළාත්වල බෝම්බ පුපුරවා හරිමින්, මරාගෙන මැරෙන ප්‍රහාර සිදුකරමින් අතිශයින් ක්‍රෑර ලෙස සිවිල් ජනයා මරා දැමීමට එල්.ටී.ටී.ඊ.ය ක්‍රියා කළේ ය. ත්‍රස්තවාදය නිසා ගලාගිය රුධිර ගංඟා, හෙළූ දුක් කඳුළු, පිටකළ සුසුම් දැන්වත් නතර විය යුතු බවට රටේම එකඟතාවක් ඇතිවිය. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා යුදමය ක්‍රියාදාමයකට යාමේදී අවශ්‍ය ජනමතය ද ගොඩනඟමින්, ප්‍රතිවිරුද්ධ බලවේගවල උත්සාහයන්ද පරාජය කරමින් ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමේ සටනට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා මෙන්ම සේනාධිනායකයා ද ලෙස අභීතව නායකත්වය ලබා දුන්නේ ය. අවශ්‍ය සෑම ආකාරයකින් ආරක්ෂක හමුදා ශක්තිමත් කෙරිණි. රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහළම මට්ටමකින් විය. පළමුව නැඟෙනහිර කොටි බලය පරාජය කර නැඟෙනහිර පළාත් නිදහස් කර ගන්නා ලදී. දෙවනුව උතුරට යොමුවිය. එල්.ටී.ටී.ඊ. ෆැසිස්ට්වාදයේ යකඩ සපත්තුවට පෑගී සිටි අහිංසක දෙමළ ජනයා එම ප්‍රදේශවල විශාල ලෙස පීඩා වින්දේ ය. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිනිස් පළිහක් ලෙස රඳවාගනිමින් ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් ඊළාම් සිහින රාජ්‍ය රැක ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටියේ ය. කිලිනොච්ච්ය අත්පත් කරගත නොහැකි බවට විදේශීය මෙන්ම රට තුළ සිටින ඇතැම් අය ද විශ්වාස කළේ ය. එහෙත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වශයෙන් මුළුමනින් පරාජය කරමින් උතුර පළාත ද නිදහස් කරගෙන දශක ගණනාවකට පසු මව්බිම එක්සේසත් කිරීමට ජනාධිපතිතුමාගේ එඩිතර නායකත්වය යටතේ හැකිවිය. ආරක්ෂක ලේකම්තුමාගේ පටන් හමුදා සෙබළා දක්වා සෑම රණවිරුවකුම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කරමින් රට වෙනුවෙන් කැප විය. ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම පෙරට ගෙනයාමේදී නොයෙකුත් බලපෑම් ඇතිවුවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොසෙල්විණි. ත්‍රස්තවාදය නිමා කර මිස ආපසු නොහැරෙන්නට එතුමා අදිටන් කර තිබිණි.

ආරක්ෂක හමුදා

ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාවේ සිදු වූයේ වචනාර්ථයෙන්ම මානුෂීය මෙහෙයුමකි. අපේ ආරක්ෂක හමුදා තම දිවි දෙවෙනි කොට ප්‍රභාකරන් විසින් මිනිස් පළිහක් ලෙස රඳවාගෙන සිටි තුන් ලක්ෂයකට ආසන්න අහිංසක සිවිල් වැසියන් සංඛ්‍යාවක් මුදා ගැනීමෙන්ම ඒ බැව් තහවුරු වෙයි. ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව ලබා දුන් ගෝලීය ආදර්ශය බොහෝ රටවල පැසසුමට ලක්විය. ඇතැම් රටවල් මෙන්ම කීර්තිමත් ජනමාධ්‍ය ද කියා සිටියේ ලොව ඕනෑම තැනෙක ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව ආදර්ශයට ගත යුතු බවයි. එහෙත්, ත්‍රස්තවාදය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් පවා නැති හා එල්.ටී.ටී.ඊ. යේ බෙදුම්වාදී වුවමනාව වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින ඇතැම් බලවත් රටවල් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟීමයි.

ඩයස්පෝරාව

ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කර දී තිබියදී මේ බලවතුන් කළේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට අභූත චෝදනා නැඟීමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ඇතුළු රණවිරුවන් යුද අපරාධ පිළිබඳ අන්තර් ජාතික අධිකරණයට රැගෙන යාමේ වෑයමක් දියත් විය. ඩයස්පෝරාව මෙන්ම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජයවීම පිළිබඳ බලවත් වේදනාවකින් යුතු වූ ඇතැම් රටවල් හා බලවේග ඒ පිටුපස විණි.

යුද්ධය නිමාවීමෙන් පසු අවතැන් වූ ජනයා වෙනුවෙන් සහන සැළැසීම කඩිනමින් ඇරැඹිණි. ජාත්‍යන්තර සංවිධානවල පවා ප්‍රශංසාව හිමිවන අයුරින් එම කටයුතු කළමණාකරණය කර ගැනීමට ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රජයට හැකි විය. යුද්ධයෙන් අවතැන් ජනයා යළි ගම්බිම්වල පදිංචි කිරීමේ ක්‍රියාන්විතය ද ආරම්භ විය. සෑම තැනෙකම පාහේ බිම් බෝම්බ අතුරා මර උගුල් අටවා තිබූ නිසා එය අතිශය අභියෝගාත්මක කාර්යයක් විය. එහෙත්, යුද්ධයක් පැවති අන් කිසිදු රටකට නොදෙවෙනිව ශ්‍රී ලංකාව නැවත පදිංචි කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් පාහේ අවසන් කර තිබේ. උතුර සහ නැඟෙනහිර පළාත්වල ජනතාව අද මෙරට ආර්ථික ක්‍රියාවලියේ හවුල්කරුවන් වී සිටිති. උතුරු - නැඟෙනහිර ජන ජීවිත ආර්ථික පීඩනයෙන් නිදහස් කර ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ අනාගතයේදී වුව ද ත්‍රස්තවාදය සඳහා හේතු විය හැකි මූලසාධක මුලිනුපුටා දැමීමට හේතුවනු ඇත.

මානුෂීය මෙහෙයුම සිදු වූ ආකාරය පිළිබඳව ත්‍රස්තවාදයට පක්ෂපාතීව සහ ඒකපාර්ශ්විකව වාර්තා පිළියෙල කරන අයට ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය නිවැරැදිව දැකීමට වුවමනාවක් නැති බව පෙනේ. ඔවුන් තවදුරටත් වෑයම් කරමින් සිටින්නේ යුද ජයග්‍රහණයෙන් ඉක්බිති ආර්ථික ජයග්‍රහණයන්ද අත්කරගනිමින් යළි වේගයෙන් නැඟී සිටින ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ අවහිර කිරීමයි.

විදෙස් මිතුරන්

මේ වන විට ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රට තුළ නිර්මාණය වී ඇති දේශපලන සහ ආර්ථික ස්ථාවරත්වය බිඳ දැමීමයි. එහෙත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනුගමනය කරන නිවැරැදි විදෙස් පිළිවෙත නිසා ශ්‍රී ලංකාවේ විදෙස් මිතුරන් අපට එරෙහිව තර්ජන එල්ල වූ සෑම අවස්ථාවකම අපට සහාය දක්වා තිබේ. යුද්ධය දිනා ගැනීම සඳහා සහාය වූ පරිදිම යුද්ධයෙන් පසු රටේ ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා ද සහාය දක්වමින් සිටී.

යුද ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිතුමා පැහැදිලිව කියා සිටියේ දැන් මෙරට සිටින්නේ ජාතීන් දෙකක් බවයි. ඒ රටට ආදරය කරන ජාතිය සහ රටට ආදරය නොකරන ජාතියයි. රටට ආදරය කරන මිනිසුන් සියලු දෙනා සිංහල - දෙමළ - මුස්ලිම් භේදවලින් තොරව ශ්‍රී ලාංකික හැඟීමෙන් කටයුතු කරන අතර, නිර්මාණය වෙමින් ඇති සංහිඳියාව බිඳ දැමීම හා වර්ගවාදී හැඟීම් ඇවිලවීම පිණිස රටට ආදරය නොකරන පිරිස නොයෙක් ප්‍රයත්නයන්හි යෙදෙමින් ඇත. සමහර විට එහිදී ඔවුන් අමතක කරන කාරණය රට අංක 1 ට තැබූ නායකයකු බලයේ සිටින බවයි. එම නායකයා නිරතුරු අවධාරණය කරන්නේ පළමුවද, දෙවනුවද, තෙවනුවද මව්බිම යන හැඟීමෙන් යුතුව තමා ක්‍රියාකරන බවයි. එකී නායකත්වය පිළිබඳ රටේ ජනතාව තුළ ඇති විශ්වාසය උපරිමයෙන්ම තිබේ. 2005 න් පසු පැවැති සෑම මැතිවරණයකම ප්‍රතිඵල විශ්ලේෂණය කරන අයෙකුට ඒ බැව් පැහැදිලි කරගත හැකියි. රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ එතුමාගේ ආණ්ඩුව සමඟ සිටින තාක් සතුරු බලවේගවලට තම කුමන්ත්‍රණ ජය ගැනීමට නොහැකි වනු ඇත.

තරුණ වියේදීම

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනාගතවාදී දැක්මකින් යුතු නායකයකු ද වේ. දූරදර්ශීව එතුමා විසින් ජාතියේ යහපත තකා ගන්නා ලද ඇතැම් පියවරවල ප්‍රතිඵල අද හෙට නොව තවත් දශක ගණනාවකට පසුවද දැකගත හැකිවනු ඇත.

දේශපාලනයේදී පියවරෙන් පියවර ආ දිගු ගමන නායකයකු ලෙස එතුමා පෙන්නුම් කර ඇති විශිෂ්ටත්වයට බල පෑ බව කිව හැකියි. දේශපාලන පසුබිමකින් යුතු පවුලක ඉපිද , තරුණ වියේදීම දේශපාලනයට අවතීර්ණ වූ එතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ලාබාලම මන්ත්‍රීවරයා වශයෙනි.

දශක 4 ක දේශපාලන ජීවිතය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් පටන්ගෙන, ඇමැතිධූර, විපක්ෂ නායක ධූරය, අග්‍රාමාත්‍ය ධූරය හරහා වර්තමාන රාජ්‍ය නායකත්වය දක්වාම එතුමා පැමිණි ගමන දේශපාලනයට පිවිසෙන කවරකුට වුවද මහඟු ආදර්ශයකි. දේශපාලන ජීවිතයේදීද එතුමා අභියෝග හමුවේ නොසැලුන නායකයෙකි.

එතුමාම සඳහන් කරන පරිදි අභියෝග මඟ නොහැර අභියෝගවලට ආදරය කරන නායකයකු බවට පත්වූයේ එම අත්දැකීම් සමඟ බව පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුළින් අප දකින තවත් විශේෂත්වයක් නම් පි‍්‍රයමනාප බවයි.

සතුරු - මිතුරු ආකල්පවලින් බැහැරව කා සමඟත් පි‍්‍රයමනාප ලෙස, මිත්‍රශීලීව සිනහසෙන - කතා බස් කරන නිර්ව්‍යාජ ගුණාංගයක් එතුමාගේ චරිතය තුළින් පළවෙයි.

මේ කාරණය දේශපාලන ජීවිතයේදීද එතුමාට වැදගත් වූ බව පැහැදිලිය. වෙනස් මති - මතාන්තර දරණ අය පවා තමන් දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ඇති බැවිනි. සිංහල - දෙමළ - මුස්ලිම් ආදී කාටත් එතුමාගේ නායකත්වය පිළිබද විශ්වාසය තැබිය හැකිය. එම සියලු ජනවර්ග ශ්‍රී ලාංකීය ජාතිය ලෙස එකම ධජයක් යටතේ පෙළගැස්වීමට හැකි අන් නායකත්වයක් පෙනෙන්නට නැත.

අභියෝග මැද

2005 වසරේදී රට තෝරා ගත්තේ රටට සුදුසුම නායකත්වයයි. මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තෝරා ගැනීම මඟින් ගත් තීන්දුවේ නිවැරැදි භාවය 2009 වසරේදී රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගනිමින් එතුමා සනාථ කළේ ය. 2010 වසරේදී දෙස් - විදෙස් විවිධ අභියෝග මැද මේ රටේ ජනතාව දෙවන වරටද එතුමා රටේ නායකත්වය සඳහා තෝරා ගත්තේ මුල් වතාවටත් වඩා විශිෂ්ට අන්දමින් එතුමා ජයග්‍රහණය කරවමිනි. තවමත් නොයෙක් මුහුණුවරින් මතුවෙමින් ඇති අභියෝග වලට නොසැළී මුහුණ දෙමින් ලැබූ ජනවරමට ගරු කරමින් ජනාධිපතිතුමා අපේ රට අනාගත ජයග්‍රහණයන් උදෙසා මෙහෙයවමින් සිටී.

රට තුළ අන් කවරදාවත් නොවූ අන්දමේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී ඇත. ආර්ථික වශයෙන් ද රට ශීඝ්‍ර වර්ධනයක් අත්කරගනිමින් සිටී. වේගවත් සංවර්ධන මාවතකට රට යොමු කර ඇත. ඒ සියල්ල අතර සදාචාරවත් , ගුණගරුක සමාජයක් බිහි කිරීම උදෙසා ගතයුතු පියවර ද ගනිමින් ඇත. ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ අනුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමට හැකි බවට සුබ ලකුණු පළවෙමින් තිබේ. රට ජයග්‍රහණය කරා මෙහෙයවන නායකත්වය සමඟ සමස්ත ශ්‍රී ලාංකික ජාතියම පෙළ ගැසී පෙරට යන තාක් එකී අරමුණ ජයගැනීම වළකාලිය නොහැකියි. ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් නිර්මාණය වූ ශක්තිමත් නායකත්වය රටට එරෙහි සියලු කුමන්ත්‍රණ පරාජය කරනු ඇත.