සැමට සෙවණක් ලබාදෙන ජනසෙවණ ව්‍යාපෘතිය

සැමට සෙවණක් ලබාදෙන ජනසෙවණ ව්‍යාපෘතිය

මානව අවශ්‍යතාවයන් අතර නිවාස අවශ්‍යතාවයට හිමි වනුයේ ප්‍රමුඛස්ථානයකි. ලොව වෙසෙන සියලුම ජාතීන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ජාත්‍යන්තර වශයෙන් එයට පිළිගැනීමක් ලබාදීම සඳහා “ලෝක ජනාවාස දිනය“ක්ද නම් කර ඇත. ජාතික අවශ්‍යතාවයක් ලෙස නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැදගත්කම මනාව අවබෝධ කර ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද “ලංකාවේ සෑම පවුලක්ම නිවසක් හිමි පවුලක් විය යුතුය යන්න මාගේ ප්‍රතිපත්තියයි” යනුවෙන් මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී සඳහන් කොට තිබේ.

එසේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව ප්‍රවේශයන් අත්‍යවශ්‍ය යුගයක ස්ථිර ආර්ථික සමාජ සංවර්ධනයක් උදෙසා ඉදිකිරීම් හා නිවාස ක්ෂේත්‍රය තුළ නැවුම් පිබිදීමක් ඇති කළ යුතු බවද, මහින්ද චින්තන ඉදිරි දැක්මේ අවධාරණය කර ඇත.

මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගකීම් පැවරූයේ නිර්මාණශීලී හා ක්‍රියාශීලී තරුණ ඇමැතිවරයෙකු වන විමල් වීරවංශ මහතාටය. ඒ අනුව 2010 දී සිදු කළ කැබිනට් සංශෝධනයේදී වීරවංශ මහතාට ඒ පිළිබඳ අදාළ සියලු වගකීම් පවරමින් නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන හා අංශ ඒකාබද්ධ කොට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය ස්ථාපිත කරන ලදී.

මේ වන විට රටේ නිවාස හිඟය අවශ්‍යතාවය ලක්ෂ 12 ක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙම අවශ්‍යතාවය සපුරාලීමේ ජාතික කර්තව්‍යයේදී විවිධ ජන කොටස්වල අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් සැලසුම් රාශියක් සකස් කර තිබේ.

නිවාස සහ ජනාවාස සංවර්ධනය සඳහා ජාතික මෙහෙයුමක් ශක්තිමත් සහාධිපත්‍යය දේපළ සංස්කෘතියක් සහ කළමනාකරණ වැඩ පිළිවෙළක් හා නාගරික පැල්පත්වාසීන් ආශ්‍රිත මානව සංවර්ධනය සඳහා වූ අතුරු ව්‍යාපෘතියක් මෙසේ සැලසුම් කළ ව්‍යාපෘති අතර වේ.

මෙරට දළ ජාතික නිෂ්පාදනයට දායක වන අංශ හා සැසඳීමේදී ඉදිකිරීම් කර්මාන්තය දෙවැනි වනුයේ කෘෂිකර්මාන්තයට පමණි. එය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 08 ක් බව හඳුනාගෙන ඇත. වර්තමානයේ ජාතික ආර්ථිකය තුළ ඉදිකිරීම් කර්මාන්තයේ සෘජු හා වක්‍ර යැපෙන්නන් පිරිස ලක්ෂ 15 ක් බව ද හඳුනා ගෙන ඇත.

මේ කරුණු සළකා බලන විට ඉදිකිරීම් විෂය යනු කෙතරම් බලගතු විෂයක් දැයි තේරුම් ගැනීම අපහසු නොවේ.

ඉදිකිරීම් හා නිවාස ක්ෂේත්‍රය සම්බන්ධ මෙම බාරදූර වගකීම කරට ගත් විමල් වීරවංශ අමාත්‍යවරයා තම නියෝජ්‍ය අමාත්‍යවරයා වන ලසන්ත අලගියවන්න මහතාගේ ද සහය ලබා ගනිමින් නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව පණක් ලබාදීමට තම නිර්මාණශීලී සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

එම නිර්මාණශීලී සැලසුම් අතර මෙරට නිවාස නොමැති ජනතාවට නිවසක් හිමිකර දීමේ අටියෙන් සැලසුම් කෙරුණු ජනසෙවණ නිවාස දසලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට හිමි වනුයේ ප්‍රමුඛස්ථානයකි.

ජනසෙවණ නිවාස දසලක්ෂයේ මෙහෙයුමෙන් මේ වන විටත් නිවාස 55,000ක් ඉදි කිරීමේ කටයුතු සාර්ථක වී ඇත. මේ වැඩපිළිවෙළ ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගෙන අදියර කීපයකින් සාර්ථක කර ගැනීමට තීරණය වී තිබේ.

දශක ගණනක් යුද්ධයෙන් බැට කෑ උතුරු නැඟෙනහිර ජනතාවට ද ජනසෙවණ සරණක් වී ඇති බව ද සතුටින් යුතුව සඳහන් කිරීම වටී. උතුරු – නැඟෙනහිර වැසියන් සේම ආදිවාසීන්ද ජනසෙවණ නිසා තමන්ට රුචි වාසස්ථානයක් ඉදි කර ගැනීමේ වාසනාව ලද්දෝය.

මේ හැර රාජ්‍ය සේවකයින් රණවිරුවන්, ධීවරයින්, පැල්පත්වාසීන්, අඩු ආදායම් ලාභීන්, විදේශ රැකියා නියුක්තිකයන්, ආදි සමාජ ස්ථර රැසකටම සැබෑ සෙවණක් ලබා දීමට ජනසෙවණ සමත්ව තිබේ.

මෙම වැඩපිළිවෙළට අමතරව කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගරවල පිහිටි පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද ‘නගමු පුරවර” නමින් සුවිශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

ඒ යටතේ ප්‍රධාන වශයෙන්ම කොළඹ මාලිගාවත්ත හා මොරටුව සොයිසාපුර මහල්නිවාස නවීන ලෙස ප්‍රතිසංස්කරණය කිරීම රජයේ අරමුණයි. මේ සඳහා රුපියල් ලක්ෂ 3000ක් වියදම් කිරීමට ද විෂයභාර අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

“අඳුරු යුගය හමාරය. දැන් අප ඉදිරියේ ඇත්තේ දිදුළන අනාගතයකි. අපේක්ෂා සහගත අනාගතයකි.

ඒ නිසා තිස්වසරක් තිස්සේ අපෙන් ගිලිහී ගිය සංවර්ධන ඉලක්ක කරා ඉතා ඉක්මණින් ළඟා වීටම සෘජු හා නිවැරැදි තීරණ ගෙන ඒවා ජාතියේ ශුභ සිද්ධිය උදෙසා ක්‍රියාවට නැංවිය යුතු වගකීම් සහගත යුගයක දැන් අපි ජීවත් වෙමු. රට දිනන සමයේදී මෙන්ම රට හදන සමයේදීද ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට පැවරෙන්නේ සුවිශාල කාර්ය භාරයක් බව මෙහිදී අප අවධාරණය කර ගත යුතුය.”

ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් මුද්‍රිත 2010 ප්‍රගති වාර්තාව හා 2011 ක්‍රියාත්මක සැළැස්ම කෘතියට අමාත්‍ය විමල් වීරවංශ මහතා එක් කළ එම පණිවිඩයට අනුව නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් කෙතරම් භාරදූර වගකීම් සමුදායක් කරට ගෙන ඇතිදැයි පැහැදිලි වේ.

මේ සියලු වගකීම් ජය ගන්නට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා ඒවායේ කාර්ය මණ්ඩලයෙන් ඉටු වන සේවය ද ප්‍රශංසනීය වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, ඕෂන් වීව් සංවර්ධන සමාගම ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රජයේ කර්මාන්ත ශාලාව, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව හා ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය යන ආයතන 10 මෙසේ තම විෂයභාර අමාත්‍යාංශයට පැවරුණු වගකීම් ජයගන්නට මා හැඟි සහයක් ලබා දෙන අතර එය ඉතා කෙටි කලක් තුළ මෙම අමාත්‍යාංශය ලැබූ විශිෂ්ට සාර්ථකත්වයටද පැහැදිලි හේතුවක් වී ඇත.

ජයගත නොහැකි අභියෝගයක් ලොව නොමැත. දිනන්නට බැරි බව කියූ යුද්ධය හමාර කිරීමෙන්ම ශ්‍රී ලංකාව ඒ බව ලොවටම පසක්කර ඇත. ඒ අයුරින්ම මෙරට සංවර්ධනය යථාර්ථයක් කරමින් ඉදිරි වසර කීපය තුළ දී මෙරට නිවසක් අහිමි ජනතාවට ද ස්ථිර නිවසක් ඉදිකර දීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වේ යනු අපගේ බලාපොරොත්තුවයි. අදට වඩා සියලු අතින්ම යහපත් ශ්‍රී ලංකාවක් අනාගතයේදී ගොඩ නැඟෙනු ඇත්තේ ද ජනතාවට පිහිටක් වන මෙවැනි ප්‍රායෝගික වැඩසටහන් ලබන සාර්ථකත්වය මතය.

ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි.