ආසියාවේ ආශ්චර්යයට ගෙන යන අධිවේගී මාර්ග පද්ධතිය

ආසියාවේ ආශ්චර්යයට ගෙන යන අධිවේගී මාර්ග පද්ධතිය

ශ්‍රීලාංකීය සංවර්ධන ඉතිහාසයේ ස්වර්ණමය යුගය මේ වනවිට උදාවී තිබේ. දශක තුනක් පුරා මරබියෙන් ඇලලී ගිය ත්‍රස්ත භීෂණය මුලිනුපුටා දමන්නට මෙරට පාලනය කරන අභීත නායකත්වයට හැකි විය. ලෝක සිතියමේ කුඩා තිතක් ලෙස සටහන් වු ශ්‍රී ලාංකීය අභිමානය ලෝකය පුරා ගෙනයන්නට මෙරටින් තුරන් කළ ත්‍රස්තවාදය මෙන්ම මේ වන විට සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ද හේතු වී තිබේ.

එදා යුද පෙරමුණට ගිය ජනාධිපතිතුමා අද සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙන ස්ථානයට පියනඟයි. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් මෙරට නිමවෙමින් පවතින අතර එම ව්‍යාපෘතිවලට තෝතැන්නක් සපයමින් මෙරට මාර්ග පද්ධතිය කිසිදු යුගයකට නිමකළ නොහැකි දේ ඉදිවෙමින් පවතී.

මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ වනවිට රට තුළ අධිවේගී මාර්ග 4 ක වැඩ ආරම්භ කර ඇත.

දුර කිලෝමීටර් 132 කින් සමන්විත කොට්ටාවේ සිට මාතර දක්වා ඉදි කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අවසන් වී තිබේ. මුළු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 9000 කි.

කොළඹ පිටත වටරවුම් මාර්ගය දුර කිලෝමීටර් 29.10 ක් දක්වා ඉදිවෙමින් පවතී. මෙම මාර්ගය අදියර 03 න් ක්‍රියාත්මක කෙරේ. කොට්ටාව සිට කඩුවෙල දක්වාත් කඩවත සිට කෙරවලපිටිය දක්වාත් ඉදි කරෙන අතර වියදම රුපියල් බිලියන 98 කි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයද කඩිනම් ලෙස ඉදිකිරීම් සිදු කෙරේ. 2009 වසරේ අගෝස්තු මස ආරම්භ කළ මේ මාර්ගය සඳහා අමෙරිකානු ඩොලර් 292 ක් වැය කෙරේ. නව කැලණි පාලමේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගය (කැනඩා මිත්‍රත්ව පාලම) දක්වා දිවෙන මෙහි දිග කිලෝමීටර් 25.8 කි. පැය 1 1/2 ක් පමණ කොළඹට පැමිණීමට ගතවන මෙම මාර්ගයේ අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ ගමන් කාලය විනාඩි 20 දක්වා අඩු වේ. කොළඹ නුවර විකල්ප මාර්ගය ද මේ හා සමඟම ඉදිවෙමින් පවතී. මෙහි දුර කිලෝමීටර 98.9 කි. කඩවත සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර් 48.2 ක්ද අඹේපුස්ස සිට කටුගස්තොට දක්වා කිලෝමීටර් 50.7 ක්ද දිගින් යුක්ත වේ.

මෙයට අමතරව මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රට පුරා පවතින සියලු මාර්ග සංවර්ධනය කෙරෙමින් පවතින අතර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මුදල් ආධාර මත සියලු මංමාවත් යථාවත් වෙමින් පවතී.

රටක සංවර්ධන ක්‍රියාදාමය සඳහා මාර්ග පද්ධතිය සෘජුවම බලපායි.

මෙම තත්ත්වය සැබෑ ලෙස වටහා ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනතාවට ලබා දුන් නිදහස, ජීවත්වීමේ අයිතිය රටේ සංවර්ධනය මෙන්ම ආර්ථික වර්ධනය දිනෙන් දින ඉදිරියට ගෙන යාමට වෙර දරන නායකයෙකි.

ඉදිරි දස අවුරුදු සැලැස්ම මත ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්වීම නිසැකය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුළම ඇති සුවිශේෂී ගුණාංගවලින් එකක් මේ අවස්ථාවේ මාගේ සිහියට නැගේ. ඒ අන් දෙයක් නොව වෙනත් කෙනෙකු ආරම්භ කර අතහැර දමා තිබූ ව්‍යාපෘතියක් නැවත ආරම්භ කරමින් අවසානය දක්වා ගෙනයාමය. මේ රටේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඇතත් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කීපයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජාතික අධිවේගීී මාර්ගයක වැඩ ආරම්භ කර අවසන් අදියරේ පවතී.

මෙතෙක් පාලම් පාරුවෙන් ගමන් කළ ජනතාව අද විශාල පාලම් හරහා ගමන් ගනී. පාරු සේවා වෙනුවට පාලම් ඉදිවූවා පමණක් නොව මාර්ග පද්ධතියේ තදබදය අවම කරමින් නුගේගොඩ, කැලණිය, ඔරුගොඩවත්ත, ගම්පහ, මනම්පිටිය, දෙහිවල ගුවන්පාලම් ඉදි වූයේය. කැලණිය ගුවන් පාලම ලෝක වාර්තාවක්ද සනිටුහන් කරමින් අඩුම කාල පරිච්ඡේදයකින් ඉදිකළ ගුවන් පාලම ද විය.

උතුරේ ජනතාවගේ ධීවර කටයුතු මෙන්ම කෘෂිකර්මාන්තය නංවාලීම උදෙසා මංමාවත් ගණනාවක් ඉදි වූ අතර පරන්තන් පුනරින් මාර්ගත් ඉදි වූ සංඟුපිටිය පාලම ද පසුගියදා ජනතා අයිතියට පත්කෙරිණි.

එමෙන්ම කොළඹ රත්නපුර, වැල්ලවාය මඩකළපුව මාර්ගයේ සියඹලාණ්ඩුවේ සිට අක්කරෙයිපත්තුව දක්වා කොටස තිස්ස - කිරින්ද මාර්ගය පානම මාර්ගය, බෝගහවැව පුල්මුඩේ මාර්ගය, පේරාදෙණිය බදුල්ල මාර්ගය, පුත්තලම නොච්චියාගම මාර්ගය, උඩුන්න මහියංගනය මාර්ගය, නුවරඑළිය බදුල්ල මාර්ගය, හබරණ – කන්තලේ මාර්ගය, තම්පලාගමම් – කින්නියා මාර්ගය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ අවසන් කර තිබේ.

එපමණක් නොව මහනුවර – යාපනය ඒ-9 මාර්ගය, ඔඩ්ඩුසුඩාන් නැඳුන්කර්නි මාර්ගය, මුලතිව් – පුලියන්කුලම් මාර්ගය, කොකිලායි – පුල්මුඩේ මාර්ගය, යාපනය – කන්කසන්තුරේ මාර්ගය, යාපනය – පලෙයි මාර්ගය, යාපනය පේදුරුතුඩුව මාර්ගය, පුන්කූර් – මිසාලෙයි මාර්ගය, යාල කිරිමැටිය මාර්ගය අගලවත්ත හොරණ මාර්ගය සංවර්ධනය කිරීම අවසන් කර පවතින අතර ඇතැම් මාර්ග අවසන් කිරීම් අවසන් අදියරේ පවතී.

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අධිවේගයෙන් නිමවෙමින් පවතී. එයට බලපාන හේතු කීපයක් ඇතත් ප්‍රධානතම හේතුව වන්නේ සංචාරක ප්‍රවර්ධනයයි. කටුනායක ගුවන්තොටුපළින් කොළඹට පැය 1 1/2 ක් තිස්සේ පැමිණෙන සංචාරකයින් මිනිත්තු 20 ක කාලයක් තුළ කොළඹට ළඟා වේ. මෙම වසර “විසිට් ශ්‍රී ලංකා 2011” ලෙස නම් කර තිබෙන අතර වසර 2016 වන විට සංචාරකයන්ගේ පාරාදීසයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු සැලසුම් කරමින් පවතී.

රටවල මංතීරු හතරේ පහේ අධිවේගී මාර්ග තිබුණත් අප රටේ තිබුණේ සාමාන්‍ය මාර්ග පද්ධතියක් පමණි. මෙම තත්ත්වය අප රටේ මාර්ග තදබදය ඇතිවීමට එක් හේතුවක් ද වුයේය.

මෙරට ඉදිවූ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ලබන 27 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්වේ.

ඓශ්චර්යයේ පිවිසුම ලෙස නම් කළ මෙම අධිවේගී මාර්ගයට 24 දා පාපැදිකරුවෝ ලක්ෂ 2 ක් ප්‍රථම සහ අවසන් වරට ප්‍රවිෂ්ඨ වෙති. මෙම පාපැදිකරුවෝ කොට්ටාවේ සිට ගාල්ල පින්නදූව දක්වා ඉදි වූ ඓශ්චර්යයේ පිවිසුමට ප්‍රවිශ්ඨ මාර්ග 11 ක් ඔස්සේ එතෙර වන අතර දින 02 ක් පුරා ජනතාවට විනෝද වෙමින් ඓශ්චර්යයේ පිවිසුම් මඟ දිගේ ඇවිද යාමට ද පහසුකම් සලසා තිබේ.

ප්‍රථම හා අවසන් වරට ජනතාවට ලැබෙන මෙම අවස්ථාවට ශ්‍රී ලාංකීය ජනතාව විශාල ලෙස එක්වනු ඇති බව මහාමාර්ග අමාත්‍යාංශයේ විශ්වාසය වන අතර ගුවන් මගින් මෙම මාර්ගය නැරඹීමට ජනතාවට අවස්ථාව උදාවෙනු ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 9000 ක වියදමින් ඓශ්චර්යයේ පිවිසුම ඉදිකිරීම් සිදුකෙරිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අභිමානවත් නායකයකු ලෙස ඉතිහාස පොතට එක්වූයේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කරලීමෙනි.

එමෙන්ම අධිවේගී මාර්ග පද්ධතියත් සමඟ ශ්‍රී ලංකාව සංවර්ධන සංග්‍රාමයක් කරා යොමු කරලීමෙන් ඓශ්චර්යමත් දේශයක් නිර්මාණය කරමින් නැවතත් ජන හදවත් තුළ ඉතිහාසගතවනු නොඅනුමානය.