ශ්‍රී ලාංකේය දේශපාලනයේ දේශීය සලකුණ

ශ්‍රී ලාංකේය දේශපාලනයේ දේශීය සලකුණ

දශක හතරකට වඩා වැඩි දේශපාලන ජීවිතයක අත්දැකීම් සපිරි මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති වශයෙන් වර්ෂ 2005 දී වැඩ භාරගනු ලබන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ අර්බුදකාරී වාතාවරණයක ය. වසර 26 ක බිහිසුනු සිවිල් යුද්ධය හේතුකොට අප සමාජය ඉහළම සමාජ ආර්ථික වන්දියක් ගෙවන යුගයක බලයට පත්වන නායකයෙකු අභිමුව ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ නිදන්ගත වූ සිවිල් යුද්ධය සඳහා ඇති විසඳුම කුමක් ද යන්නයි.

එසේම 1977 මෙරට ආර්ථිකයේ ගමන්මඟ තීරණාත්මක ලෙස වෙනස්කළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියෙහි අනිටු ඵලවිපාක ලෙස ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ක්‍ෂේත්‍රය ගරාවැටීම නවතා ශ්‍රී ලංකාව සංවර්ධනය කළ හැකි නිවැරදි මාවත තෝරාගැනීම අනෙක් අභියෝගය යි.

මෙම අභියෝග ජයගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සතු ශක්තිය වන්නේ එතුමා තුළ පවත්නා දේශීය සංස්කෘතික හරපද්ධතිය සමඟ බැඳුණු චින්තනයි. අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ‘මහින්ද’ නම් සරල ගැමි පෞරුෂයකින් හෙබි නායකයෙකු ලෙස අප රටෙහි වර්තමාන අභියෝග ජයගැනීම සඳහා නිවැරදි මාවත තෝරා බේරා ගැනීමට සමත්වී ඇත. එතුමා ප්‍රකාශ කරන සරල කරුණු ප්‍රායෝගිකත්වය සහ යථාර්ථය සමඟ ගැලපෙන ඒවා වීම එතුමාගේ සාර්ථකත්වයේ පදනමයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධයට මානුෂවාදී යුද්ධමය ක‍්‍රියාදාමයට අවතීර්ණවන විට මෙරට හා විදේශ න්‍යායාචාර්යවරු සහ ඇතැම් දේශපාලනඥයෝ තුෂ්ණිම්භූත වූහ. එය 21 වන සියවසෙහි දේශපාලනඥයෙකු විසින් ගනු ලැබූ අඥාණ තීරණයක් ලෙස ඒ වන විට ගැටුම් නිරාකරණය සහ ගැටුම් කළමනාකරණය කිරීම සඳහා වූ ආයතන සහ ඒ හා සම්බන්ධ ප්‍රාඥායන්ගේ මතය විය. ඒ අයගේ අදහස වූයේ මෙම යුද්ධ ජයග්‍රහණය කිසිදා ලබාගත නොහැකි එමෙන් ම ශ්‍රී ලංකාව විනාශය කරා ගෙනයන තීරණයක් බවයි. විරුද්ධ පාක්ෂික දේශපාලනඥයෝ මෙම තීරණය නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විනාශවන්නේ යැයි අනාවැකි පල කළහ. මෙම තීරණයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එළඹියේ ඉහළ බුද්ධි මණ්ඩලවල උපදේශකයින්ගේ න්‍යායාත්ම රාමුවෙන් පිටතට පැමිණ පවතින ප්‍රායෝගික කරුණු සැලකිල්ලට ගනිමිනි. මෙම තීරණය ගැනීම පමණක් නොව එම තීරණය නිවැරදියයි සිතා ඒ මත රැඳී සිටීමට එතුමා සතු වූයේ දැඩි ආත්ම ශක්තියකි.

2009 මැයි මාසය අවසන් වන විට ජනවාර්ගික යුද්ධයත් නිරාකරණය සහ කළමනාකරණය පිළිබඳ අධ්‍යයන කවවල බුද්ධි මණ්ඩලවල තක්සේරුව සහ නිගමන වැරදි බව පෙන්වාදෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තීරණය වඩා නිවැරදි ප්‍රායෝගික එකක් වූ බව තහවුරු කෙරිණි. මේ අනුව ජනවාර්ගික සිවිල් අරගල ජයගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව බලයටපත් සුජාත රජයකට දියහැකි විසඳුම් අතරට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආකෘතිය ඇතුලත් වී ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැමවිට ම විශ්වාස කරනුයේ අප රටෙහි ඇති ගැටලු සඳහා අප රට තුළින් ම මතුකරගත හැකි විසඳුම් කෙරෙහි ය. එම විසඳුම් ඉදිරිපත් කිරීමේ දී වර්තමානයේ ජනප්‍රිය විදේශ න්‍යායාත්මක ආකෘතීන් පරිශීලනයට වඩා එතුමා නැඹුරුවන්නේ ප්‍රායෝගික ඥාණය හා බැඳුණු අත්දැකීම් විමසා බැලීමට ය. ඒ නිසා භාවිතය තුළින් න්‍යායාත්මක විවරණ ඉදිරිපත් කිරීමට ඇති හැකියාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔප්පු කොට ඇත. එතුමා යමක් තේරුම් ගැනීමට හා විසඳීමට යෑමේ දී නිතර අවධානයට ගනු ලබන්නේ රටේ ඉතිහාසය සහ සංස්කෘතිය සමඟ ආබද්ධ වූ විමර්ශනයකට ය.

අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. අපට සංස්කෘතියක් ඇත. එම සංස්කෘතික හර පද්ධතිය තුළ අධ්‍යාත්මික ගුණවගාව වැදගත් වේ. මෙම අදහස් නිතර නිතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රකාශ කරනුයේ හුදු ජනප්‍රියතාවය උදෙසා නොවේ. එබඳු ස්ථාවරයක සැබෑ ලෙසම පිහිටා ක්‍රියාකරන අයෙකු ලෙසටය. එසේම එම ප්‍රකාශයන් හි ඇති සත්‍යය අදට වඩා අප රටට වැදගත් වන්නේ අනාගතයට යි. මන්ද රටේ අනාගතය සාර්ථකවීමට නම් අපට අනුකාරක බුද්ධිමය ධාරාවන්ගෙන් පිටතට පැමිණ නව ප්‍රවේශයකින් රටේ සංවර්ධනය සඳහා ආකෘතියක් සකස්කර ගැනීම වැදගත් නිසාය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නොදියුණු රටවල් සංවර්ධනය කිරීම සඳහා සංවර්ධන ආකෘතින් සකස් කළේ බටහිර දියුණු රටවල අත්දැකීම් පදනම් කරගත් නවීනකරණ න්‍යායන් පාදක කරගනිමිනි. භෞතික වශයෙන් අත්පත්කරගන්නා වර්ධනය, කාර්යක්ෂමව සම්පත් උපයෝගීකරගැනීම සංවර්ධනය ලෙස නිර්වචනය කිරීමේ දී සංවර්ධන නිර්ණායක සකස්කරගෙන ඇත්තේ ලෝකයේ දියුණු රටවල් ලෙස හඳුන්වන අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල ආර්ථික හා සමාජ ලක්ෂණ සැලකිල්ලට ගෙනය.

ඒ අනුව නොදියුණු රටවලට සංවර්ධනය ලෙස පෙන්වන ආදර්ශය ඒ ඒ රටවල ඉතිහාසය හා සංස්කෘතිය නොසලකා සකස් කරන ලද පිටස්තර වූ එකක් වන්නේ ය.

සංවර්ධනය යනු භෞතික අංගයන්ගේ වර්ධනය හෝ ධනවත් රටවල සමාජ ආර්ථික ගුණාංග අනුකරණය හෝ නොව ඒ ඒ රටවල ඓතිහාසික, සංස්කෘතික හා අධ්‍යාත්මික හරපද්ධතීන් ආරක්ෂාකර ගනිමින් සමාජයක් දියුණු කිරීම ලෙස ඉදිරිපත් කරන මහින්ද චින්තනයේ සංවර්ධන ආකෘතිය අතිශයින් ම නිවැරදි ය. වර්තමාන ගෝලීය ආර්ථිකය තුළ අප වැනි දිළිඳු රටවල් ග්‍රහණයකට හසු වී ඇත.

මෙම ග්‍රහණය වඩා තීව්‍රවන්නේ සංස්කෘතික ගෝලීයකරණය දෙස අවධානය යොමුකරන විටය. 70 දශකයේ දී ජාත්‍යන්තර දේශපාලනය තුළ මෙම පරාධීන චින්තනය පිළිබඳ බුද්ධිමය සාකච්ඡාව අප රට තුළ ද ඉදිරියට පැමිණියත් 70 දශකයේ අවසානය වන විට එම කථිකාව යටපත් විය. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආර්ථික දැක්ම තුළ නැවත ඉස්මතු කරනුයේ සංවර්ධනය පිළිබඳව දියුණු රටවල බුද්ධි මණ්ඩලවලින් ඉදිරිපත් කරන්නා වූ සංවර්ධන ආකෘතීන් වෙනුවට අප රටට ආවේනික ශ්‍රී ලාංකික සංවර්ධන ආකෘතියක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය යි.

මෙම සංවර්ධන ආකෘතිය සකස්කර ගැනීමේ දී මුළුමනින් ම ආවෘත ආර්ථිකයකට ආපසු යා නොහැක. එබැවින් දේශීය ආර්ථිකය වර්ධනය කිරීම සහ ගෝලීය ආර්ථිකය තුළ එය ස්ථානගත කිරීම නිවැරදිව කළ යුතු වේ. දේශීය ආර්ථිකය ගෝලීය ආර්ථිකය සමඟ කිසියම් තුලිතතාවයක් ආරක්ෂාකර ගැනීමට සිදුවේ.

මේ දක්වා අප අනුගමනය කළ නවීකරණ සංවර්ධන ආකෘතියෙන් මිදී හරිත ආර්ථිකයක් හා හරිත ජීවන ශෛලියක් ආරක්ෂා කරන්නා වූ සංවර්ධන මාවතකට අප යොමු විය යුතුම ය. මෙම අවශ්‍යතාවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංවර්ධන දැක්ම තුළ දැඩිව අවධානයට ගෙන ඇත. එතුමා නිතර නිතර අවධාරණය කරන්නා වූ ශ්‍රී ලාංකික සංවර්ධන ආකෘතිය සකස්කර ගැනීමේ දී රටේ ඉතිහාසය, සංස්කෘතිය හා අධ්‍යාත්මික හරපද්ධතිය කේන්ද්‍රස්ථානයේලා සැලකිය යුතුය. මෙම අදහස වඩා ප්‍රායෝගික යැයි පෙනී යන්නේ වර්තමානයේ ධනවත් රටවල් අනුගමනය කළ නව ලිබරල් ආර්ථික ආකෘතීන් අසාර්ථක වී ඇති බව සාක්ෂි ඉදිරිපත්වන නිසාය.

මේ අනුව බැලූවිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ අනාගතය සඳහා අවශ්‍ය නිවැරදි මඟපෙන්වීමක් කරන්නා වූ ප්‍රායෝගික දේශපාලන නායකයෙකි.

- චිරං ජයතු -

ආචාර්ය විජිත නානායක්කාර

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය සමාජ විද්‍යා අධ්‍යයන අංශය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය