රාජපක්ෂ පරපුරේ දේශපාලනයට වසර හැත්තෑ පහයි

රාජපක්ෂ පරපුරේ දේශපාලනයට වසර හැත්තෑ පහයි

රාජපක්ෂ සමාජ නායකත්වය ශත වර්ෂ කීපයක් ඔබ්බට දිවෙන ඓතිහාසික වෘත්තාන්තයකට අයත් ය. එය බටහිර ජාතීන් ලංකාවට පැමිණීමටත් බොහෝ කාලයකට පෙර දක්වා දිවෙයි. අද වනවිට ඍජුවම දේශපාලනයට පිවිස රාජ්‍ය පාලනයට ඇතුළත්ව වසර 75 කි. නොඑසේනම් වජ්‍ර ජයන්තිය මේ වසරට යෙදෙයි.

කොරමැන්ඩල් වරායෙන් හුළඟට ගසාගෙන අහම්බෙන් 1505 දී රුවල් නැවකින් කොළඹ වරායට පැමිණියා යැයි කියන පෘතුගීසිකාරයින් (පරංගින්) කන්ද උඩරට සිංහල රජුගේ අනුකම්පාව මත මෙහි පැලපදියන් විය. යුරෝපයේ ඇති වූ දේශපාලන කුණාටු මත යුරෝපා ජාතීන්ගේ ව්‍යාප්තියට අනුව ලන්දේසීන් ද පසුව (බ්‍රිතාන්‍ය) ඉංගී‍්‍රසීන් ද මුහුදු බඩ පළාත්වලින් පටන්ගත් තම ආධිපත්‍ය පැතිරවීම මුළු දිවයිනම නතුකර ගැනීම දක්වා වර්ධනය විය. 1848 දක්වාම බටහිර ජාතීන්ගේ අධිරාජ්‍ය පීඩනයට එරෙහිව අතිශය ජීවිත පරිත්‍යාග කෙරෙන නිදහස් අරගල සිදුවිය. 1815 දී රැවටීමකට ලක්වූ සිංහල ප්‍රධානීන් විසින් ගිවිසුමකින් එංගලන්ත අධිරාජ්‍යයට මේ දිවයින පවරා දෙන ලදී.

අධිරාජ්‍ය පාලනයෙන් තලා පෙළන ලද ජනතාවක් ද තාන්න මාන්න වරප්‍රසාද මත අධිරාජ්‍යයට පක්ෂ පාතිවූ ජනප්‍රධානීන්ගෙන් ද ඍජු අධිරාජ්‍ය නියෝජිතයින්ගෙන්ද සමන්විත වූ අරාජික රාජ්‍යයක් මෙහි බිහිවිය. මෙහිදී රාජපක්ෂ පරපුර වැඩෙන්නේ පීඩිත ජනතාවගේ ආශීර්වාදය ලබමින් ගම් ප්‍රධානීන් වශයෙනි. අධිරාජ්‍යවාදයට කත් අදින ඉංගී‍්‍රසීන්ගේ උවමනාවන් ඉටුකරන මුදලි මුහන්දිරම් තාන්න මාන්න ලබාගත් පිරිසෙන් වෙන් වූ ගම් ප්‍රධානීන් ලෙස වැඩෙන රාජපක්ෂ පරපුර ඓතිහාසික කන්ද උඩරටට පක්ෂපාති වූ රාජපාක්ෂික යැයි නම් ලබා ප්‍රසිද්ධව ජනාදරයට පත්වී සිටියහ.

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් කාලයේ ඉන්දියාවේ පාලනය බාරව සිටි මැකොලි සාමිවරයා කී පරිදිම කළු හමක් තියෙන ස්වදේශික සුද්දන් බිහිකිරීමේ ව්‍යාපාරය ඉන්දියාවේදී අසාර්ථක වෙද්දී ලංකාවේදී එය සාර්ථක විය. අධිරාජ්‍ය පාලනයේදී භූගෝලීය පිහිටීම අතින් ලංකාව අතිශයින් වැදගත් විය. බ්‍රිතාන්‍යයන් මෙසේ බිහිකරගත් ස්වදේශීන් ද සහභාගීකරවා ගත් ඍජු අධිරාජ්‍ය නියෝජිතයින් ද සහිත පාලන බලයක් ස්ථාපිත කිරීමේ ව්‍යූහය ක්‍රමයෙන් නිර්මාණය කරවීය. ශ්‍රමික ශිල්පීය සමාජ බලවේග සහිත ස්වයං පෝෂිත ආර්ථික සමාජ රටාව බිඳ හෙලුවේ බටහිර පැවති වහලා සහ වහල් හිමියා - යන සමාජ ක්‍රමය හා ඉන්දියාවේ පැවති කුල පීඩනය හා සමකරමින් ය. රාජකාරී ක්‍රමය නම් වූ සුබ සාධක නිෂ්පාදන බලවේග දැඩි ලෙස පීඩනයට පත්කළ කුල ක්‍රමයක් බිහි කිරීම දක්වා වර්ධනය කරවීය. ක්‍රිස්තියානි කතෝලික දේවවාදී ආගම වපුරා එයින් වරප්‍රසාද ලත් පංතිය බිහිකරගෙන ආර්ථිකය ද දේශපාලනය ද අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය පරිදි හැඩගස්වා නතු කරගෙන මහා සම්ප්‍රදායේ සහනශීලී බෞද්ධ සාමකාමි සමාජ පරිසරය උඩු යටිකුරු කරවීය.

ඩොනමෝර් කොමිසම

ලංකාවේ වැඩෙමින් පැවති තත්ත්වය බ්‍රිතාන්‍යයට එතරම් හොඳ තත්ත්වයක නොවීය. ලංකාවේ පැවති තත්ත්වය සොයා බලා වාර්තා කිරීමටත් එවකට සම්මතයේ පැවැති රාජාඥා පනතෙහි සංශෝධනය විය යුතු තැන් ඇතොත් ඒ පිළිබදව වාර්තා කිරීමටත් 1927.11.13 මෙහි පැමිණි ඩොනමෝර් කොමිසමට පැවරුණු ප්‍රධාන වගකීම විය. මෙහි අනෙකුත් සාමාජිකයින් වූයේ සර් මැතිව් නෙතන්, සර් ජෝෆ්රි බට්ලර් හා ආචාර්ය ඩ්‍රමන් ෆිල්ස් ය.

ලංකාවේ වැඩී ගිය කම්කරු නායකත්වය සමඟ සිංහල ජන ප්‍රධානීන් ගේ සාක්ෂි මත එංගලන්තයටත් පෙර කාන්තාවන්ටත් ද ඡන්ද බලය හිමි වන සර්ව ජන ඡන්ද බලය ලබාදීමට ඩොනමෝර් කොමිසමට සිදුවිය.

මැතිවරණ කොට්ඨාස නාගරික පදනම හා දිස්ත්‍රික් පදනම මත මන්ත්‍රීවරුන් 50 ක් ඡන්දයෙන් තෝරාපත් කරන පළමු රාජ්‍ය රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය 1931 ජුනි මස දී පැවැත්විණ. නීතිඥයින් හා වැවිලිකාර ධනපතියන් වැඩි දෙනෙකු ඉදිරිපත් වී ජයග්‍රහණය කළෝ ය. මේ අය අතර ටී.බී. ඡයා නම් වූ මුස්ලිම් ජන ප්‍රධානියා වැඩි ඡන්ද 5203 කින් පරාජයට පත් කරමින් ඔහුට දෙවැනි තැන හිමිකර දෙමින් කම්කරු වෘත්තීය සමිති නායකයෙකු වූ ඒ.ඊ.ගුණසිංහ මහතා මැද කොළඹ ආසනය ජයග්‍රහණය කිරීම ද විශේෂයෙන් කැපී පෙණිනි.

අංක 29 වශයෙන් දක්වා තිබූ දිස්ත්‍රික් පදනමෙන් පැවැති හම්බන්තොට මන්ත්‍රීවරයා වූයේ වී. එස්. ද. ඇස්.වික්‍රමනායක නමැති නීතිඥවරයෙකි. ඔහුගේ ජයග්‍රහණයට මූලික වූයේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඩී.එම්. රාජපක්ෂයන්ය. 1931 දී පැවති පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වී සිටි නීතිඥ වී. එස්. ද එස්. වික්‍රමනායක මහතා සමඟ 1936 දී පැවති දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා ද තරඟ කළේ ය. තම විශේෂ සහයෝගයෙන් පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූ වික්‍රමනායක මහතා ඡන්ද 3414 සීමා කරමින් තුන්වැනි තැනට ඇද දමමින් දෙවැනියා වූ එල්.ජී.පෝලියර් මහතාට වඩා වැඩි ඡන්ද 12106 කින් ඩී.එම්. රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ ය. එය ඒ කාලයේ අති විශිෂ්ට ජයග්‍රහණයකි.

තලවකැලේ ආසනයට තරඟ කළ ඩී.ඊ. හැමිල්ටන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කර තිබූ පත්‍රිකාවක දක්වා තිබුණේ “රාජ්‍ය මන්ත්‍රණ සභාවට කංකානියෙකු හෝ ගම්බද ගොවි රාළ කෙනෙකු හෝ කඩකාරයෙකු යැවීමෙන් පළක් නොවන බවය.” මේ අදහස් පිළිනොගත් තලවකැලේ ඡන්ද දායකයන් එස්.පී. වෛත්‍යලිංගම් වැඩි ඡන්ද 7578 කින් ජයග්‍රහණය කළේ තමා ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් අඩකට ඩී.ඊ.හැමිල්ටන් සීමා කරමිනි. එමෙන්ම ඩී.එම්. රාජපක්ෂයන් ද ජයග්‍රහණය කරන්නේ ගොවි රාළ කෙනෙක් මෙන්ම ගොවිනායකයෙක් ලෙසින් ය. වර්තමාන රාජපක්ෂ ඉතිහාසයේ කතාන්තරයේ දේශපාලන භූමිකාව දිග හැරෙන්නේ මෙතැන් සිටය.

වීරත්වය ද දේශප්‍රේමය ද පෙරටුකරගෙන තම සහෝදර ඩී.ඒ.රාජපක්ෂයන්ද සහභාගී කරවාගෙන පාරම්පරික ජානමය උරුමය ඉස්මතු කර ගනිමින් තමන්ටම අනන්‍යවූ දර්ශනයක් මූලික කරගෙන ජනතා මෙහෙවර රාජ්‍ය සභාව හරහා ජාතික දේශපාලනයට එක්කරන්නෝ ය.

හැන්ද ගෑරුප්පුව

ගම් ප්‍රධානීන්ගේ ප්‍රධානියෙකු වූ දොන් දාවිත් රාජපක්ෂ විදානාරච්චි රාළහාමි තම පිරිමි දරුවන් තුන්දෙනා මණ්ඩාඩුව ගමේ පාසලෙන් මූලික ප්‍රාථමික අධ්‍යාපනයට යොමුකොට දකුණු පළාතේ ප්‍රධාන ඉංගී‍්‍රසි පාසල වූ රිච්මන්ඩ් විද්‍යාලයට යවන්නේ ය. සුදු අධිරාජ්‍ය පාලනයට අවශ්‍ය මානසිකත්වයෙන් යුතු උගතුන් බිහි කර ගැනීමට සකස් වූ මිෂනාරී පාසලක් වුවද එහි අධ්‍යාපනය මේ දරුවන්ගේ දේශප්‍රේමය ද වීරත්වය ද විනාශ කිරීමට සමත් නොවීය.

අංග සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටිමින් කෑම මේසයේ දී සුදු අධිරාජ්‍යවාදීන්ගේ මුල්ම මෙවලම වූ හැන්ද ගෑරුප්පුව හා පිහිය පාවිච්චි කිරීම අත්හැර දේශීය සංස්කෘතියට එකඟව අතින් ආහාර ගැනීම විද්‍යාලයේ නේවාසිකාගාරයේ භෝජනාගාරයේදී ප්‍රසිද්ධියේ කළහ. විද්‍යාලයේදී ඉගැන්වූ ඉංගිරිසිය හොඳීන් උගත් ඒ සංස්කෘතිය හොඳින් හදාරා ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාවේ නායකයින් වෙමින් වාර්තා පිට වාර්තා පිහිටුවමින් කීර්තිමත් ශිෂ්‍යයින් වූ ඩී.සී. (දොන් චාල්ස්) ඩී.එම්. (දොන් මැතිව්) සහ ඩී.ඒ. (දොන් ඇල්වින්) නම් වූ තුන් බෑ රාජපක්ෂයන් ගමට පිළිපන්හ. වැඩිමහල් සහෝදර ඩී.සී.රාජපක්ෂ හදිසි මරණ පරීක්ෂක - (කොරනේල් රාළහාමි) තනතුරක සේවය කළත් එය වැටුප් ලබන රජයේ රැකියාවක් නොවන ගරු සේවයකි. ඩී.එම්. ට හා ඩී.ඒ. ට රජයේ උසස් රැකියාවන් කිරීමට තරම් උගත් කමක් ලබා තිබුණ ද ජනතා සේවය සමඟ වෘත්තිමය ගොවිතැන තෝරා ගත්හ. කිරිහරක් පාලනය ද සහිත ප්‍රදේශයේ ගොවිජනතාව සමඟ හරිහරියට ජාතියට බත සැපයූහ.

ප්‍රදේශයේ අනෙකුත් වලව්වල වැජඹුණු මහේශාක්‍ය රදල මුදලි මුහන්දිරම්ලාගෙන් වෙන්වුණු ජනහිතකාමී විදානාරච්චි දරුවෝ වශයෙන් ජනතාව අතර ජනපි‍්‍රය වූහ. ඩී.එම්.ගාල්ලේ මහත්තයා ලෙස මුල් කාලයේ හැඳින් වූ අතර පසුකාලයේ රුහුණේ සිංහයා යැයි විරුදාවලියෙන් පිදුම් ලැබීය. ඩී.ඒ.රාජපක්ෂයන් බාලයා වූ හෙයින් ද පොඩි රාළහාමි නම් විය.

එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසු ලංකාවට පැමිණ උගත් ධනවත් තරුණයින් පිරිසක් මාක්ස්වාදීන්ව ඒ දහම අනුව සමාජවාදී සමාජයකින් මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට ව්‍යාපාරයක් දියත් කර තිබුණි. තම පවුලේ ඥාතියකු මෙන්ම හිතවතෙකු වූ මාක්ස්වාදී නායක දොස්තර ඇස්.ඒ.වික්‍රමසිංහ හම්බන්තොට සහ වලස්මුල්ල රජයේ රෝහල්වල සේවයට පත්ව ආයේ ය. ඔහු රාජපක්ෂ පවුලේ වෛද්‍යවරයා වූ අතර ඔහුට විවේක ඇති හැම විටම රාජපක්ෂ නිවසේ ඇසුරේ විය.

එහෙත් රාජපක්ෂ සහෝදරවරු මාක්ස්වාදීන් හෝ මාක්ස් විරෝධීන් නොවූහ. රාජපක්ෂවරුන්ට ම ආවේණික වූ දර්ශනයක පිහිටා තම සේවාවන් කරගෙන ගියහ. එය පණ්ඩුකාභය රජ දවස සියලු දේශීය ගෝත්‍රිකයන් හා ලබ්දිකයන් එකට එක්කොට ඒකචත්‍ර කර ස්වාධීන නිදහස් නිවහල් පාලන තන්ත්‍රයක් ස්ථාපිත කරන ලද ක්‍රමවේදයෙන් උපන්නකි. වර්තමාන මහින්ද චින්තනය දක්වා වූ දර්ශනයේ විකාශන ආරම්භයයි. ජානමය උරුමයන් ප්‍රවාදයෙන් මුඛ පරම්පරාවෙන් මුල්ගිරිගල ප්‍රධාන විහාරස්ථාන ඇසුරේ මහ තෙරවරුන්ගේ ආභාසයෙන් ගොඩනගා පෝෂණය කරගත් දර්ශනයයි. රාජපක්ෂ ඉතිහාසය සොයද්දී එහි හරය න්‍යෂ්ටිය එයයි.

කම්කරු වැඩ වර්ජනය

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍ය මණ්ඩලය වූ කාරක සභා හතෙන් කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපති වූයේ 1947 නිදහස් ශ්‍රී ලංකා ප්‍රථම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායකයන් ය. එහි සාමාජිකයින් අතර ඩී.එම්. ප්‍රධාන තැනක් ගත්තේ ය. 1945.05.18 එතුමාගේ හදිසි අභාවයෙන් හිස්වන එම තනතුර 1945.07.14 පැවති අතුරු ඡන්දයේදී නිතරඟයෙන්ම ජයග්‍රහණය කරමින් 1945.08.08 වන දින ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා බාර ගත්තේ ය.

රාජපක්ෂ භූමිකාවෙ ආරම්භක ඓතිහාසික සංසිද්ධි බොහොමයක් ජනතා මතකයේ ඇත. ඉන් පළමුවැන්න නම් මිද්දෙනියේ ජූලම්පිටිය ගම්මුලාදෑනි කොට්ඨාසයේ සිලිං අප්පු නම් දුප්පත් ගැමියෙකු ගෙයක් හදාගැනීමට කොස්ගහක් කපා දැමීය. ඔහුට නඩු දමා හිරේ දැමීමට සූදානම් වූ විට තම සේසතම වියදම් කොට හෝ සුදු ආණ්ඩුවත් සමඟ නඩු කියන්නට සූදානම් බව ප්‍රකාශ කරමින් ඩී.එම්. හා ඩී.ඒ.ඉදිරිපත් විය. ගැමියාට නිදහස ලැබුණි.

ගොන් බැඳි කරත්ත වලින් තම නිෂ්පාදන විකිණීමට වීරකැටිය පොළට එනවිට බියගන්වා පහරදී එළවා මංකොල්ල කෑම් කප්පන් ගැනීම් බල පුළුවන්කාර මුදලි මුහන්දිරම් ආශිර්වාද ලද මැරපිරිස් එළවා දමා ඒ පීඩනයෙන් මුදා ගැනීමේදී ඩී.එම්.ප්‍රමුඛ විය.

කෘෂි ද්‍රව්‍ය අළෙවියට වීරකැටිය - මීගස්ආර , මිද්දෙනිය , කාරියමඩිත්ත, ඇඹිලිපිටිය , අගුණකොළපැලැස්ස , වලස්මුල්ල - බෙලිඅත්ත ආදී ප්‍රදේශවල ගැමියන්ට පහසුකම් සහිත පොළවල් ඇති කළ අතර මෙතෙක් ගම්මුලාදෑනී - මුදලි මුහන්දිරම් ග්‍රහණයෙන් ඒවා මුදා ගැනීමටද කටයුතු කළේ ය.

ස්වදේශිකයන් භේද භින්න කරවා සමාජ ආර්ථික පදනම විනාශ කරවීමට වෘත්තීය ශ්‍රේණි ක්‍රමය පීඩිත කුල ක්‍රමයකට සුද්දාගේ මෙහෙයවීමෙන් පත්කොට තිබුණි. පහත් යැයි සම්මත කුලවල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම උඩුකය වැසීමට මේ අනුව අවසර ලබා නොදුණි. මෙසේ පීඩාවට පත් වලස්මුල්ල හා තංගල්ලේ කදුරු පොකුණ - වීරකැටිය ආදී ප්‍රදේශවල ජනතාව පෙළ ගස්වා රෙදි හැට්ට අන්දවා වංශවතුන් හා බලපුළුවන්කාරයින්ගේ වලව් ඉදිරියෙන් පෙරහැරේ ගෙන යෑම ද ඩී.ඇම්.හා ඩී.ඒ. රාජපක්ෂවරුන් විසින් සිදු කරන ලද්දාහ. ඩී.එම්.රාජපක්ෂ මෙසේ පීඩාවට පත් කරන ලද එක් දහස් ගණනගේ ලේඛනයක් ද රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය. හම්බන්තොට ලුණු ලේවායේ කම්කරු වැඩවර්ජනයට සහාය දෙමින් පීඩා විඳින අයට සහන සලසා දීමට කටයුතු කළ ඩී.එම්., ඩී.ඒ. සමඟම එකතුව ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළේ ය. වගා කිරීමට ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීම මෙහිදී විශේෂ වේ.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක කරමින් මධ්‍ය විද්‍යාලය ඇතිකරන විට මුල්ම පාඨශාලා 03 ට වීරකැටිය විද්‍යාලය ඇතුළත් කරවීමට මෙතුමන්ලා සමත්විය.

50 ක පමණ සිසුන් පිරිසක් සහිත පොල් අතු මඩුවක පවත්වාගෙන ගිය විද්‍යාලය - මධ්‍ය විද්‍යාලයක් කරවීමට එරෙහිව ප්‍රදේශයේ ප්‍රභූ බලවේගය අවි අමෝරා ගනිද්දීත් එය පරදවා රාජපක්ෂවරු ජයග්‍රහණය කළහ.

පසු කලකදී එජාප ආණ්ඩුවෙන් මෙය තංගල්ල නගරයට ගෙන යෑමට සූදානම් වූ විට තංගල්ලේ තානායමේදී අධ්‍යාපන ඇමැති ඇම්. ඩී. බණ්ඩා හමුවී දැඩි හා සානුකම්පික ආයාචනයෙන් එය වළක්වා ගැනීමට ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා සමත් විය.

අධිරාජ්‍ය යුද්ධයට මුදල් එකතු කිරීමත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීමටත් එරෙහිව මාක්ස්වාදී උගත් තරුණයන් ගෙන ගිය සටනට සහයෝගය දැක්වීම නිසා සුදු වතු පාලකයකු වූ බ්‍රස්ගර්ඩල් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට රජය සූදානම් විය. මේ ඓතිහාසික අවස්ථාවේ ගාලු මුවදොර පිටියේ විශාල මහජන රැලියක් පැවැත්වීය. මාක්ස්වාදියෙකු නොවූ දේශප්‍රේමී බලවේග නියෝජනය කළ ඩී.එම්.රාජපක්ෂ රාජ්‍ය මන්ත්‍රීවරයා එම රැස්වීමේ මුලසුන ගනිමින් “ලෙයින් හා ජීවිත පරිත්‍යාගයෙන් නිදහස ස්ථාපිත කරගත යුතු බව“ අභීතව ප්‍රකාශ කර ඇත.

ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මන්ත්‍රීවරුන් සුදු අධිරාජ්‍යවාදී ආණ්ඩුවට විරුද්ධ වී යැයි අත් අඩංගුවට ගත් අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් සැලකූ ආකාරයේ පහත් බව ගෙන හැර දක්වමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඩී.එම්. කළ කතාව ද ඓතිහාසික ය.

ඩී.එම්. සුදු පාලකයිනට එරෙහිව දැඩිව සටනට පිවිසීම දඩබ්බර කලහකාරී කමක් නොව අධිරාජ්‍ය පීඩනයෙන් ජනතාව මුදා ගැනීමේ වීරත්වයකි. ජන්ද ලාංජන නොමැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී තෝරාගත් පාට අනුව සකස් කළ පෙට්ටියකට ඡන්දය දැමිය යුතුවිය. 1936 මැතිවරණයේදී තමා තෝරාගත් කුරහන් පාට තමා පැළඳි සළුව පෙන්වද්දී ප්‍රධාන තේරීම් භාර නිලධාරියා වූයේ පී.ජේ. හඩ්සන් නමැති සුදු ඒජන්ත වරයාය. ඔහු තමා පයලා සිටි සපත්තුව ප්‍රදර්ශනය කරමින් තමාගේ දෙපා මේසය මත තැබූයේ පුටුවේ වාඩි වී සිටිමින් ම මේ පාට දැයි අසමිනි. ඩී.එම්. තම අත වූ වේවැල් බස්තම් පහරින් බේරී දිවීමට ඒජන්තවරයා සමත් වුවද මේසය මත තිබූ ලියවිලි සහිත සියල්ල විසුරුවා හැරීමට ඒ බස්තම සමත් විය. ඩී.එම්.අවඥාවට ලක් කිරීමට හා අවතක්සේරුවට පත් කිරීමට ඉදිරිපත් වූ සුද්දාගේ අධිරාජ්‍ය මානසිකත්වය මේසය මත වූ කඩදාසි සමඟම සී සී කඩ විසිරී ගියේ ය.

විධායකයේ ප්‍රධාන බලකණුවක් වූ මහලේකම් ටිලර් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී බහින් බස් වීමක් කෙළවර වූයේ ඩී.එම්. ට අසාධාරණය හිමිවන පරිදිය. මෙයට අවශ්‍ය පිළිතුර දීමට සභාවාරය අවසන් වූ වහාම පිටතදී ලේකම්වරයා අල්ලාගෙන සපත්තු පහරදීමට වූ සුදානමින් ලේකම් බේරී ගියේ කෘෂිකර්ම කාරක සභාවේ සභාපති ඩී.එස්.සේනානායක මහතාගේ මැදිහත් වීමෙනි.

සුද්දාගේ අධිරාජ්‍යවාදී උද්දච්ච කමටත් එයටම අනුගාමීව ප්‍රදේශයේ වලව් පැලැන්තියටත් ප්‍රචණ්ඩ වූ ඩී.එම්.අහිංසක ගැමියන් අතර සාමාන්‍ය ගැමියෙකු වීමට මහන්සි ගත්තේ ය.

තමා අමතන ගමේ කඩ පොළේ කඩ මණ්ඩියේ රැස්වීම් වලට තමා විසින්ම යොදන ලද ඔත්තුකාර හිතවතුන් ලවාම සාමාන්‍ය ජනතාවගේ බිය සැක යෑම සඳහා නොයෙකුත් ප්‍රශ්න විචාරීමටත් වාද විවාද වල ඩී.එම්. සමඟ පැටලෙන්නටත් කටයුතු යෙදවීම එක් උපක්‍රමයක් වීය.

ජනහිතකාමී වුවත් වලව් පැලැන්තියට අයත් රාජපක්ෂවරුන්ටත් භයා පක්ෂකම සහිතව ගරු සරු දැක්වීම ජනතාවගේ නිවහල්ව මනස වැඩීමට බාධාවක් බව තේරුම් ගත් ඩී.එම්. තමාගේ වේදිකාවේදී පවා විරුද්ධවාදීන් නගන චෝදනා ඉදිරිපත් කරමින් ප්‍රසිද්ධියේ සංවාදාත්මක පිළිතුරු ඩී.එම්’ ගෙන් ලබා ගැනීම දක්වා මෙය වර්ධනය විය. රාජපක්ෂවරුන් “අපේ” යන ෂ;ශ්ෂණය සහිතව ආදරයෙන් හඳුන්වන්නට පටන්ගන්නේ මේත් සමඟය.

බතින් බුලතින් සංග්‍රහ

ඩී.එම්.රාජපක්ෂ මැතිතුමාගේ වීරත්වයත් දේශ ප්‍රේමයත් එඩිතර බවත් ප්‍රඥා සම්පන්න ජනහිත කාමී ක්‍රියාමාර්ග නිසා ගිරුවායේ රෝහණ වැසියන් තමන් පරම්පරා ගණනාවක සිට බලාපොරොත්තු වූ දේශපාලන නායකත්වය පහළ වී ඇති බව තේරුම් ගත්හ. ඩී.එම්. සමඟ එකට ජනතා මෙහෙවරේ තිරයෙන් පිටුපස සිට කටයුතු කළ ඩී.ඒ. තම සහෝදරයාගේ හදිසි අභාවයෙන් හිස් වූ හම්බන්තොට රාජ්‍ය සභා මන්ත්‍රී අසුනට 1945.07.14 අතුරු මැතිවරණයේදීම නිතරඟයෙන් තෝරා පත්කර ගන්නට යෙදුණි.

තම වැඩිමල් සහෝදර ඩී.එම්. රාජපක්ෂයන් ඉටු කරගෙන ගිය ජනතා මෙහෙවරේ වගකීම එසේම දරන ගමන් නැවතුණු තැන් පටන් කටයුතු ආරම්භ කළේ ප්‍රදේශයේ ජනතාවට තරා තිරම නොබලා බතින් බුලතින් සංග්‍රහ කළ නිවසේ කටයුතු එසේම වඩ වඩාත් හොඳින් ක්‍රියාත්මක කරමිණි. තම නිවසේ අටුව නමින් හැඳින්වූ දුගී දුප්පත් දුබල අසල් වැසියන්ට කිසිදු විමසීමක් නැතුව වරකට කුරිණි දෙක බැගින් අත්‍යවශ්‍ය වූ විට වී හා කුරහන් ගෙන යෑමේ වරම ද මෙයට එකතුව ක්‍රියාත්මක විය.

මංමාවත් - ගම් සභා පාරවල් මහාමාර්ග ඉදිකිරීම් හා අලුත් වැඩියා කිරීම් කුඩා වැව් ඉදිකිරීම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු වාරි යෝජනා ක්‍රම සංවර්ධනය කිරීම් (විශේෂයෙන් වලවේ ව්‍යාපාරයට අනුබද්ධ බහුකාර්ය යෝජනා ක්‍රමයේ පළමු අදියර වශයෙන් 1957 දී චන්ද්‍රිකා වැවේ ආරම්භය දැක්විය හැකියි.) අධ්‍යාපනය පළල් කිරීම පිටතින් ගුරුවරුන් ගෙන්වා ගැනීම හා ප්‍රදේශයෙන් ගුරුවරුන් බිහිකරවා ගැනීම පාසල් අලුතෙන් ඇතිකිරීම ද්විභාෂා ප්‍රාථමික හා විද්‍යාලය ද්වීතියික පාසැල් හා මහා විද්‍යාල මධ්‍ය විද්‍යාල දක්වා දියුණු කිරීම ( මේ සඳහා තම පාරම්පරික පෞද්ගලික ඉඩම් ද පරිත්‍යාගකර ඇත.) ආදිය මගින් නූගත් කම දුරුකරමින් ජනතාවට අභිමානය ඇති කරවීය. ඉංගී‍්‍රසි බෙහෙත් ශාලා මෙන්ම දේශීය බෙහෙත් ශාලා ද ඇතිකොට ඉංගී‍්‍රසි වෛද්‍යවරයාට තිබූ සමාජ තත්ත්වය හා සම කළේ ය. ශිල්පීය ශ්‍රේණි තුළ ගොනුවී කුල පීඩනයට ලක්ව සිටි පිරිස් ඉදිරියට ගෙන නව නිපයුම් කරවීමට දිරිදුන්නේ ය. කෘෂිකර්මයට සමගාමීව කර්මාන්ත කරණයටද දිරිදුනි. පිදුරුවලින් සහ පැඟිරි වලින් කඩදාසි නිපදවීමට ඇඹිලිපිටියේ කර්මාන්ත ශාලාවක් බිහිකිරීම මෙයට උදාහරණයකි. කපුවගාව - ආහාර භෝග ගම්මිරිස් කුරුඳු වැනි සුළු අපනයන භෝග ව්‍යාප්තිය පොල් වගාව සඳහා දිරිදීම ආදිය මගින් දුප්පත් ගොවියා සවිබල ගැන්වීම ආරම්භ කළේ ය. වැස්ස අඩු යල් කන්නයේ ලඳු කැලෑවල කපුවගාව සාර්ථකව කරන හැටි කියා දී ව්‍යාප්ත කළේ ය. අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය , ගෘහ කර්මාන්තයක් ලෙස ව්‍යාප්ත කරවා බලවේග පේෂකර්මාන්ත ද ඇති කරවීය.

අඳ ගොවියාගේ අයිතිය තහවුරු කරමින් අස්වැන්න තුන් ගුණයකින් වැඩිකොට ඉඩම් හිමියාගේද කොටස වැඩිකර තමන්ගේ කොටස වැඩිකර ලබා ගන්නා කලාව හඳුන්වා දී දිරි ගැන්වීය. 1954 /55 ශ්‍රීලනිපයේ මහා ජාතික සම්මේලනයේදී ගම්පහ මහ වලව්ව හා ඇස්.ඩී.බණ්ඩාරනායක මහතාගේ මඩුගස් වලව්ව පරිශ්‍රයේදී දේශපාලන හා ගොවි පාසල් - ගොවි හමුදා ලෙස තරුණයින් සංවිධානය කර මහා ආර්ථික පෙරළියට යෝජනා කළේ ය.

රබර් ගිවිසුම

1951 දී බණ්ඩාරනායක ශ්‍රීමතුන් සමඟ දේශපාලන අභිනිෂ්ක්‍රමණයකට එක් වූ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ දුර දක්නා නුවණ අති විශිෂ්ට විය. 1956 මැතිවරණයේදී වාමාංශික පක්ෂ සමඟ නිතරඟ ගිවිසුමක් ගසාගෙන පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ පෙරමුණ සමඟ එක්වී තරඟ කළොත් ආසන බහුතරයක් දිනාගත හැකි බවත් තනිව තරඟ කළොත් ආසන 20 ක් පමණ දිනාගත හැකි බවටත් තර්ක කරමින් හම්බන්තොටදී පැවති සාකච්ඡාවේදී ජයග්‍රහණය කළේ ය. ඒ අනාගත දැක්ම අනුව යමින් ආසන 51 ක ජයග්‍රහණය සහිතව 1956 දී මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව පිහිට වූයේ ය. තමාට ඇමති කමක් ලබාගත හැකිව තිබියදී උප ඇමතිකමක් පමණක් බාරගෙන තම ඥාති පුත්‍ර ලක්ෂ්මන් රාජපක්ෂයන්ට ද උප ඇමතිකමක් ලබාදීමට මං සැලසීය. ඩී.ඒ. මැතිතුමා 1956 දී වැඩි ඡන්ද 15833 කින්ද ලක්ෂ්මන් රාජපක්ෂ වැඩි ඡන්ද 11554 කින් ද ජයග්‍රහණය කළේ ය.

1945 දී නිතරඟයෙන් ජයග්‍රහණය කළ හම්බන්තොට හා බෙලිඅත්ත වශයෙන් දෙකට බෙදා 1947 දී මහ මැතිවරණයට ඉදිරිපත් වන විට තම සහෝදර ඩී.එම්. රාජපක්ෂයන්ගේ වැඩිමල් පුත් ලක්ෂ්මන් රාජපක්ෂයන්ට බාර දී අලුතෙන් ඇති කළ බෙලිඅත්ත ආසනයට ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා පැමිණියේ ය. ඒ ද පදවි පූජාවක් බඳුය.

1947 ජුලි 23 සිට අගෝස්තු 20 දක්වා දින 19 ක් තිස්සේ පැවති නිදහස් ලංකාවේ පාර්ලිමේන්තුවට බෙලිඅත්ත ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් කළේ ය. ඩී. එස්. සේනානායක පාර්ශ්වයෙන් ඩී.පී. අතපත්තු මහතා ද බණ්ඩාරනායක පාර්ශ්වයෙන් ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා ද තවත් ස්වාධීන තුන් දෙනෙක් ද බෙලිඅත්තට තරඟ වැදුණි. දෙවැනියා වූ අතපත්තු මහතාට වඩා වැඩි ඡන්ද 8022ක් ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා ලබා ගනිද්දී අතපත්තු මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 5985 පමණි. ඩී.එම්. රාජපක්ෂ මැතිතුමාගේ වැඩිමහල් පුත් ලක්ෂ්මන් රාජපක්ෂ මහතා ස්වාධීනව ඉදිරිපත් ව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පරාද කරවීමට සමත් විය. ඔහුගේ ක්‍රියාකාරීත්වය ද වීරත්වයෙන් එඩිතර බවින් ඩී.එම්. රාජපක්ෂ මැතිතුමාට සමාන විය. 1956 ජයග්‍රහණයෙන් පසු ඩී.ඒ.රාජපක්ෂයන් ඉඩම් හා ඉඩම් සංවර්ධන උප ඇමතිවනවිට ලක්ෂ්මන් රාජපක්ෂයන් වාණිජ හා වෙළඳ උප ඇමති තනතුරට පත්විය.

ඡන්ද බලය

හාල් , රබර් ගිවිසුම චීනය සමඟ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අමාත්‍ය ආර්.ජී.සේනානායක මැතිතුමා සමඟ එක්ව ක්‍රියාකළේ විශාල දායකත්වයක් ලබා දෙමින් ය. පාර්ලිමේන්තු කුමන්ත්‍රණ සමඟ ආණ්ඩුව හා එක්ව සිටි දක්ෂිණාංශික බටහිර ගැති පිරිස් බලවත් වී දේශපාලන ඝාතනයට අගමැතිතුමා ලක්වීමෙන් ඇති වූ අස්ථාවර තත්ත්වය තුළ 1961 අප්‍රේල් මාසය දක්වා බලයේ සිටින්නට වරම් ලබා තිබුණත් 1959 දෙසැම්බර් 04 මැතිසබය විසුරුවා හැරුණි. ප්‍රථම වරට එක් දිනක් තුළ පැවති මහා මැතිවරණය 1960 මාර්තු 19 දී පැවැත්විණි. හම්බන්තොට හා බෙලිඅත්ත වශයෙන් තිබූ ආසන දෙක එක්කොට තිස්සමහාරාමය, බෙලිඅත්ත හා මුල්ගිරිගල වශයෙන් හෙිදී ආසන තුනක් විය.

ලක්ෂ්මන් රාජපක්ෂ මහජන එක්සත් පෙරමුණ මන්ත්‍රීවරයා ලෙස අපේක්ෂකයින් හය දෙනෙකු අභිබවා වැඩි ඡන්ද 3412 කින් ජයග්‍රහණය කළේ ය. ප්‍රථම වරම ඔහුගේ සහෝදරයා වූ අධිනීතිඥ ජෝර්ජ් රාජපක්ෂ මහතා මහජන එක්සත් පෙරමුණේ ප්‍රතිවාදී අපේක්ෂකයින් 08 දෙනෙකු අභිබවා වැඩි ඡන්ද 8178 කින් ජයග්‍රහණය කළේ ය. එක්සත් ජාතික පක්ෂය ආසන 50 දිනා ගනිමින් පළමු තැනට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 46 ලබා ගනිමින් දෙවැනි තැනටද පත් වුවද විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග මන්ත්‍රී ආසන 101 ක් නිසා එම ආණ්ඩුව දින 33 කට පමණක් සීමාවිය.

1960.07.20 පැවති මහා මැතිවරණයෙන් වැඩි ඡන්ද 9491 ලබමින් අධිනීතිඥ ජෝර්ජ් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා ලෙස පත් වන්නේ ඡන්ද 514 ක් ලබා ගනිමින් එඩ්වින් දහනායක 1960 මාර්තු 19 ඡන්දයෙන් හයවැනි ස්ථානයට පත් ව තිබූ පක්ෂය ජයග්‍රහණය කරවමිනි. තම සුළු පියා වූ ඩී.ඒ.රාජපක්ෂයන් බෙලිඅත්ත ජයග්‍රහණය කළ අතර වැඩිමල් සහෝදර ලක්ෂ්මන් රාජපක්ෂ මහජන එක්සත් පෙරමුණෙන් ජයග්‍රහණය කළේ ය.

වලස්මුල්ල ගම් කාර්ය සභාවෙන් නිතරඟයෙන් සභාපති වෙමින් දේශපාලනයට පිවිසි ජෝර්ජ් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුල්ගිරිගල ජනතාවගේ ජනහද දිනාගත් උගත් සෞම්‍ය මන්ත්‍රීවරයා ය. ඔහුගේ ගතිගුණ ඩී.ඒ.රාජපක්ෂ සුළු පියාණන්ට සමාන විය. 1960 ආණ්ඩුවේ මුදල් උප ඇමති තනතුර දරමින් සිටියදී මුදල් අමාත්‍ය පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කළ අය වැයෙන් සහල් සලාකය සීමා කිරීමට ගෙන ආ යෝජනාවට විරුද්ධව අතිශයින් හැඟීම්බර වේගවත් කථාවක් පාර්ලිමේන්තුවේදී කරමින් මුදල් උප ඇමති පදවියෙන් ද ඉල්ලා අස්විය. ලෝක මහා යුද සමයේ තම පියා වූ ඩී.එම්. රාජපක්ෂයන් දුප්පත් ගැමි ජනතාවට සහනයක් කර දීමට ලබාදුන් සහල් සලාකය සීමා කිරීමට ඉඩ නොදීමට ජෝර්ජ් රාජපක්ෂ මහතා සමත් විය. සූරියමල් ව්‍යාපාරයේ අධිරාජ්‍ය විරෝධී සංකේතය වූ සූරියමලක් තම ඇඳුමේ ගසාගෙන විද්‍යාලයට යෑමට තරම් රාජපක්ෂ රාජකීය ශිෂ්‍යයා එඩිතරවීමෙන් තම ගමන් මඟ ප්‍රදර්ශනය කළේ ය.

1964 දෙසැම්බර් 03 අමාත්‍ය සී. පී. ද සිල්වා මහතාගේ අස්වීමත් සමඟ රාජාසන කතාවට ඡන්දය විමසන විටදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු විපක්ෂය හා එක්ව