කුරහන් සාටකය

කුරහන් සාටකය

ඒ1936 වසරේ පෙබරවාරි මාසයේ මුල් සතියේ දිනයකි. ස්ථානය හම්බන්තොට දිසාපති කාර්යාලයයි. “ගිනි ගහන අව්වේ” ගිනියම් බව විටින් විට යටපත් කළේ කරදිය සිපගෙන එන මුහුදු සුළගෙනි. දිසාපති කාර්යාලය අවට රැස්කන ජනතාව අතුරු - සිදුරු නැතිව එකාගෙ ඇඟේ – එකා හැපෙමින් නොයෙක් දේ මුමුණමින් ඇවිදින අයුරු පෙනේ. දිසාපති කාර්යාලය අවටත් හම්බන්තොට වෙරළ තීරයත් එකම හිස් ගොඩක් බවට පත්වී තිබිණ.

ඒ, ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවට දෙවෙනි වරට නාමයෝජනා බාරගන්නා දිනය වින. වෙනදා යුරෝපීය ඇඳුම් ඇඳ, එක්තරා රිද්මයකට අනුව “කොරිඩෝවක්” දිගේ ඇවිද ගෙන යන මිනිසුන් වෙනුවට, අද මේ තැන්වල ගමන් කරන වැඩිදෙනා, සරම් – බැනියම් ඇඳ සෙරෙප්පුවක් වත් නැතිව, බුලත්විට හපමින් ඇවිදින මිනිසුන් ගෙන් පිරී ඇත.

උදෑසන නවය පසුවීගෙන යත්ම, මේ “මිනිස් ගංගාව“ අතර මොකක් හෝ කසු - කුසුවක් පැතිරෙමින් එන බව හැමදෙනාටම පෙනිණි. ඊළඟ මොහොතේ මේ කසු-කුසු” හඬත් සමඟ හැමදෙනාම ඉදිරියට තෙරපී යන ආකාරයක් හැමටම දැනිණි.. එහෙත්, කිසිවෙක් කිසිවක් නොදන්නා බව හැමදෙනාගේම මුහුණුවලම සටහන් වී තිබිණ.

ඒ අතර, දිසාපති කාර්යාලයේ දොරටුවෙන් පිටවූ අයෙක්, “මිනිස් හිස්ගොඩ” අතරට “කා වැදී” දෑත් ඔසවා යමක් කියනු ඇසින.

කිසිම කෙනෙක් කලබලයක් කරන්න එපා. ගාල්ලේ මහත්තයගේ කරදහි ඔක්කෝම දිසාපති බාර ගත්තා. එතැන ඇති වෙන්නට ගිය කලබලය “මැදමුලනෙ පුංචි රාළහාමි උන්න නිසා නැවතුණා. ගාල්ලෙ මහත්තය තව ටිකකින් එළියට ඇවිල්ලා ඔක්කොම කියාවි.”

“මොකද උනේ” මුළු මිනිස් ගංගාව අතරින් මතුවූ එකම ප්‍රශ්නයයි.

“ලියුම් බාර ගන්න ඉඳල තියෙන්නෙ, ගාල්ලෙ මහත්තයලත් එක්ක අමනාප සුද්දෙක්. එයාගෙ කතාවකට ගාල්ලෙ මහත්තය ගහන්න ගිහිල්ල. පුංචි රාළහාමි ඒක බේරල තියෙනවා. ඔක්කොම මම දන්නෙත් නෑ” පුංචි රාළහාමි මේ දැන් එළියට ඒවි...”

මේ කතාව කියමින් එළියට ආවේ ඉහළ බෙලිගල්ලේ තෙට්ටිආරච්චි මහ රාළහාමිය. ඔහු ඉදිරියට ගියේ හැමදෙනාටම නිශ්ශබ්ද වන ලෙසත්, සන්සුන් වන ලෙසත් කියමිනි.

මෙහි “ගාල්ලෙ මහත්තයා” යනුවෙන් හැඳින්වූයේ ඩී. ඇම්. රාජපක්‍ෂ මහතාය. (වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලොකු තාත්තාය) ‘පුංචි රාළහාමි’ යනුවෙන් හැඳින්වූයේ ජනාධිපති තුමාගේ පියාණන් වූ ඩී. ඒ. රාජපක්‍ෂ මහතාය.

එදා හම්බන්තොට දිසාපති මන්දිරයේ සිටි කිසිම කෙනෙකුට ඉවසුමක් නැත. ඒ, සිදුවී ඇති දේ ගැන එක එක්කෙනා එක – එක දේ කියන බැවිනි.

“ඩී. ඇම්. රාජපක්ෂ මහතා ගාල්ලෙ රිච්මන්ඩ් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිසා, ගිරිවාපත්තු ගැමියෝ, එතුමාට යෙදූ “සුරතල් නාමය” “ගාල්ලෙ මහතා” යන්නය. ඩී. ඒ. රාජපක්‍ෂ මහතා “මැදමුලන” ගමේ පදිංචියට ගියාට පසු ගැමියෝ එතුමාට සුරතලේට ආමන්ත්‍රනය කළේ “මැදමුලනෙ පුංචි රාළහාමි” යනුවෙනි.

“ගාල්ලෙ මහත්තයා ඡන්දෙ ඉල්ලනවාට සුද්ද එදා ඉඳලම අකමැතියි. මොකද? ගිරුවාපත්තුවෙ ගොවීන්ගේ දුක්ගැනවිලි සුදු නිලධාරීන්ට පහදාදෙන්න ගියේ මේ අයිය මලෝ දෙන්නා නිසා, සුදු නිලධාරීන් නොයෙකුත් අපහසුතාවලට මූණ දුන්නනේ. මොකද අර පොලියර් මහත්තයල, වික්‍රමසිංහ මහත්තයල, ජයවර්ධන මහත්තයල දන්නවනේ, ඒ ගොල්ලන්ට දිනන්න ඕන නම්, ගාල්ලෙ මහත්තය කොහොම හරි නවත්ත ගන්න ඕන බව, මෙන්න මේක නිසාලු. “නාම යෝජනා පත්තරේ අයින් කරන්න “යටි සූත්තර – යටි සුලං” අදින්න පටන් ගෙන තියෙන්නෙ.

ගිනි කාස්ටක “අව්වේ” කරවෙන එක් අයෙක් කියයි.

“හරියට හරි ගිය මාසෙ ගල්පොත්තෙයාය ඉඳල අපි කට්ටියක් එක්ක “ගාල්ලෙ මහත්තයා” කච්චේරියට ආවම සුද්ද එකපාරටම ඇහුවලු “මොකෝ අදත් ආවේ ගොයියට රට අල්ල දෙන්නද? කියල. මොකද? සුද්දන් ඒතරමටම මේ අයිය මලෝ දෙන්නත් එක්ක තරහයි. මොකෝ ගිරිවායෙ ගොවීන්ගෙ ප්‍රශ්න සුද්දන්ට දැනුම් දුන්නෙ එක්කො ‘ගාල්ලෙ මහත්තය, එහෙම නැතිනම් ‘මැදමුලනෙ පුංචි රාළහාමි’ තවත් අයෙක් කියයි.

කච්චේරි මිදුලත්, පාර දෙපසත රැස්කන ගොවි ජනතාව අතර යළිත් ලොකු “කසු කුසුවක්” හටගන්නේ කාර්යාලය ඇතුළේ සිටි කීප දෙනෙක්ම එළියට එනු දුටු බැවිනි.

එළියට ආ පළමු වැන්නා, ඩී. ඒ. රාජපක්‍ෂ මහතාය. (මැදමුලනේ පුංචි රාළහාමිය) රාජපක්‍ෂ මහතාට එන්නට ලැබුණේ අඩි කීපයක් පමණි. ඉදිරියට දුවගිය ගොවීහු කීප දෙනෙක්ම “ඩී. ඒ.” උසවා ගත්හ. ඔහු කතාව පටන් ගන්නා විට හැමදෙනාම “මීයට පිඹි” කලෙක මෙන් නිහඬ වූහ.

අපගේ නාමයෝජනා පත්‍රය බාර ගන්නට සිදු වුණා. එම නිසා කිසිම කෙනෙක් කලබල හදා ගන්නට එපා. නාමයෝජනා පත්‍රය බාරදෙන්න ගිය අයියා ඉස්සරහ පුටුවේ ඉඳගත් ගමන්ම තමාගේ කරදහි සියල්ලම දුන්නා. සුද්ද දික්කළේ වෙනදා වගේ දකුණු අත නොවෙයි, වමත. මෙන්න මේකට අයියට තදේට කේන්ති ගියා. වැරදි අඩුපාඩු කිසිවක් නැති නිසා මූණ “හපුටු” කරගත් සුද්දා, මොනවද ඕන පාට කියල ඇහුවා. අයිය වටපිට බලල තමා ළඟින්ම උන්න ගල්පොත්තයායෙ හෙන්ද්‍රික් අයියගෙ කරේ තිබූ “කුරහන් පාට” සාටකය අරගෙන මේසය උඩින් දැම්මෙ “මෙන්න මේකයි මට ඕන පාට” කියමින්.”

එදා උපහාසයෙන් වගේ “ඩී. ඇම්.” ගේ මූණ බලාගෙන සිටි උප දිසාපති පී. ජේ. හඩ්සන් මහතා (මොහු 1935. 02. 16 හම්බන්තොට උප දිසාපති වශයෙන් වැඩ බාරගෙන 1938. 03. 11 දක්වා හම්බන්තොට සේවය කොට ඇතා. තමා සිටි පුටුව යටට අත දමා කුමක් හෝ සොයනු අවට සිටි අයට පෙනින. මොහොතකින් “ගුරුපාට” හම් සපත්තුවක් අතට ගත් දිසාපතිවරයා “මේකත් ඔය පාටම නේද?” යි අසමින් සිනාසෙනවිට, ඒ දැක අතිශයින් කෝපවූ “ඩී. ඇම්” මේසය සොලවාගෙන ඉදිරියට විත් ඒ මත තිබූ කිතුල් ලීයෙන් සාදා රූල් ගැසීමට යොදා ගත් “රූල් පොල්ල” අතට ගෙන, හඩ්සන් දිසාපතිට පහර දීමට ඔසවන විටම එතැනම උන්න මම “දෑතින්ම පොර බදා” කිතුල් පොල්ල උදුරා පසු පසින් සිටි කෙනෙකුට දුන්නා.”

දිසාපතිවරයාටත්, උදව්වට උන් අයටත් විනාඩියක් දෙකක් යනතුරුම කතා කරගත නොහැකි ලෙස මුව අයාගෙන සිටියහ.

මෙතෙක් වේලා මේසය උඩ තිබූ “කුරහන් පාට සාටකය” අතට ගත් ගල්පොත්තෙයායෙ හෙන්ද්‍රික් අයියාම එය “ඩී. ඇම්” ගේ කරවටේ දමා ඇත. වටේ උන්න අය “ජයවේවා” යි කියූ හඬ හම්බන්තොට මුහුදු වෙරළට පවා ඇසී ඇත.

“කිසි කෙනෙක් බය වෙන්න එපා. දිනන්නෙ අපි තමා” කියූ “ඩී. ඒ” යළිත් දිසාපති කාර්යාලය තුළට ගිය අතර, ජනතාව අතර අර පරණ “කසු- කුසු” හඬ පැතිරිණි.

ගතවූ පැය බාගයකින් පමණ එළියට ආ “ඩී. ඇම්” හා “ඩී. ඒ” ඔසවාගත් ගොවි ජනතාව දෙදෙනාම ඔසවා ගෙන දිසාපති කාර්යාලයේ ඉහළ පාරට බැස්සේ “ජයවේවා” යි පී‍්‍රති ඝෝෂා කරමිනි.

“ගොවි රජාට ජයවේවා”, “ගිරුවායම බබලනවා” යන සටන් පාඨවලින් “කච්චේරි” බිම ඇළලී ගිය බවක් පෙනිණ.

ඩී. ඇම්. රාජපක්‍ෂ මහතාත් (දොන් මැතිව් රාජපක්‍ෂ) දොන් ඇල්වින් රාජපක්‍ෂ මහතාත් (ඩී. ඒ) ඔසවා ගත් ගොවි ජනතාව ඒ දෙදෙනා බිම තබන ලද්දේ හම්බන්තොට – තිස්ස මාර්ගය ආරම්භ වන තැන පිහිටි විශාල දෙබර ගසක් යටය. (අද මෙම ස්ථානයේ “ටෙලිකොම්” ආයතනයේ කාර්යාලයත් ධීවර අමාත්‍යාංශයේ කාර්යාලයත් පිහිටුවා ඇත.)

පළමුවෙන්ම කතාකොට ඇත්තේ “ඩී. ඒ” රාජපක්‍ෂ මහතාය. “ගිරුවා පත්තුවේ ගොවීන් වෙනුවෙන් ඡන්දය ඉල්ලන “ගාල්ලෙ මහතා” පරාජය කිරීමට කිසිම කෙනෙකුට බැරි බවත්, දැන් ඉතිරිව ඇත්තේ අපට විරුද්ධව තිබෙන “යටි සුලං” හා මර උගුල්වලින් බේරී ඡන්දය දමන දිනය වනතුරු ඉවසීමෙන් හා සිහි කල්පනාවෙන් සිටීම බවත්, ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැති බව අද හම්බන්තොට මුහුදු වැල්ලෙන්ම පෙනීයන්නේ යයි කියා තම කතාව නවතන විටම, කරේ තිබූ “කුරහන්” පාට සාටකය දෑතින්ම ඔසවා ගත් “ඩී. ඇම්” දෙබර ගස යටට පැමිණෙනවිටම “කුරහන් මල් මාලා රාශියක් අයිය මලෝ දෙන්නාගේ ගෙලේ පැලැන්දුවේ විදුලි වේගයකිනි.”

දෙනෙතින් බේරෙන සතුටු කඳුළු බිඳු දකුනතින්ම පිසදැමූ “ඩී. ඇම්” ඡන්දයෙන් දිනන්නේ “ඩී. ඇම්” රාජපක්‍ෂ වුවත්, සටනින් දිනන්නේ ගිරුවායේ ගොවි ජනතාව බව පවසනවිට, “රුහුණේ සිංහයාට ජයවේවා” යි අවට සිටි ජනතාව “නැඟූ හඬ” මට තවමත් ඇසෙන්නේ යයි මේ ලියුම්කරු සමඟ කීවේ අභාවප්‍රාප්ත කවියෙකු වූ විදුහල්පති බෙලිගල්ලේ අමරසේන මහතාය.

ඉන් අනතුරුව, එම දෙබර ගස යටදීම තම්බා පිළියෙළ කරන ලද බෙලිමල්, කෝපි හා නිවෙස්වලින් “බට පෙට්ටි” පුරවා ගෙනත් තිබූ වැලිතලප, ගොටුපිට්ටු, හැලප ආදියෙන් හැමදෙනාටම සංග්‍රහ කරන ලදී. හම්බන්තොට වැල්ලේදී පවත්වන ලද, රාජපක්ෂ පරපුරේ පළමු වන දේශපාලන ජනතා හමුව ඉන්පසුව නිමාවට පත්විණ.

ඉහත සඳහන් කළේ ගිරුවා පත්තුවේ රාජපක්‍ෂ පරපුරට ‘කිරි කුරහන් පාට’ කුරහන් සාටකය ලැබීමේ කතාවේ බොහෝ දෙනෙක් නොදන්නා ඇත්තම ඇත්ත කතාවයි.

එදා, මෙයට වසර 75 කට ප්‍රථම “ඩී. ඇම්” ගේ ගෙලේ, ගොවිජනතාව විසින්ම පලඳවන ලද මේ රටේ ජාතික සලකුණ ලෙස සලකන කුරහන් සාටකය මේතාක් දේශපාලනයට ආ සෑම රාජපක්‍ෂ කෙනෙක්ම දිවි හිමියෙන් රැකගත්තේ, එය තම පරපුරේ පමණක් නොව ගිරුවාපත්තුවේම එකම දේශපාලන සලකුණ බවට පත්කරවමිනි.

එය තවත් ගැටුම් රාශියකට ලක්වූ ගැමි සුවඳ හමන දේශපාලන සලකුණය.

1936 සටන හම්බන්තොට වැල්ලෙන් ආරම්භ වුවත්, එය ක්‍රියාත්මක වූයේ ලඳු, පෑලැනි, ඕවිටි, දෙනිපොත්, ඇළවේලිවල දහදිය හෙලූ ගිරිවායේ ගොවි ජනතාව අතරය; ගොවි ජනතාව අතිනි. “අයිය මලෝ” දෙන්නාත්, ගොවි නායකයෝත් සටන මෙහෙයවන ලදහ.

බොහෝ දෙනෙක් කියා ඇත්තේ මේ වර හම්බන්තොට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරඟයක් නැති බවය. හැම තැනින්ම මතු වුණේ “කුරහන් පෙට්ටියට” වැටෙන ඡන්දය. (මේ යුගයේ ඡන්ද ලකුණු නැතිවූ අතර, එක් එක් අපේක්ෂකයාට වෙන වෙනම ඡන්ද පෙට්ටි නිකුත් කොට තිබූ අතර, ඡන්ද ඟයකයාට තිබුණේ තමාට ලැබෙන “ඡන්ද කොළය” නමා තමා කැමති අපේක්ෂකයාගේ වර්ණය තිබෙන පෙට්ටියට දැමීම පමණකි. ඡන්ද ලකුණ භාවිතයට ගත්තේ 1947 මැතිවරණයේ සිටය)

මැතිවරණ දිනය වූයේ 1936 – මාර්තු මස 07 දාය. උදයේම ආගමික වතාවත්වල යෙදුන “ඩී. ඇම්. රාජපක්‍ෂ මහතා ප්‍රථමයෙන් තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වීරකැටිය “පස්මංහන්දියට” නුදුරින් වූ හ/මඩොඩුව මහා විද්‍යාලය වෙතට යන අතර ඡන්ද පොළේ අමුතු “ආරක ආරක්ෂාවක්” තිබෙනු දුටුවත් එය එතරම් ගණනක් නොගත්තේය.

ඡන්දය ප්‍රකාශ කොට “කොටබෝහන්දිය” පැත්තට බැසයන “ඩී. ඇම්” ඉදිරියට ආ පොලිස් නිලධාරියෙක්, “රාජ්‍යයට හා රාජ්‍ය නිලධාරීන්ට තර්ජන කිරීමක් කර ඇති නිසා අත්අඩංගුවට ගැනීමට නියමයක් ඇති බව කියා සිටියේය. ඡන්ද පෝලිම “කොටබෝ හන්දිය” දක්වා දික්වී තිබිණ. වටපිට බලා තමා පොලිස් අත්අඩංගුවට ගත් බව මල්ලීට කියන ලෙසට හිතවතුන්ට ඇසෙන ලෙස කියූ “ඩී. ඇම්” ගේ දෑතට “මාංචු” වැටුණේ විදුලි වේගයෙනි.

වීරකැටියෙන් තංගල්ල සිර ගෙදරට ගෙනයන ලද “ඩී. ඇම්” එතැනින් අගනුවර බොරැල්ලේ බන්ධනාගාරයට ගෙනයාමට අණකොට ඇත්තේ ගිරුවාපත්තු ගොවීන්ගේ අරගල ගැන සැක සිතූ බැවිනි.

තම සහෝදරයා අත්අඩංගුවට ගත් බව දැනගත් “ඩී. ඒ” පැයක් ගතවන්නටත් ප්‍රථම තංගල්ල සිරගෙදරට යනවිටත් කොළඹ ගෙනයාමට අවශ්‍ය කටයුතු යොදා තිබිණ. “සිරකරුවාගේ බඩු බාහිරාදිය” බාර ගැනීමට “ඩී. ඒ” ට සිදුවින. “ඩී. ඇම්” රාජපක්‍ෂ මහතාගේ අතේ තිබූ රුපියල් 21ක මුදලත්, පෑනක්, සටහන් පොතක් සමඟ “කුරහන් සාටකයද” තිබිණ. අනෙක් බඩු වෙනම පාර්සලයක දැමූ අතර, “කුරහන් සාටකය” දෑතට ගත් “ඩී. ඇම්” එය තමාගේ සහෝදර “ඩී. ඒ” ගේ ගෙලට දැම්මේ දෙනෙතින් වැටෙන කඳුළු බිඳු පිස දමමිනි.

“මල්ලී අපි දිනනවා - දිනනවාමයි” යනුවෙන් “ඩී. ඇම්” සිහින් හඬින් කියනවිට පසුපසින් සිටි ජනතාව ද ඔව් අපි දිනනවා - දිනනවා මයි” යනුවෙන් කෑගසා කියූ හැටි දුටු කීපදෙනෙක් මේ ලියුම්කරුටද හමුවී ඇත්තේ මෙයට වසර 12 කට පමණ පෙරය. ඒ හැම අදහසක්ම හරියට හරි ගියේ ය. ඡන්දය දා “සිරකාරයෙකු වූ”, “ඩී. ඇම්. රාජපක්‍ෂ මහතා ඡන්ද 7046ක් ලබා ජයග්‍රහණය කොට තිබිණ. ගිය වතාවේ ඡන්ද 15384ක් ලබා (1931 දී) ජයගත් ඩි. එස්. ද සිල්වා වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණේ ඡන්ද 3414කි. එමෙන්ම ඔහු තුන්වැන්නාගේ තැනට ද වැටී තිබිණ. ඔහු ලබා තිබුණේ ඡන්ද 11980ක් අඩුවෙනි. මෙම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසු “ඩී. ඇම්” සහ “ඩී. ඒ” යන දෙදෙනාම ජනතාවාදී දේශපාලනය සඳහා පැමිණියේ “කුරහන් සාටකය” පැලඳගෙනය.

අනතුරුව 1947 පැවැති පළමුවෙනි පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා හම්බන්තොට ආසනය සඳහා “ඩී. ඇම්” ගේ ලොකු පුතා ලක්ෂ්මන් රාජපක්‍ෂ මහතා ඉදිරිපත්වූයේ “කුරහන් සාටකය පැලඳගෙනය. ඔහු ඡන්ද 8740ක් ලබා හම්බන්තොට ආසනය ජයගත්තේය. 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් “ඩී. ඒ” බෙලිඅත්ත ආසනය ජයගත්තේ ඡන්ද 14007ක් ලබා ගනිමිනි.

1952 පාර්ලිමේන්තු මැතිවරණයෙන් “ඩී. ඒ” බෙලිඅත්ත ආසනය ජයගත්තේ ඡන්ද 17,382ක් ලබාගෙනය. 1956 මැතිවරණයෙන් ලක්ෂ්මන් රාජපක්‍ෂ මහතා ඡන්ද 20931 ලබා හම්බන්තොට ආසනය ජයගන්නා විට “ඩී. ඒ” රාජපක්‍ෂ මහතා ඡන්ද 26215ක් ලබා බෙලිඅත්ත ආසනය ජයගත්තේය.

1960 මාර්තු 19දා මැතිවරණය වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයට “මුල්ගිරිගල” යනුවෙන් තවත් ආසනයක් ලැබී “ඩී. ඇම්” ගේ දෙවැනි පුත් ජෝර්ජ් රාජපක්‍ෂ මහතා ඡන්ද 13533ක් ලබා එය දිනාගන්නා විට, තිස්සමහාරාම ආසනය ලක්ෂ්මන් රාජපක්‍ෂ මහතා දිනා ගත්තේ ඡන්ද 10665 ක් ලබා ගනිමිනි.

1960 ජූලි මස 20දා පැවති මහ මැතිවරණයෙන් “ඩී. ඒ” බෙලිඅත්ත ආසන ඡන්ද 15121ක් ද, ජෝර්ජ් රාජපක්‍ෂ මහතා මුල්ගිරිගල ආසනය ඡන්ද 17317ක් ද, ලක්ෂ්මන් රාජපක්‍ෂ මහතා ඡන්ද 12551 ලබා තිස්සමහාරාමහ ආසනයද දිනා ගන්නා ලදී.

1965 මාර්තු 22දා පැවති මහා මැතිවරණයෙන්, ජෝර්ජ් රාජපක්‍ෂ මහතා ඡන්ද 18245ක් ලබා මුල්ගිරිගල ආසනය ජයගත්තේය.

අද මේ රටේ ජනතාව දෑත් ඔසවමින් කතා කරන ජාතියේ සලකුණ බවට පත්වී ඇති “කුරහන් සාටකය” ජනතාවගේම සලකුණක් බවට පත්වූයේ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුරහන් සාටකයත් පැලඳ බෙලිඅත්ත ආසනය සඳහා ඉදිරිපත් වීමෙන් පසුවය.

1970 මැයි මස 27 දා පැවති මහා මැතිවරණයෙන් ඡන්ද 23103ක් ලබා දේශපාලන මංගල ගමන ආරම්භ කළ මහින්ද රාජපක්‍ෂ මහතා, එතුමා රටේ ජනාධිපති තරගයෙන් ජයගත්තේ දහඅටලක්‍ෂය ඉක්මවූ ඡන්දයක් ලබා ගනිමිනි. එතැන් පටන් රුහුණු රටේ ගිරිවාපත්තුවෙන් මතුවූ “කුරහන් සාටකය” ට ලංකාවේ පමණක් නොව, ලෝක දේශපාලනය තුළද හිමිවූ අති ශ්‍රේෂ්ඨ ස්ථානය ගැන යළි - යළිත් සඳහන් නොකළ යුතු තරමටම එය ජනතාවගේ සිත් සතන් තුළට “කාවැදී” තිබේ.

1960 “හාපුරා” කියා මුල්ගිරිගල ආසනයට ඉදිරිපත්වූ අධිනීතිඥ ජෝර්ජ් රාජපක්‍ෂ මහතා ද “කුරහන් සාටකය” පැලඳ ගත්තේ “සක්විති රජෙකු” ඔටුන්නක් පලඳින ගෞරවයක් ඇතිවය. එතුමා තමාගේ ආණ්ඩුවෙන් ලද නියෝජ්‍ය මුදල් ඇමති තනතුරෙහි” ඉල්ලා අස්වී එනවිට බෙලිඅත්ත පොදු වෙළඳ පොළ බිමේ සංවිධාන කොට තිබූ ජනහමුවක් අමතා කළ කතාවක් මේ ලියුම්කරුට තවමත් මතකය.

මේ “ කුරහන් සාටකය” අපට පැලැන්දුවේ මේ රටේ ගිරිවාපත්තුවේ අවිහිංසාවාදී ජනතාව. මේ “දිව්‍ය පලඳනාව“ රැඳී තිබෙන තුරු, රාජපක්‍ෂවරු අයුක්තියට, අසාධාරණයට, භීෂණයට, හිංසනයට හිස නමන්නේ නැති බව දිව්රා පොරොන්දු වෙනවා’යි කියමින් තමා ගෙල රැඳි සාටකය දෝතට ගෙන ජනතාවට පෙන්වන විට “නැගූ හඬ” නාමල් රාජපක්‍ෂ මහතා බෙලිඅත්ත ආසනයට පත්වනවිටත් ජනතාවගේ දෙසවනින් ඉවත්වී නැතිසේය.

ජාතියේ සදා සලකුණත්, පරපුරක දේශපාලන ජයග්‍රහණයනුත් ඉතිහාසය තුළ රන් අකුරින් සටහන් කරන “කුරහන් සාටකය” අද හිමිව ඇත්තේ, ඒ පරපුරේ තුන්වන පරම්පරාවටය. නිරූපමා රාජපක්‍ෂ මැතිනිය “රුහුණේ සිංහයා” යි නම් ලද “ඩී. ඇම්” රාජපක්‍ෂ මහතාගේ “මිනිපිරිය” වන අතර, අද බෙලිඅත්ත ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගොස් සිටින නාමල් රාජපක්‍ෂ මහතා “ඩී. ඒ” රාජපක්‍ෂ මහතාගේ මුණුපුරාය.

එපමණක් නොවේ, මේවනවිට රාජපක්‍ෂ පරපුරේ දේශපාලන ක්‍රියාකාරකයින් දස දෙනෙක් “දේශපාලන බිමට” කැඳවාගෙන ඒමට ශක්තියක්, වාසනාවක්, ධෛර්යයක් ඇති බව පෙන්වමින් මේ අනභිභවනීය ‘කුරහන් සාටකය’ තැබූ වාර්තාව තව වසර සියයක් යනතුරුත් බිඳ දැමීමට කිසිවෙකුටත් හැකි නොවනු ඒකාන්තය. එය සමස්ත ජාතියේම සලකුණ වන්නේ අන්න එම නිසාය.

(මෙම ලිපියට කරුණු ගොනු කර ගැනීම සඳහා විශ්‍රාම ලත් විදුහල්පතිවරුන් වූ ගලගම විලියම් වන්නිආරච්චි, පණ්ඩිත බෙලිගල්ලේ අමරසේන, විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ පී. ජේ. රත්නායක සහ ඉහළ බෙලිගල්ලේ හෙට්ටිආරච්චි මහ රාළහාමි යන සමාජ ක්‍රියාකාරිකයින් සමඟ පැවැත්වූ සුහද හමු උපයෝගී වූ බව ගෞරවයෙන් සඳහන් කරමි)