දේශය අවදිකළ ජනතා ජනපති සුරකිමු

දේශය අවදිකළ ජනතා ජනපති සුරකිමු

දශක රැසක සිට සමස්ත ශ්‍රී ලංකාද්වීපයම අධම ලෙස පෙලූ කුරිරු ත්‍රස්තවාදය තිරලෙස දුරුකොට, මව්බිමේ සාමයේ හා සමෘද්ධියේ උත්තුංග අපේක්‍ෂාවන් මුදුන් පමුණුවාලූ දේශයේ අභීත යුග පුරුෂයාණන් වන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ ජනපති පදවි ප්‍රාප්තිය අභිමානවත් සවැනි වසර සමරනු වස් ලේක්හවුස් ආයතනය සිය ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය තුළින් ‘මනරංජන ජනරංජන’ නමින් විශේෂ අතිරේකයක් එළිදැක්වීම ඉතා සුවිශේෂී කාලෝචිත අගේකල යුතු ජාතික මෙහෙයක් ලෙස මම දකිමි.

හඬක් නොනැගුණු දකුණු දිළිඳු ගැමි ජනතාව වෙනුවෙන් එවකට පැවති අධිරාජ්‍යවාදී පාලකයන් හමුවේ හඬ නැගූ, රුහුණු සිංහයා යනුවෙන් විරුදාවලිලත් කීර්තිමත් ජනනායකයෙකු වූ දිවංගත ඩී. එම්. රාජපක්‍ෂ මැතිඳුන්ගේ අභීත දේශපාලන උරුමයත්, අනතුරුව එම මගගත් සිය ආදරණීය පියාණන් වූ දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ගේ ගෞරවණීය දේශපාලනයේ ආභාෂය, ආලෝකය හා ආශිර්වාදය තුළින් හැත්තෑව දශකයේ දී, සිය භද්‍ර යෞවනයේදීම මහින්ද රාජපක්‍ෂයන් පොදු ජන දේශපාලනයේ අත්පොත් තබන්නේ සිය පියාණන්ගේ දේශපාලන බල ප්‍රදේශය වන බෙලිඅත්ත ආසනයේ ජනතා නියෝජිතයා ලෙසය. 1970 දී පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා වන්නේ එතුමාය.

එදා මෙදාතුර වන මහින්ද රාජපක්‍ෂයන්ගේ දේශපාලන ගමන්මග ශ්‍රී ලාංකික වංශකථාවේ අතිශය විශිෂ්ටවූත්, විචිත්‍රවූත්, අද්වීතීය ආදර්ශමත් දේශපාලන පෙළරහකි.

අවස්ථා රැසකදීම අතිශය සාර්ථක අමාත්‍යවරයෙකු හා වරෙක වගකීමෙන් යුතු සටන්කාමී විපක්ෂ නායකයකු වශයෙන් මෙන්ම පසුකලෙක ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය ද හොබවමින් ලත් දේශපාලන පන්නරය තුළින් හා පරිචය තුළින්, ශ්‍රී ලාංකික ජනතාවගේ ඓතිහාසික තීරණාත්මක තීන්දුව තුළින් 2005 නොවැම්බර් 19 දා ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂයන් තේරීපත්වන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ සාමය, සමගිය හා සමෘද්ධිය පිළිබඳ වූ දහසක් වූ උත්තුංග ප්‍රාර්ථනයන් මල්ඵල ගන්වමිනි.

මහින්ද රාජපක්ෂයන්ගේ ජනපති පදවිප්‍රාප්තිය ශ්‍රී ලාංකික දේශපාලනයේ අහඹු සංසිද්ධියක් නොවේ. එතුමාගේ දේශපාලන දහමත් භාවිතයත් වූයේ අතිශය කැපවීමෙන්, හා ඉවසීමෙන් යුතුව විවිධ දුෂ්කරතා හා කෲර මර්දනයන් හමුවේ නොසැලී ජනතාවාදී දේශපාලනයේ යෙදීමත්, ප්‍රතිපත්තිමය දේශපාලනය වෙනුවෙන් වූ අචල විශ්වාසය හා බැඳීමක හා තම පියාණන් සම නිර්මාතෘත්වය දැරූ සිය දේශපාලන තක්ෂිලාව වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි වූ අපරිමිත භක්තිය හා කැපවීමත්ය.

මෙරට දේශපේ‍්‍රමී ජනතා ප්‍රවාහයට මහත් ආශ්වාදයක් ගෙනදුන්නාවූ, විවිධාංගීවූත්, පුළුල්වූත්, දේශපාලන, ආර්ථික හා සාමාජීය දර්ශනයක් සහිත වූ දේශයේ අනාගත සමෘද්ධියේ ක්‍රියාදාමය වූ මහින්ද චින්තනය තුළින් සපථ කලාවූ සියලු අධිෂ්ඨානයන් සියල්ලම පාහේ මේවනවිටත් සපුරා ඇත්තේ ලක්මව පමණක් නොව මුලු විශ්වයම විශ්මයට පත්කරවමින්ය.

වසර 30ක් මව්බිම පෙලූ රුදුරු ත්‍රස්තවාදය අවසන් කොට ප්‍රජාතන්ත්‍රවාදයේ නිම්වලලු පුලුල් කර ඇත. විවිධ ජාතීන් අතර සාමය, සමගිය, විශ්වාසය හා සංහිදියාව ස්ථාපනය කොට ඇත. දේශජ වූ දේශපාලන හා ව්‍යවස්ථාමය වෙනසක් සඳහා සාකච්ඡාමය විසඳුමක් කරා මේවනවිටත් යොමුවී ඇත.

සකලවිධ ජාතික හා ජාත්‍යන්තර එදිරිවාදිකම්, කුමන්ත්‍රණ හා තර්ජන හමුවේ ත්‍රස්තවාදී බෙදුම්වාදය අවසන් කිරීමෙන් පසු ගතවූ කෙටි කාලය තුළ ත්‍රස්තවාදී ග්‍රහණය නිසාවෙන් විනාශවූ නැඟෙනහිර හා උතුරු ප්‍රදේශ තුළ ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනය, සංවර්ධනය හා සිවිල් පාලනය යථාවත් කිරීම ආදීවූ අභියෝග රාශියක් ජයගැනීමේදී අතිගරු ජනාධිපතිතුමා ඉතා සාර්ථක වී ඇති බවට ජාත්‍යන්තරයේද පැසසුමට ලක්ව ඇත.

මිනීමරු ත්‍රස්තවාදය පරාජය කොට වසරක් ගෙවීමට මත්තෙන් නැඟෙනහිර පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පවත්වා ජනතාවට සිය ප්‍රාදේශීය පාලනය සඳහා මහජන නියෝජිතයන් පත්කර ගැනීමට අවස්ථාව සැලසීමෙන් එම පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට ඇත.

දරුවන් සමඟ ක්‍රීඩා කටයුතුවලට ඉඩක්...

මේ වනවිට උතුරු ප්‍රදේශයේද පළාත් පාලන ආයතන සැමකම පාහේ මැතිවරණ පවත්වා එම ප්‍රදේශයන්හිද ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් පරිපාලනය ස්ථාපිත කොට ඇත. මේ සියල්ල මහින්ද චින්තන දැක්මේ සුවිශේෂ ජයග්‍රහණයන් ය.

එපමණක් නොව ජනාධිපතිතුමාගේ සුවිශේෂී සංකල්පයක් මත දියත් කොට ඇති උතුරු වසන්තය හරහා විනාශවී ගිය එම පළාත්වල සංවර්ධනය හා සමෘද්ධිය වෙනුවෙන් අති දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයන් දියත්කොට ඇත.

එසේම සියලු ජාතීන්ට එකඟවිය හැකි විදේශ බලපෑම්වලින් තොර ශ්‍රී ලාංකික රාමුවක් තුළ වූ වඩා ප්‍රජාතාන්ත්‍රවාදී වූ ව්‍යවස්ථාමය සම්මුතියක් සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ අරඹා ඇති සාකච්ඡා විපුල ජයග්‍රහණය අත්කර ගෙන ඇත.

තිරසාර සාමය තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යන මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් මුලු දිවයිනම ආවරණය වන අයුරින් සුවිශාල සංවර්ධන ක්‍රියාදාමයන් රැසක් දියත් කර ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියේ සයවන වසර වන විට ශ්‍රී ලාංකික සැමගේ දිගුකාලීන සිහිනයක් වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සැබෑවක් බවට පත්ව ඇත. එසේම දිවයින වටා ස්ථාන හතරක තවත් එවැනිම වූ මහගු ව්‍යාපෘති අරඹා ඇත. දිවයිනේ ප්‍රධාන නගර රැසක් යාකොට තැනෙන අධිවේගී මාර්ග මේවන විට යථාර්තයක් බවට පත්වී ඇත. නොරොච්චෝලේ, කෙරවලපිටිය තාප බලාගාර හා ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාර ජාතික විදුලිබල පද්ධතියට දායකව ඇත. ලොව රුදුරුතම ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරීමෙන් ජාත්‍යන්තර කීර්තියට හා ගෞරවයට පත්ව අතිගරු ජනාධිපතිතුමා ජගත් දේශපාලන කරළියේද ප්‍රතාපවත් පෞරුෂයක් බවට පත්ව ඇත.

සහේදර දෙමළ ජනතාවට ලෙන්ගතුව...

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සභාපතීත්වය දරන සංවර්ධනය වන රටවල් 17ක එකතුවක් වන ජී-15 කණ්ඩායමේ 15 වන සමුළුව 2012 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. දකුණු ආසියානු සහයෝගීතාවයේ ශක්තිමත් නායකයකු වන අපගේ ජනාධිපතිතුමා 2008 කොළඹ පැවති 15 වන සාක් සමුළුවේදී එහි සභාපතීත්වයට පත්වන්නේ කලාපීය නායකයකු ලෙස බුහුමන් ලබමින්ය. ඉකුත්දා පැවති 22 වන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේදී ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් එයට සහභාගී වූ ජගත් රාජ්‍ය නායකයන්ගේ ඉහලම බුහුමණට ලක්විය.

ජනපති පදවි ප්‍රාප්තියේ සයවන කඩඉම පසුකරන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් විස්මිත වූ ජයග්‍රහණ මව්බිමට අත්කර දී ඇත. දේශමාමක ශ්‍රී ලාංකික අපි සැවොම ඒ ගැන උද්දාමවමු. අභිමානයට හා අමන්දානන්දයට පත්වමු.

එහෙත් මෙම විජයග්‍රහණයට උරණ වූ පිරිසක් ද ඇත. ඔවුහු ජාතිකව මෙන්ම ජාත්‍යාන්තරව ද සැරිසරති. ක්‍රියාත්මක වෙති. ජනාධිපතිතුමාගේ විජයග්‍රහණයට පෙරසිටම උරණ වූ මෙම පිරිස දැන් විවිධ වූ වෙස් ගෙන ඇත. එදා සැඟවී සිට එදිරිවාදිකම් කළ අය මෙදා එළිපිටම අවි අමෝරා ඇත. ඔවුන්ගේ උපක්‍රම හා භාවිතයන් වෙනස් වූ මුහුණු වරක් ගෙන ඇත. මෙම විදේශ බලවේග ආක්‍රමණය සඳහා යොදාගනු ලබන අවි ආයුධ චෝදනා හා අවලාද අපූරු ස්වරූපයක් ගෙන ඇත. එදා නැඟූ ජනවාර්ගික ගැටලු ඝෝෂාව අද පුස්සක් බවට පත්ව ඇත. දැන් එය යල්පැනගිය ආයුධයකි. ඔවුන්ගේ නවතම ආයුධය වන්නේ මානව හිමිකම් හා යුද අපරාධ චෝදනාය. මෙම අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණවලට එඩිතරව මුහුණ දීමට අපගේ ජනාධිපතිතුමාට හා රජයට අවැසි ශක්තිය, හෘද සාක්ෂිය හා ජනතා ආශිර්වාදය නොඅඩුව ඇත.

මෙම සකලවිධ තර්ජන ගර්ජන කුමන්ත්‍රණ හමුවේ සැබෑ ජාතික නිදහස දිනා ගැනීමේ අභියෝග සාක්ෂාත් කරගැනීම සඳහා අවැසි දැක්ම, දිරිය ජවය හා විශ්වාසය අතිගරු ජනාධිපතිතුමාට ඇත. එම ජාතික නිදහස් සටන විසින් ළඟාකර ගන්නා වූ ජයග්‍රහණ අර්ථවත් කර ගැනීම සඳහා ගෙනයන සමාජ ආර්ථික හා දේශපාලන විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් වූ දැවැන්ත ජාතික කාර්යභාරය ඉටුකිරීම සඳහා වඩ වඩාත් ලෙන්ගතුව හා සමගි සම්පන්නව හා එකම ශ්‍රී ලාංකික ප්‍රවාහයක් ලෙස අතිගරු ජනාධිපතිතුමා වටා රොදබැඳගනිමින් එතුමාට යෝධ ශක්තියක් වීම අප සැමගේ යුගයේ ජාතික අවශ්‍යතාවය හා යුතුකමයි.

සුභ අනාගතයක් වේවා!