අයවැය අභියෝගය නිලධාරිවාදය වෙලා

අයවැය අභියෝගය නිලධාරිවාදය වෙලා

නිදහසින් පස්සේ අපේ ඉතිහාසයේ ලැබිය යුතු ඉහළම ආර්ථික ජයග්‍රහණයන් කිහිපයක් සමඟ මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් වුණා. මේ රටේ ඉහළම ආර්ථික වර්ධනය වාර්තා කරන්නේ පසුගිය වසරේ හා මේ වසරේ. (2010 – 2011) එය 8%ක් ඉක්ම වූ වර්ධනයක්. අප 2005ට පෙර 1948 දක්වා අපට දක්නට ලැබුණේ සාමාන්‍යයෙන් 5%ට අඩු වර්ධනයක්. අතර මඟ සමහර වර්ෂවල අතරින් පතර ආර්ථික වර්ධනය 6%ක් ලෙස සටහන් වී තිබුණා. එහෙත් 2006 න් පස්සේ වසර 3ක් නොකඩවා 6%ක ආර්ථික වර්ධනයක් වාර්තා කළා. පසුගිය වසරේ සිට එය 8%ක් දක්වා වර්ධනය වුණා. මෙය කැපී පෙනෙන සුවිශේෂී ජයග්‍රහණයක්. එසේ ම අය වැය පරතරය අඩු කර ගැනීමේ පැත්තෙන් වාර්තාගත අඩුම අය වැය පරතරය ළඟාකර ගෙන තිබෙන්නේ මේ වසරේ. එනම් 6.5%ක් දක්වා අයවැය පරතරය කුඩා කර ගැනීමයි. මේ සමඟ ම විරැකියාවේ අනුපාතය, උද්ධමන වේගය මෙතරම් නැත්නම් 5%ක් දක්වා අඩු වූ වකවානුවක් ද දක්නට ලැබෙන්නේ නැහැ. උද්ධමනය 5%ක් දක්වා අඩු වන්නේ මේ ආණ්ඩුව යටතේ ම එය 23%ක් ලෙස වාර්තා වීමෙන් පසුවයි.

එසේ ම බැංකු පොළී අනුපාතය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකි වීමත් ආර්ථික ක්‍ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක්. සාමාන්‍යයෙන් බැංකු පොළී අනුපාතය ද මීට පෙර වසරවලදී දක්නට ලැබුණේ 22%, 24%ක් ලෙස. එය ක්‍රමක්‍රමයෙන් අඩු වී තනි ඉලක්කමකට අඩු කර ගැනීමට පසුගිය වසරවල හැකි වුණා. එය මේ වසරේ ද තහවුරු වී තිබෙනවා. දුප්පත්කම් අනුපාතය ද 5.5%කට අඩු වීම තවත් අමතක කළ නොහැකි ජයග්‍රහණයක්. 2005 වන විට මෙය පැවතියේ 23%ක් තරම් ඉහළ මට්ටමක. පසුගිය වසරවල ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය අනුගමනය කළ සුබ සාධන හා සහනාධාර වැඩ සටහන් ද දුප්පත්කමේ අනුපාතය මෙතරම් අඩු මට්ටමකින් වාර්තා වීමට හේතු වී තිබෙනවා.

මෙම ආර්ථික කාරණා හා නිර්ණායකයන් සාර්ක් රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා. ආර්ථික ක්‍ෂේත්‍රයේ රට අත්පත් කරගෙන තිබෙන මේ ජයග්‍රහණ සාමාන්‍ය පොදු ජනතාව තෝරා බේරා ගන්නේ කෙසේ ද යන්න සලකා බැලීම වැදගත්. ඔවුනට එය තේරෙන්නේ බඩු මිල වැඩි වීමේ වේගය පාලනය වීමෙන්. ස්වයං රැකියාවක් සඳහා ණය මුදලක් ගැනීමේ දී ඊට අදාළ පොලිය අඩුවීමෙන්. පොහොර සහනාධාරය නිසා සහල් මිල අඩු වීමෙන්. දිවි නැඟුම වැනි ව්‍යාපෘති නිසා එළවළු වෙළෙඳාමේ මිලේ වෙනස් කම් ඇති වීමෙන්. පවුලක රැකියා කරන ප්‍රමාණය වැඩිවීමෙන්. යතුරු පැදි, පාපැදි, ත්‍රීවිලර් අලෙවියේ වර්ධනයෙන්. නවීන ගෘහ උපකරණ ලබා ගැනීමට තිබෙන ශක්තිය වැඩි වීමෙන්, වන්දනා ගමන් හා විනෝද චාරිකා සඳහා වැඩි නැඹුරුවක් දැක්වීමෙන්. කෙටියෙන් සඳහන් කරන්නේ නම් ජන ජීවිතය පවත්වා ගෙන යෑමට ඇති වන පීඩනයේ යම් අඩු වීමක් දක්නට ලැබීමෙන්.

මෙවර අයවැය පොදු ජන ජීවිතය තුළ දක්නට ලැබෙන එම සාධනීය වර්ධනය තවදුරටත් තහවුරු කළා. වැදගත් වන්නේ එයයි. එසේ ම අය වැය මඟින් පොදුවේ ජනතාවට පිරිනමන සහනාධාර පැකේජයේ වටිනාකම බිලියන 236ක් (කෝටි 23600ක්) එය ගියවරට වඩා බිලියන 29ක වැඩි වීමක්. වෙන විදියකින් සඳහන් කරන්නේ නම් ආණ්ඩුව අයවැය පරතරය පියවා ගැනීමට තිබෙන රු. බිලියන 236ක් සහනාධාර වශයෙන් වැය කරනවා.

එය සිදු කරන්නේ නොමිලේ සැපයෙන සෞඛ්‍ය හා අධ්‍යාපනයට අමතරවය. අධ්‍යාපනය සඳහා පමණක් රජය මෙවර රු. බිලියන 95ක් වැය කරනවා. මෙය අධ්‍යාපන සඳහා රජයක් දරන ලොකුම වියදම ලෙසයි වාර්තා වෙන්නේ. වෙනත් රටවල් මේ දෙකටම මුදල් අය කරනවා. සමහර රටවල් ප්‍රාථමික අධ්‍යාපන නොමිලේ සැපයුවද උසස් අධ්‍යාපනය නම් නොමිලේ දෙන්නේ ම නැහැ. අසල්වැසි ඉන්දියාව හා චීනය මීට හොඳ ම උදාහරණයක්. ඒ අනුව විවරණයක යෙදෙන්නේ නම් රජය ජනතාව වෙනුවෙන් සැපයෙන සහන පැකේජය ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව වුවද අති විශාලයි. අඩු උද්ධමනය, අඩු අය වැය පරතරය හා අඩු දුප්පත්කමේ වේගයක් සමඟ වැඩි ආර්ථික වර්ධනයක් වාර්තා කරන්නේ මෙවන් පසුබිමකය.

යුද ජයග්‍රහණය, හා ආණ්ඩුවේ ආර්ථික කළමණාකරනය මීට හේතු වී තිබෙන බව පැහැදිලියි. මේ ජයග්‍රහණයන්ට අමතරව කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවතින්නේ නම් මීට වඩා ජයග්‍රහණය ජනතාවට අත්පත් කර දීමේ හැකියාව ද දක්නට ලැබෙනවා. සමහර තැනක ක්‍රියාත්මක වන අකාර්යක්ෂම රාජ්‍ය සේවාවන් නිසා වර්ෂයක් ඇතුළත අයවැය යෝජනා ක්‍රියාත්මක කර අවසන් කිරීමේ ප්‍රශ්න මතු වෙනවා.

අයවැයේ සාර්ථකත්වයේ සතුරු බලවේග ලෙස අද ක්‍රියාත්මක වන්නේ විපක්ෂය නොවෙයි. සමහර තැනක සිදු වන අකාර්යක්ෂම රාජ්‍ය සේවාවන් බවයි පෙනෙන්නේ. මේ නිසා අය වැය මඟින් සැලසෙන වාසි ජන ජීවිතයට ළඟා කර ගැනීම වේගවත් කළ යුතු වෙනවා. ‘දිවිනැගුම’ හා ‘දැයට කිරුළ’ වැඩසටහන් ඊට විකල්ප විසඳුම් ලෙස දැක්විය හැකියි. අයවැය මඟින් ගෙවනු ලබන උද්ධමනය අඩු කිරීමේ යෝජනා සාර්ථක කර ගැනීමට ‘දිවිනැඟුම’ හොඳ විකල්පයක්.

මේ වන විට රටේ ආර්ථික ගමන් මඟ පැහැදිලියි. ඒ වෙනුවෙන් එය ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ඉදිරියට ගෙනයාමට හේතු වී තිබෙනවා. ඊට අදාළ ආර්ථික සංවර්ධන වේගය වාර්තා කිරීමේ දී තුන්වැනි ලෝකයේ වෙනත් රටවලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පැහැදිලියි. විවිධ ජාත්‍යන්තර දර්ශක මඟින් ද දක්නට ලැබෙන්නේ පසුගිය වසරවලට වඩා ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ඉදිරියට ගමන් කිරීමක්.

මීට අදාළව අවශේෂ ආර්ථික ජයග්‍රහණ ළඟා කර ගෙන තිබෙන බව අපට මධ්‍යස්ථව අයවැයේ මූලික සටහන් පරීක්ෂා කරන කෙනෙකුට පැහැදිලි වෙනවා. මීට එරෙහිව විපක්ෂය නඟන්නේ සාම්ප්‍රදායික විරෝධයක්. එය විරුද්ධ වෙන්නන් වාලේ විරුද්ධ වීමක් වගෙයි.

අද මුළු ලෝකයම ගමන් කරන්නේ එකම ආර්ථික ගමනක වගෙයි පෙනෙන්නේ. ඒ ගමනේ දී සම්ප්‍රදායිකව කල්පනා කිරීමෙන් තොරව ජනතාවට වැඩි සහනයක් සැලසෙන පරිදි ශ්‍රී ලංකාව තම ගමන් මඟ සකසා ගෙන තිබෙන බවයි මෙවර අයවැය මඟින්ද සනාථ වෙන්නේ.

ඊට අමතරව අයවැය මඟින් අමතක කරන ලද කොටසක් නැහැ වගෙයි. සෑම ක්‍ෂේත්‍රයක් මෙන් ම ඒවායේ රැකියාවල හා ස්වයං රැකියාවල නියුතු සෑම කොටසකටම වාගේ යම් යම් සහනයක් ලබා දීමට කල්පනා කර තිබෙන බවක් දක්නට ලැබෙනවා. කෙටියෙන් සඳහන් කරන්නේ නම් විශ්‍රාමිකයාගේ සිට හැම කෙනෙක් ගැන ම අවධානයක් යොමු කර තිබෙනවා. එය වැදගත්.

මේ නිසා ලෝකයේ ගමන් කරනු ලබන පොදු විවෘත ආර්ථික ගමන් මගේ පොදු ජනතා සුභ සාදන හා වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් යුතු ව කටයුතු කිරීමට වත්මන් රජය සමත් වෙලා. අවශ්‍ය වන්නේ ඊළඟ අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම එම යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමයි. එය අභියෝගයක්. ඊට ක්‍ෂෙත්‍ර රාජ්‍ය සේවා යන්ත්‍රයක් හා දේ්ශපාලන වශයෙන් පසු විපරමක් අවශ්‍යයි.

අය වැය සකස් කිරීමේ දී විවිධ අමාත්‍ය හා පාර්ශ්වයන් සහභාගි කර ගන්නා සේ ම මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද සුවිශේෂි ප්‍රගති සමාලෝචන සාකච්ඡා කාර්තුවෙන් කාර්තුවට පැවැත් විය හැකි නම් අය වැයේ ප්‍රතිලාභ ලබන වසරේදී 2011 වසරටත් වඩා ජනතාවට ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඊට සාපේක්ෂව මේ අය වැය වඩාත් ජනතාව හා බද්ධ වූ ජනතාවාදී අයවැයක් කර ගැනීමේ හැකියාව ද පවතිනවා. එය තවත් සුවිශේෂි ජයග්‍රහණයක් වේවි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා