මුද්‍රණය සඳහා

 
මොරටුවේ සුවිසල් නිවෙසකින් බිලිඳුන් 75ක් හමුවේ

මොරටුවේ සුවිසල් නිවෙසකින් බිලිඳුන් 75ක් හමුවේ

ළමා ආරක්ෂක අධිකාරියෙන් හදිසි පරීක්ෂාවක්

ගැබ්ගත් කාන්තාවෝ විස්සක්

විදේශීය කාන්තාවකගෙන් ප්‍රශ්න කරයි

ගැබිනි මාතාවන් සහ දරුවන්ට රැකවරණය ලබා දෙන බව කියන මොරටුව රාවතාවත්තේ පිහිටි මධ්‍යස්ථානයක් ඊයේ (23) ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පරීක්‍ෂාවට ලක්විය. ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනියට 1929 ළමා උපකාරක දුරකතන සේවාව ඔස්සේ ලැබුණු තොරතුරක් අනුව එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සහ අධිකාරියේ පොලිස් කණ්ඩායමක් මෙම ස්ථානය ඊයේ දහවල් පරීක්‍ෂා කැර ඇත.

මෙම ස්ථානය පරීක්‍ෂා කිරීමේදී එහි ළමයින් 75කට අධික පිරිසක් සිට ඇත.

පරිවාස සහ ළමා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ඊට භාර දුන් ළමයින් 29ක්ද, එම මධ්‍යස්ථානයේ පොත්පත්වල තොරතුරු ලේඛනගත වූ ළමයින් 16ක් ද ඊට අයත්ය.

ඊට අමතරව අදාළ මධ්‍යස්ථානයේ කිසිම ලේඛනයක වාර්තා සඳහන් නොවූ ළමයින් තිස් දෙනෙකු මේ මධ්‍යස්ථානයේ සිටි බව ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ නිලධරයෝ නිරීක්‍ෂණය කළහ.

ගැබ්ගත් කතුන් 20 දෙනෙකු පමණද මෙහි සිට ඇත. අලුත උපන් දරුවන් දොළොස් දෙනෙකු සමඟ මවුවරු ද එහි සිටි බව ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ නිලධරයකු සඳහන් කෙළේය.

වැටලීම සිදුකළ අවස්ථාවේදී මෙම මධ්‍යස්ථානයට විදේශීය කාන්තාවක් පැමිණ සිටි බව ළමාරක්‍ෂක අධිකාරියේ නිලධරයෝ පවසති. මේ කත මෙහි සිටි තල්ලේ ආබාධයක් සහිත දරුවකු ඉන් පිටතට ගෙන යෑම සඳහා මේ මධ්‍යස්ථානයට පැමිණ සිටියේද යන්න සෙවීම සඳහා පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කැර ඇත.

මව්වරුන් ද එහි වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය කියයි. මෙහි සිටින අනවශ්‍ය ලෙස ගැබ්ගත් කාන්තාවන් දරුවන් ප්‍රසූත කළ පසු එම දරුවන් මේ මධ්‍යස්ථානයේ දමා යන බවත් ඉන් පසු හොර රහසේ එම දරුවන් විදේශිකයන්ට මෙන්ම මෙරට පුද්ගලයන්ටද විකුණන බව මේ පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේදීද විදේශික දෙදරු මවක් මේ මධ්‍යස්ථානයෙන් බිලිඳකු මුදලට ගැනීමට පැමිණ සිටි අතර එසේ ගෙන යාමට තැත් කළ බිළිඳා තල්ලේ ආබාධයක් ඇති දරුවකු වීම එම ගනුදෙනුව පිළිබඳව සැක උපදවන බවද විමර්ශන ඒකකය සඳහන් කරයි.

ජාතික ළමා අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ප්‍රමාණවත් ඬලධාරීන් නොමැති වීම නිසා ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට මොරටුව පොලිසියේ සහාය ලබා ගැනීම සිදු කළ බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]