ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දින හතරක් ඇතුළත කෝටිපතියන් පස්දෙනෙක්

ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දින හතරක් ඇතුළත කෝටිපතියන් පස්දෙනෙක්

දින හතරක් ඇතුළත කෝටිපතියන් පස් දෙනෙකු බිහි කරමින් ජාතික ලොතරැයි මණ්ඩලය ඉතිහාසය ගත වාර්තාවක් තබා තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසය තුළ මේ සිද්ධිය වී ඇත. එහිදී ත්‍යාගලාභීන්ට ලබා දී ඇති මුදලේ වටිනාකම කෝටි දහය ඉක්මවයි. ජාතික ලොතරැයි මණ්ඩලය 2011 වසරේ ජනවාරි සිට නොවැම්බර් 5 දක්වා දිනුම් අදිනු ලැබූ ලොතරැයි තුළින් බිහි කරන ලද කෝටිපතියන් ප්‍රමාණය විසි එක්දෙනෙකි. මේ කෝටිපතියන්ට අමතරව රුපියල් විසිලක්ෂයේ ප්‍රථම ත්‍යාගලාභින් එකසිය අනු එකකි. දස ලක්ෂයේ ත්‍යාග ලාභීන් එකසිය අසූ එකකි. ඔවුන්ට අමතරව රුපියල් විස්සේ සිට ලක්ෂය දක්වා වූ ත්‍යාග ලාභීන් ප්‍රමාණය මිලියන හැත්තැතුනකට අධිකය. පිරිනැමු ත්‍යාග මුදල රුපියල් මිලියන හාරදහසකට අධිකය.

මේ කාලය තුළ පමණක් ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධනය සඳහා මහ භාණ්ඩාගාරයට ලබා දී ඇති මුදල රුපියල් මිලියන එක්දාස් එකසීයකට අධිකය.

2009 දී බිලියන 8.51 ක් වූ ආදායම 2010 දී බිලියන 8.8 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වසර අවසානයේ එය බිලියන දහය ඉක්මවමින් පවතී. දින හතරක් තුළ කෝටිපතියන් බිහි කිරීමට අමතරව නිව් එයාර් පෝට් ලොතරැයියෙන් ජයගත් ජයග්‍රාහකයන් පස් දෙනෙකුට මෝටර් රථ දෙකක්ද රූපවාහිනි යන්ත්‍රද ලබා දී තිබේ. තවද වාසනා සම්පත තුළින් බැංකොක් සවාරි දිනාගත් අයට ගුවන් ටිකට්පත්ද පිරිනැමේ.

මේ සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය කරුණු දැක්වීම සඳහා සහ ත්‍යාග පිරිනැමීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (23) කොල්ලුපිටියේදී පවත්වනු ලැබිණි. එම සාකච්ඡාව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති චමින්ද අතුලුවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ්පැවැති අතර ක්‍රියාකාරි අධ්‍යක්‍ෂක ජානක ශ්‍රී වර්ණසිංහ අධ්‍යක්‍ෂකවරුන් වන රවී අබේවර්ධන, සම්පත් දිසානායක සමන් ගලප්පත්ති සාමාන්‍යාධිකාරි එම්. එස්. කරුණාරත්න සහ ප්‍රධාන මුල්‍ය නිලධාරි හර්ෂ බණ්ඩාර යන මහත්වරුද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා