ඩී. ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනය අද අරලියගහ මැදුරේදී

ඩී. ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනය අද අරලියගහ මැදුරේදී

කෘතහස්ත දේශපාලනඥයකු වූ දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතා පිළිබඳ විශේෂ ගුණානුස්මරණ දේශනය අරලියගහ මන්දිරයේ දී අද (24) සවස පැවැත්වේ.

‘ශ්‍රී ලංකාව යුරෝපා ආසියා වාණිජ කේන්ද්‍රයේ සිට ජගත් සමාජ දේශපාලනික කරළියට’ තේමාව ඔස්සේ මෙවර දේශනය පවත්වනු ලබන්නේ ප්‍රංශයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති අන්තර්ජාතික බෞද්ධ ඇකඩමියේ අධ්‍යක්ෂ කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ බුද්ධාගම හින්දු ආගම සහ සාම අධ්‍යයනයේ අනුබද්ධ මහාචාර්ය ආනන්ද ඩබ්.පී. ගුරුගේ මහතා විසිනි.

ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 48 වැනි ගුණසමරුවට සමගාමීව පැවැත්වෙන මේ උත්සවයේ මුලසුන අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත නාහිමියෝ උසුලති. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනම මෙය සංවිධාන කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු රාජපක්ෂ පවුලේ ඥාතීහූ සහ මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වෙති.

මෙවර ගුණසමරු දේශනයේ ඇරැයුම්පත් තැපැල් වර්ජනය නිසා නොලැබී යා හැකි බැවින් පසුගිය වසරේ දේශනයට පැමිණි සියලු දෙනාට ඊට සහභාගි වන ලෙස සංවිධායක කමිටුව ආරාධනා කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා