කාබයිට් පලතුරු කන්න නම් එපා!

කාබයිට් පලතුරු කන්න නම් එපා!

කාබයිට් යෙදූ පළතුරුවල පිලිකා කාරක වර්ධනය වන බව පර්යේෂණ මඟින් සොයා ගෙන තිබේ.

මෙම රසායනික ද්‍රව්‍ය සහිත පළතුරු ආහාරයට ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට බරපතළ හානි සිදු විය හැකි බවටද අනාවරණය කෙරේ.

කාබයිට් යෙදූ පළතුරු අලෙවිය නවතා දැමීමට අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් සකස් කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මුදල් සෙවීමේ පරමාර්ථයෙන් කෙරෙන ලාබ වැඩවලට රජය කිසිම විටෙක අනුමැතිය නොදෙන බව ද අබේවර්ධන මහතා අවධාරණය කරයි.

ඒ අනුව අන්නාසිවල මල් පීදීම උත්තේජනය කිරීමට භාවිත කරන එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය උපයෝගී කොට ගෙන සෞඛ්‍යයට හිතකර ලෙස පළතුරු ඉදවා ගැනීමට හැකි බවත් කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව කියයි.

කෙසෙල් ඇතුලු පළතුරු වර්ග රැසක් පිටපලාත්වල සිට කොළඹට ගෙන එන අතර මඟදී වාහනය නවතා ඒවාට කාබයිට් ගසන බවට තොරතුරු ලැබී තිබෙන බවත් මේ නිසා එම පළතුරු කොළඹට එන විට කහ පාටට පෙනෙන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

වෙළෙඳුන් මුල්‍යමය වටිනාකම පමණක් සළකා කටයුතු කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් මෙම විනාශයෙන් ජනතාව බේරා ගැනීම සඳහා පාරිභෝගිකයාත් වෙළෙන්දාත් ආරක්ෂා වන ක්‍රමයකට යා යුතු බවත් ඇමැතිවරයා පවසයි.

එවැනි විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස අබේවර්ධන මහතා ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාවට උපදෙස් දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා