බන්ධනාගාරයෙන් පැන ගිය අයෙක් ඉංගිරියෙන් අත්අඩංගුවට ගනී

බන්ධනාගාරයෙන් පැන ගිය අයෙක් ඉංගිරියෙන් අත්අඩංගුවට ගනී

මීට වසර එකහමාරකට පමණ පෙර රක්ෂිත බන්ධනාගාරයෙන් පැන ගිය සැකකරුවකු පෙරේදා (22) ඉංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කළුතර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇත. අනතුරුව රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සැකකරු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මොහු බන්ධනාගාර නිලධාරින්ගේ ඇස් වසා රෝහලින් පැන ගොස් ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුව ඊයේ 23 දා හොරණ අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව දෙසැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඉංගිරිය හඳපාන්ගොඩ පදිංචි හේවා පතිරගේ සුජීව සමන් කුමාර නැමැත්තෙකි.

සැකකරු අධිකරණයේ විත්ති කූඩුවේ සිට අධිකරණය හමුවේ පැවසුවේ තමන්ට බන්ධනාගාරයේදී නොයෙක් හිරිහැරවලට මුහුණපාන්නට සිදුවූ බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවත් පැවැසීය.

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඉංගිරිය පොලිසියට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ සැකකරු බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසයි.

ඒ සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාරයටද නියෝග කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා