ඊජිප්තුවේ නොසන්සුන්කාරී බව මැඬීමට ජනමත විචාරණයකට යන ලකුණු

ඊජිප්තුවේ නොසන්සුන්කාරී බව මැඬීමට ජනමත විචාරණයකට යන ලකුණු

ජූනි මාසය අගදී ඊජිප්තු ජනාධිපතිවරණය පවත්වන බව එරට හමුදා පාලකයා පෙරේදා ප්‍රකාශ කළ අතර දින ගණනාවක් තිස්සේ පවත්නා හමුදා පාලන විරෝධී උද්ඝෝෂණ නිසා මතුව ඇති නොසන්සුන්කාරී වාතාවරණය සමනය කරනු වස් පාලන බලය වහා පැවරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කර තිබේ.

ඉකුත් පෙබරවාරියේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහවීමෙන් පසු ඊජිප්තු පාලකයා ලෙස පත් ෆීල්ඩ් මාෂල් හුසේන් ටැන්ටාවි රූපවාහිනියෙන් ජනතාව අමතමින් කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම පිළිගත් බවත් නියමිත පරිදි ඊළඟ සතියේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් කියා සිටියේය.

ඒ සමඟම පාලක සන්නද්ධ බළකායේ උත්තරීතර මණ්ඩලයට දිගටම බලයේ සිටීමේ අපේක්ෂාවක් නැති බවත් මහජනතාවගේ අභිප්‍රාය පරිදි අවශ්‍ය නම් ජනමත විචාරණයක් මගින් වහාම බලය පැවරීමට සූදානම් බවත් ඔහු කීවේය.

අගමැති එසාම් ෂරාෆ් ගේ කැබිනට්ටුවේ ඉල්ලා අස්වීම පිළිගන්නා අතර නව රජයක් ගොඩ නඟන තුරු දිගටම වැඩ කරන ලෙස ඔවුන් ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව බලය පැවරීමේ ක්‍රියාවලිය මෙහෙයවීමට උත්තරීතර මණ්ඩලයට සහාය විය හැකි බවත් ඔහු වැඩිදුරටත් කීය.

තවද පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි මේ මස 28 වැනිදා පවත්වන බව හා ජනාධිපතිවරණය 2012 ජූනි මස අවසානයේ පවත්වන බව ඔහු කියා සිටියේය.

ඔහුගේ මෙම ප්‍රකාශය දැනට දින කීපයක් තිස්සේ විරෝධතාවන්හි නියැලි ජනතාව හෙළාදැක ඇත්තේ ටැන්ටාවි කිසිසේත් විශ්වාස කළ නොහැක්කෙකු බවත් මාස ගණනාවක් තිස්සේ කිසිත් නොකළ හමුදා පාලනයේ නායකයා වන ඔහු හමුදා නිල ඇඳුමෙන් සැරසුණු හොස්නි මුබාරක් කෙනෙකුම බවත් පවසමිනි.

මේ විරොධතාකරුවන්ගේ උද්ඝොෂණ ඊයේත් පැවති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ හමුදා පාලනය වහා ජනතා පාලනයක් බවට පත්කළ යුතු බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා