සරසවියේ හෙනහුරා !

සරසවියේ හෙනහුරා !

සස් අධ්‍යාපනය කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබාගැනීම ශ්‍රී ලාංකේය සමාජයේ සිරිත ය. එය පන්ති විෂමතාවට එරෙහි ආයුධයක් ලෙස භාවිතා වේ. කුල භේදයට එරෙහි උපාය මාර්ගයක් ලෙස ද භාවිතා වේ. ව්‍යාපාර නැති, බූදල් නැති අහිංසක ගොවි – කම්කරු ජනතාව සිය පුත්‍රයාට හෝ දියණියට හෝ අධ්‍යාපනය ලබා දෙන්නේ ඔහුට – ඇයට බුද්ධිය ලබාදීමට මෙන් ම තම සමාජ තත්ත්වය ආරක්ෂා කර ගැනීමටත් එක්ක ය. එහි වරදක් නැත. ඊට විවේචනයක්ද නැත. ඈත පිටිසර ගම්බද පළාත්වල දුප්පත් ගැමියෝ තම කුඹුර – ඉඩම මුදලාලිට උගස් කොට දරුවා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරති. එහි තේරුමක් තිබේ. එක අතකින් දරුවා යහපත් දියුණු පුද්ගලයකු වනු ඇත. අනෙක් අතින් දරුවා සිය පවුල ගොඩගනු ඇත.

එහෙත් දැන් මේ සියල්ල සිහිනයක් බවට පත්වන තැනට කටයුතු සිදුවී තිබේ. විශ්වවිද්‍යාල වසරෙන් වැඩි කාලයක් වසා දමයි. ශිෂ්‍යයෝ නිතිපතා පාරට බසිති. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය නියෝජනය කරන ප්‍රධාන ආයතනය විශ්වවිද්‍යාල පද්ධතිය යි. එම පද්ධතිය තුළ යළිත් ව්‍යාකූල තත්ත්වයක් ගොඩ නැඟී තිබේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලු පීඨ වසා දැමිණි. රජරට විශ්වවිද්‍යාලයේ සියලු පීඨ වසා දැමිණි. සෑම සරසවියක් වෙතින් ම නැඟී එන්නේ උණුසුම් පුවත් ය. ගිනියම් ප්‍රතිචාර ය. මහජනයාගේ වියදමින් විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ කුමක් සඳහා ද? ඉතා සරල අදහසකින් ඊට පිළිතුරු දිය හැකි ය. එනම්; රටට අවශ්‍ය උගතුන් හා ප්‍රාඥයන් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවත්වාගෙන යන බව ය. එය ශ්‍රී ලංකාව පමණක් නො ව ලෝකයේ දියුණු යැයි සම්මත සෑම රාජ්‍යයක් විසින් ම කරගෙන යනු ලබන රාජකාරියෙකි. යුතුකමෙකි. වගකීමෙකි.

අධ්‍යාපනය යනු අනාගත ආයෝජනයක් යැයි කතාවක් තිබේ. එය සත්‍යයෙකි. අනාගතය තීන්දු කරන ප්‍රධාන සාධකය ලෙස අධ්‍යාපනය සැලැකිය හැකි ය. මැලේසියාවේ අධ්‍යාපනය ඉතා දියුණු ය. ඒ රටේ ආර්ථිකය ද දියුණු ය. ඉන්දියාව, ජපානය, චීනය, ජර්මනිය ගත්ත ද මේ යථාර්ථය පැහැදිලි වනු ඇත. ශ්‍රී ලංකාව ද අධ්‍යාපනයේ මට්ටම අතින් ඉහත කී දියුණු රාජ්‍යයනට සම මට්ටමක පවතී. ඒ සමඟ ම අපගේ අධ්‍යාපනය තුළ ගැටලු සහගත තත්ත්වයන් ද පවතී. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය දෙස නැවත හැරී බැලුවහොත් ඊට හෙනහුරාගේ ඇල්ම – බැල්ම වැටුණේ 1970 ගණන්වල සිට ය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට බලපාන ප්‍රධාන හෙනහුරා ජනතා විමුක්ති පෙරමුණ ය. විශ්වවිද්‍යාල වසා දැමීමට, අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට, ශිෂ්‍ය ගැටුම් ඇති කිරීමට, ආචාර්යවරුනට පහරදීමට බලපෑ ප්‍රධාන සාධකය ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය යි. එම දේශපාලනය නිසා 1971 දී ද, 1988 දී ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දහස් ගණනක් වළ පල්ලට ගියහ.

වත්මන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය දෙස බලමු. රටට වැදගත් පර්යේෂණයක්, සමීක්ෂණයක්, අලුත් න්‍යායක් ඉදිරිපත් කළ විශ්වවිද්‍යාලයක් තිබේ ද? නැත. රටේ සංවර්ධනයට අදාළ අලුත් මතවාදයක්, ප්‍රවාදයක් බිහිකළ විශ්වවිද්‍යාලයක් තිබේ ද නැත. එසේ නම්; මහජන මුදල් කාබාසිනියා කරමින් විශ්වවිද්‍යාල තුළ සිදුවන්නේ කුමක් ද? පෙළපාළි පැවැත්වීම, උද්ඝෝෂණ කිරීම, පන්ති වර්ජනය කිරීම හා පෝස්ටර් ගැසීම පමණක් විශ්වවිද්‍යාලයට ප්‍රමාණවත් ද? විශ්වවිද්‍යාලයක මුලික පරමාර්ථය කුමක් ද? රටට අවශ්‍ය උගතුන්, ප්‍රාඥයන් බිහි කිරීම ය. තව අතෙකින් එහි කාර්යභාරය වන්නේ තරුණ පරපුරට ඉගෙනීමට පසුබිම සකස් කිරීම හා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැපයීමය. ඉගෙනීම කරනු ලබන්නේ සරසවි ශිෂ්‍යයා ය. මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නේ කථිකාචාර්යවරයා ය. මේ දෙපිරිස ම එක්වී උසස් අධ්‍යාපනය නව මාවතකට ගෙන යමින් එයින් රටට ආලෝකයක් ලබාදිය යුතු ය. දැන් සිදුවන්නේ ඊට හාත්පසින් ම වෙනස් කටයුත්තකි.

විශ්වවිද්‍යාල වසා දැමීමට සිදුවන්නේ ඇයි? ඊට දිය හැකි කෙටි පිළිතුර වන්නේ ජ.වි.පෙ. දේශපාලනය විසින් ඇති කරනු ලබන කලහකාරී තත්ත්වයන් නිසා මේ ආයතන වසා දැමීමට සිදුවන බව ය. ජනතා විමුක්ති පෙරමුණෙහි පරණ කල්ලිය වේවා; අලුත් කල්ලිය වේවා ඔවුන්ගේ ප්‍රධාන අදහසක් වන්නේ ධනපති අධ්‍යාපන ක්‍රමය ප්‍රතික්ෂේප කළ යුතු බව ය. ධනපති අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීමෙන් කිසිදු දියුණු විද්‍යාවක් ඉගෙනීමට නො හැකි වනු ඇත. මේ මෝඩ අදහස පිළිපැදීමෙන් හා විශ්වාස කිරීමෙන් සිදුවන්නේ අතිශය අඥාන තරුණ සමාජයක් බිහිවීම ය. දැන් අපේ සමාජය තීරණයක් ගත යුතු අවස්ථාවට පැමිණ සිටී. එක අතකින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැනත් තරුණ පරම්පරාවේ අනාගතය ගැනත් කල්පනා කළ යුතු ය. අනෙක් අතින් තම පවුල, තම දරුවා සහ කුටුම්භය ගැනත් කල්පනා කළ යුතුය. ශ්‍රී ලංකාව අලුත් ආස්ථානයකට පැමිණ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට අවස්ථාව පැමිණ තිබිය දී එය ආපස්සට අදින කඩාකප්පල්කාරීනට දිය යුතු දඬුවම කුමක් ද?

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා