ලියන දේ නොතේරේ නම් පාඨකයා පොත පොළොවේ ගසාවි

ලියන දේ නොතේරේ නම් පාඨකයා පොත පොළොවේ ගසාවි

ප්‍රවීණ පරිවර්තක සේනාරත්න වීරසිංහ

පි‍්‍රකානු මායා යථාර්ථවාදී රීතිය (Magical Realism) ගුරු කොට ගෙන අමෝස් ටුටූලා නැමැති ලේඛකයා විසින් ලියන ලද ‘සුරා ලෝලයාගේ විපරිත අපදානය’ නම් නවකතාව ශ්‍රී ලාංකේය පාඨකයාට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ පරිවර්තන රචක සේනාරත්න වීරසිංහයන්ටය. ඔහු නවකතා මෙන්ම කෙටි කතා, තිරනාටක, ළමා සාහිත්‍ය, ශාස්ත්‍රීය හා වෙනත් කෘති සිංහල භාෂාවට පරිවර්තනය කළ අයෙකි. චාරුලතා (රවීන්ද්‍රනාත් තාගෝර්), අම්මා (මැක්සිම් ගෝර්කි), සරු බිම (පර්ල් එස්. බක්),සෙනෙහස (ඉවාන් තුර්ගිනිව්) සේනාරත්න වීරසිංහයන් පරිවර්තන කෘති අතර වේ.

* සේනාරත්න වීරසිංහ වන ඔබ හා ශ්‍රී ලාංකේය පරිවර්තන සාහිත්‍ය කලාව අතර ඇති බැඳීමට දීර්ඝ කාලීන ඉතිහාසයක් තිබෙනවා. මෙරට සාහිත්‍ය කලාව තුළ ඔබ පරිවර්තකයකු ලෙසට පෙනී සිටින්නට අදහස් කරන්නේ ඇයි?

පසුගිය වසර විසිහතක පමණ කාලය තුළ පරිවර්තනයට විශාල අවකාශයක් තිබුණා. කුමක්ද සැබෑ පරිවර්තනය කියන එක හඳුනාගෙන හිටියත් මේ සුවිශේෂි කාර්යභාරය ගැන පාඨකයාට හඳුන්වා දීමක් කරලා තිබ්බේ නෑ. යන්තම් හරි ඒ ගැන අවබෝධයක් ලබාදීමට ඉවහල් වුණේ විදේශ රටවල සිටි ලංකාවේ ලේඛකයන් වන පත්මා හර්ෂ කුරණගේ, දැදිගම රුද්‍රිගෝ වැනි ලේඛකයන් සිරිල් සී පෙරේරා, කේ. ජී. කරුණාරත්න වගේ ලේඛකයන් පමණයි. නමුත් මේ හිඩැස පිරවීමට ඒවා ප්‍රමාණවත් වුණේ නෑ. විදෙශ් කෘති, සංක්ෂිප්ත කරලා කුඩා පරිවර්තන හැටියට කළ තවත් පිිරිසක් හිටියා. ඔවුන් මුල් කෘතිය ගැනවත් ලේඛකයෝ ගැනවත් කියලා තිබුණේ නෑ. මේ ලේඛකයන් විචාරකයන්ව පවා බොහෝ අසරණ තත්ත්වයට පත්කරලා තිබුණේ. පාඨකයාට අවබෝධය ලබා දීමට උත්සාහ කරලා නෑ.

ඒ අතර තව පිරිසක් හිටියා හෙළ බසින් පරිවර්තනය කරපු. මොවුන් අපේ සිංහල හැටියට හෙළ බස පාවිච්චි කරන්න උත්සාහ කළා. ඔවුන් අතර හොඳ කෘති වගේම නරක කෘතිත් බිහි වුණා. පරිවර්තන කලාවට ඒ අයගෙන් සේවයක් වුණේ නෑ. හෙළ හවුලේ මුල් කෘති අසාර්ථක පරිවර්තන. 1970, 80 දශකයේ දී පරිවර්තන සාහිත්‍යයක අවශ්‍යතාව හුඟාක් දැනිලා තිබුණා. ඒ හිඩැස පිරවීම සඳහා මා ඉදිරිපත් වුණා. මා එන විට පරිවර්තන කෘතිවලට බොහෝම නරක දසාවක් ලබලා තිබ්බේ. පුවත්පත්වලට, විචාරකයන්ට මාතෘකාව වුණේ ඒ කාරණාවයි. 80 දශකයේ පැමිණි විවෘත ආර්ථිකය තුළ භාණ්ඩ, කෑම – බීමවලට විවෘත වුණත් මනසට අවශ්‍ය ආහාර පිළිබඳව විවෘත ආර්ථිකයෙන් සෙතක් වුණේ නෑ. මේ සියලු කාරණාත් පරිවර්තනය සම්බන්ධයෙන් ඇතිවුණු හිඩැස පිරවීම සඳහා මම පෙනී සිටියා.

* පරිවර්තන කලාවේ දී රචකයා ඉතාම පරිස්සම් විය යුතු කාරණා තිබෙනවා. මේ සඳහා හොඳ කෘතියක් තෝරා ගැනීමේ සිට පරිවර්තකයා වගබලාගත යුතුයි. පරිවර්තනයේ දී අවශ්‍ය වන්නේ කුමක්ද?

පරිවර්තනය කිරීම අසීරු කාර්යක්. මුල්කෘතියේ වචනයෙන් වචනයට පරිවර්තනය කරන්න පුළුවන්. ඒත් ජීවමාන ශරීරයක් නෑ. එවැනි පරිවර්තනවල තියෙන්නෙ අමු බවක් පමණයි. පරිවර්තකයාට මෙතැනදී විශාල කාර්යභාරයක් තිබෙනවා. පරිවර්තනය සඳහා හොඳ කෘති තෝරා ගැනීම ඉතා වැදගත් කාර්යයක්. අති නවීන පරිවර්තන තිබෙනවා. අපේ පාඨකයා පිළිගන්නේ කුමන පරිවර්තනයද කියලා ඔහුට අවබෝධයක් තියෙන්න ඕනේ. පාඨකයාගේ සමාජ විඥානය පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත්. පාඨකයාගේ ඥානය පිළිබඳව වගේම ඔහුට මොනවද අවශ්‍ය ඔහුගේ ඥාන මට්ටම පුළුල් කිරීම සඳහා කළ යුතු දේ වැනි කරුණු ගැන පරිවර්තකයාට අවබෝධයක් තිබිය යුතුයි. භාෂාව හරිහැටි හසුරුවා ගැනීමට පරිවර්තකයා සමත්විය යුතු අතර එසේ වීමෙන් පරිවර්තකයා වෙතින් හෝ ස්වීය කෘති වෙතින් පාඨකයා ගිලිහී යන්නේ නෑ. පරිවර්තනයේ දී එය අත්‍යවශ්‍ය කාරණයක්. ලියන දේ ව්‍යාකූල නම්, තේරෙන්නේ නැත්නම් පාඨකයා පොත පොළොවේ ගහන්න පුළුවන්. පරිවර්තන කෘති නිසා ලෝකයේ රටවල සාහිත්‍ය දියුණු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට රුසියානු සාහිත්‍යය දියුණුවට ජර්මන් සාහිත්‍ය බලපෑවා. ඉවාන් තුර්ගිනිව් ජර්මන් ආභාසයෙන් බිහි වූ ලේඛකයෙක්. සාංදෘෂ්ඨිකවාදය, නරුමවාදය, නාස්තිකවාදය ගැන මොහු කතා කළා. ඒ ජර්මන් නවකතාවල ආභාසය නිසයි.

* ඔබ මෙවර හැරී තිබෙන්නේ අපි‍්‍රකානු සාහිත්‍ය කලාව දෙසටයි?

අපි‍්‍රකානු සාහිත්‍ය අපට හුඟාක් සමීපයි. චිනුවා ඇචබේ, නගුජි වාතියං ඕ, එලඩි අමාඩි, ග්‍රේබියෙල් ඔකාරා වැනි යථාර්ථවාදී නවකතා ලියූ ලේඛකයන්ගේ කෘති මෙරට පාඨකයාට ආගන්තුක නෑ. දසක තුනකට වැඩි කාලයක් තිස්සේ සිංහල පාඨකයා මේ නවකතා කියවලා තිබෙනවා. අපි‍්‍රකානු නවකතාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ අපි‍්‍රකානු මහාද්වීපයට අයත් බටහිර අපි‍්‍රකාව, නැඟෙනහිර අපි‍්‍රකාව, මධ්‍යම අපි‍්‍රකාව හා දකුණු අපි‍්‍රකාව යන රාජ්‍යයන්හී පවත්නා නවකතා සාහිත්‍යයයි. ප්‍රකට නවකතා කතුවරයකු හා විචාරකයකු වන චිනූවා ඇචබේ අපි‍්‍රකානු නවකතාව නිර්වචනය කරන්නේ මෙහෙමයි. “අපි‍්‍රකානු නවකතාව යනු අපි‍්‍රකානුවන් වෙනුවෙන් අපි‍්‍රකානුවන් විසින් ලියන ලද නවකතාවයි. එය හුදෙක් භූගෝලීය පසුබිමක් පිළිබඳ විස්තරයක් පමණක් නොව පාරභෞතික තලය පිළිබඳ කෙරෙන සුවිශේෂී විවරණයකි. ඒ තුළ අපි‍්‍රකානු ලෝකය හා එහි සුවිශේෂතාව පිළිබඳ දැක්මක් අන්තර්ගත විය යුතුය. එය අපි‍්‍රකානු අනන්‍යතාවක් හෙවත් වීසා බලපත්‍රයක් විය යුතුය.

මෙහිදී නවකතාකරුවා ස්වකීය කාර්යභාරයේ දී තමාට සිදුවන වාසි මෙන්ම අවාසිද පිළිබිඹු කළ යුතුය. අපි‍්‍රකාව වසර හාරසීයක් පමණ කාලයක් තිස්සේ යුරෝපීය ජාතීන්ගේ පීඩනයට ගොදුරු වුණා. මේ සියවස් හතරක කාල පරිච්ඡේදය වහල් වෙළෙඳාම, යටත් විජිතවාදය, යටත් විජිතවාදයෙන් නිදහස්වීම යන වැදගත් යුග තුනක් ඔස්සේ දැක්වීමට පුළුවන්. අද යටත්විජිතවාදය දුර්වලව ගිහින්. මේ යටත් විජිතවාදය අපි‍්‍රකානුන්ගේ සංස්කෘතිය කෙරෙහි විශාල බලපෑමක් කළා. එහෙයින් සිය අතීතය අමතක නොකරමින් වර්තමානය දකිමින් යහපත් අනාගතයකට යොමුවන්නා වූ නවකතා සාහිත්‍යයක් ගොඩ නැඟීම අපි‍්‍රකානු ලේඛකයන්ගේ අරමුණ විය යුතු බවත් එය වේදනාකාරී මෙන්ම විටෙක ප්‍රබෝධජනක කටයුත්තක් විය හැකි බවත් එහිදී ජයග්‍රහණයන්ට මෙන්ම අපේක්ෂා භංගත්වයට ද මුහුණදීමට සිදුවිය හැකි බවත් ඉදිරියේ දී සිදුවිය හැකි වෙනස්වීම් කෙරෙහි නවකතාකරුවා නැවුම් බලාපොරොත්තු තබා ගත යුතු බවත්” චිනුවා ඇචබේ පෙන්වලා දෙනවා.

මේ අනුව අපි‍්‍රකානු ලේඛකයා තමා අවට ඇති සමාජ සත්තාව ගවේෂණය කිරීම අපි‍්‍රකානු නවකතාව හඳුනා ගැනීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සාධකයක් බව පෙනී යනවා. අද වනවිට විශේෂයෙන් 1960න් පසු අපි‍්‍රකානු සාහිත්‍ය පාඨමාලාවල මුල් තැනක් ගන්නේ අපි‍්‍රකානු සාහිත්‍ය කරුවන්ගේ කෘති බව කිව යුතුයි. අපි‍්‍රකානු ලේඛකයන්ගේ නවකතා අද වනවිට විශ්ව සාහිත්‍යයේ නව ප්‍රවනතාවක් ඇති කරවමින් සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණ සීමාවන් පුළුල් බවට පත් කරවමින් තියෙනවා. අමෝස් ටුටූලා මෙරට පාඨකයාට ආගන්තුක වුවද අපි‍්‍රකානු සාහිත්‍යයේ දී එසේ නොවේ, දසක තුනකට වැඩි කාලයක් තිස්සේ සිංහල පාඨකයා අපි‍්‍රකානු නවකතා කියවලා තියෙනවා. එහෙත් අපි‍්‍රකානු මායා යථාර්ථවාදය (Magical Realism) ගුරුකොට ගත් නවකතා සිංහල පාඨකයාට කියැවීමට අවස්ථාවක් ලැබී නෑ.

* අපි‍්‍රකානු ලේඛක අමෝස් ටුටූලා විසින් ලියන ලද ‘සුරා ලෝලයාගේ විපරිත අපදානය’ නව කතාව මායා යථාර්ථවාදී (Magical Realism)  රීතිය ගුරු කොටගත් නව කතාවක්. මෙම රීතිය ශ්‍රී ලාංකේය පාඨකයාට ආගන්තුකයි නේද?

මායා යථාර්ථවාදය (Magical Realism) කියන්නේ බොරුව තුළ ඇත්ත නිරූපණය කිරීමක්. එය සම්පූර්ණ බොරුවක්. නමුත් මෙහි ඇත්තක් තියෙනවා. යුරෝපීය විචාරකයන් මෙන්ම නයිජීරියානු විචාරකයන් ද ටුටූලාගේ (The Palm Wing) (සුරා ලෝලයාගේ විපරිත අපදානය) කෘතිය විවිධ දෘෂ්ඨි කෝණ ඔස්සේ සාකච්ඡාවට බඳුන් කරනවා. ඒ අනුව, මුදල් වශයෙන් ‘කවඩි’ භාවිතා කළ සංස්කෘතියක් නව පාරිභෝගිකවාදී සංස්කෘතියක වටිනාකම් වලට හැඩගැසීමට යම් පියවරක් මේ කෘතියෙන් සාකච්ඡා කරන බව එක් විචාරකයකු පෙන්වා දෙනවා. ශිෂ්ටාචාරයේ නාමයෙන් දේශීය ජනතාවගේ යටත්විජිත ආධිපත්‍ය මඟින් හිංසාකාරීව මැඬලීමට කරනු ලබන ශෝචනීය උත්සාහයක් එහි දැක්වෙන බව තව විචාරකයෙක් පෙන්වා දෙනවා. තව මතයකට අනුව මෙය නවකතා සම්ප්‍රදායේ නවීනත්වය දෙසට, නොදන්නා ලෝකයක් දෙසට කෙරෙන බලාපොරොත්තු සහගත ගමනක් සංකේත කරවන්නක් බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා