මහාචාර්යතුමියගේ නවකතාවට වඩා කෙල්ලන්ගේ දින පොත් වටිනවා

මහාචාර්යතුමියගේ නවකතාවට වඩා කෙල්ලන්ගේ දින පොත් වටිනවා

මහාචාර්ය පියසීලි විජේමාන්න

මේ කතුවරිය වනා හී සිංහල සාහිත්‍යය ද, බටහිර සාහිත්‍යය ද හදාරා; ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඊට සම්බන්ධ ආචාර්ය උපාධියක් ද ලබාගත් උගත් මහාචාර්යවරියකි. කලා -විචාරය, නව ප්‍රබන්ධ විධි ඈ විෂය ධාරාවන් පේරාදෙණියේ විද්‍යාර්ථීනට ඉගැන්වීම ඇයගේ ජීවන වෘත්තිය යි. නිතර ඉංගිරිසියෙන් සංවාදයෙහි යෙදීමට වැඩි මනාපයක් ඇති එතුමියගේ පාණ්ඩිත්‍යය හෝ වෙනත් කුසලතා හෝ ගැන සැකයක් - සංකාවක් අපට නැත. එහෙත් ඇය විසින් අභිනවයෙන් එළිදක්වන ලද ‘බැම් හා බැමි’ නම්; තඩි පොත් ගෙඩිය අපගේ රසවින්දන විෂයයෙහි ගැටලු රැසක් මතු කරනු ලැබ තිබේ.

පළමුවැන්න නම්; “බැමි හා බැමි” නම් මහා පොත් ගෙඩිය නව කතාවක් ද? ජීවිත කතාවක් ද? නැතහොත් කුමන වර්ගයකට අයත් පොත් වහන්සේ නමක් ද යන්න ය. දෙවැන්න නම්; මේ තඩි පොතෙහි ඇතුළත් පල්හෑලි කියැවීමෙන් පාඨකයාට ලැබෙන අලුත් අත්දැකීම හෝ ජීවිතාවබෝධය හෝ කුමක් ද යන්න ය. තෙවැන්න නම්; මහත් ආයාසයෙන් යුතුව මෙබදු පොත් වහන්සේලා ලියා; මුද්‍රණය කොට; කළ එළි දක්වා පාඨකයා තවදුරටත් මුළා කරන්නේ කුමකට ද යන්න ය. කතුවරිය විස්තර කරන්නේ සසි පබා නම් දැරියගේත් ඒ සසි පබා තරුණියගේත් ජීවිතය යි. ජීවිත විවරණයක් යනු ද උසස් නවකතාවක ලක්ෂණයෙකි. එහෙත් මේ පොත් ගෙඩියෙහි ඇත්තේ ජීවිත විවරණයක් නොවේ.

එහි ඇත්තේ චරිත හා සිද්ධි නිරූපණයක් ද නො වේ. සමාජ විග්‍රහයක් ද නො වේ. මුද්‍රිත පිටු 408 ක් පුරාවට ඇත්තේ සසි පබා එදිනෙදා ජීවිතයේ කාලය ගෙවා දමන විස්තර ය. එක් දිනෙක උදෑසන ඇඳෙන් බිමට බැසීමේ සිට රාත්‍රියේ යළි ඇඳට යන තෙක් ද; සිහින දකින තෙක් ද විස්තර ලියා තැබීමට කතුවරිය උනන්දු වේ. “සින්ක් එක උතුරලා පැන්ට්‍රි එක ගලලා ටැප් එක වහන්නැතිව ගිහින්. වතුරෙ සද්දෙ ඇහිලා මං බැලුවේ. රොඩු හිරවෙලා වතුර ඩ්රේන් වෙන්නෙ නෑ. අපි පැන්ට්‍රිය වෙත දිව්වෙමු. වතුර තල්ලු කිරීමට තැනක් නැත. අපි රෙදි කඩමලු කීපයක් ගෙන ඒවා පොඟවා බාල්දියකට වතුර මිරිකන්නට පටන් ගත්තෙමු. හසිත’යියා එතැනින් ඉවත් විය.

(පිටුව 348)

නව කතාවකට අවශ්‍ය චරිත, සිදුවීම්, ගැටුම් ආදී මූලෝපායන් ඉතා පරෙස්සමෙන් තෝරාගත යුතු ය. එම සිදුවීම්, ගැටුම්, චරිත සුවිශේෂ විය යුතු ය. ජීවිතයේ සියල්ල ලියා තැබීම නවකතාවකට තබා දිනපොතකටවත් වටින්නේ නැත. අපගේ මහාචාර්ය කතුවරිය සසි පබා වැසිකිළි - කැසිකිළි යනෙ’න හැටි පවා ලියමින් පොත් ගෙඩියක් සම්පාදනය කළ ද; පාඨකයාගේ ප්‍රඥාව අවදි කරන එක වචනයක්, යෙදුමක්, සංවාදයක් ගොඩනැගීමට අපොහොසත් වන්නී ය. නූතන සිංහල නවකතාකාරියන් අතර පවත්නා එක් මෝස්තරයක් වන්නේ ස්ත්‍රිය විෂයයෙහි පවත්නා අනෝරා දුක් කන්දරාව ලියාගෙන – ලියාගෙන යෑම ය. වත්මන් සමාජය තුළ ස්ත්‍රිය විෂයයෙහි පවත්නා සුවිශේෂ පීඩනයක් - සූරාකෑමක් ඇති බව සත්‍යයෙකි. එහෙත් ඒ ගැන ලියන කියන අය ඉහත කී පීඩනය හා සුරාකෑම අදෝනාවක් බවට පත්කරගත යුතු නැත.

සසි පබාගේ දහවන උපන් දිනයෙන් පටන් ගන්නා කතාව මහා කරදර කම්කටොලු ගැටුම් දිගේ ගලා ගොස් කසාදයක් බැඳගන්නා තැනට පැමිණ කතාව අවසන් කර තිබේ. සසි පබා; පියා අහිමි දරුවෙකි. ඇගේ මල්ලි ආබාධිත දරුවෙකි. අම්මා රහස් පෙමක පැටලී සිටී. සසි පබාගේ බාප්පා, නැන්දා, ආච්චි වැනි ඥාතීහු මවට එරෙහිව සිටිති. මේ ගැටුම් නාට්‍යාකාරයෙන් නිරූපණය කිරීමට කතුවරිය අසමත් ය. මනුෂ්‍යත්වය පිළිබඳ අලුත් වැටහීමක් ලබාදෙන කිසිවක් මේ පොත් ගෙඩිය තුළ නැත. පොතෙහි පදාස පිටින් ඉවත් කළ ද කතාවට හානියක් නැත. පවුලක ගැටුම් පිළිබඳ ගම ගැහැනුන්ගේ කතා “බැමි හා බැමි” නව කතාවට වඩා රසවත් ය. මගේ සිහියට නැගෙනුයේ ඇඟලුම් සේවිකාවක විසින් දිනපොතක ලියා තබන ලද අගනා වාක්‍ය කිහිපයෙකි.

එහි මෙසේ සඳහන් වේ.
“1997 - පෙබරවාරි – 06”

“මා බෝඩිමෙන් එළියට බසින විට හූනෙක් චුක්-චුක් ගා ඔච්චම් කළේ ය. ඊයේ රෑ මා ගැහැනියක වු බව අපේ අම්මා නො දනී, උන්දෑට මා තවම සුදු මැණිකේ ය. මා කසාද බැඳීමට පෙරුම් පුරන උඩහ ගෙදර අයියාට ද සුදුමැණිකේ – සුදු මැණිකේ ම ය. හැන්දෑවට කසිප්පු බොන ඌට ඕනෑ බොරුවක් කළ හැකි ය. මගේ සිහියට නැඟෙන්නේ රෙදි නැන්දාගේ හැකර කට ය.” පිටු 408 ක් පුරාවට දුව “බැමි හා බැමි” පොත් ගෙඩියට වඩා ඇඟලුම් සේවිකාවගේ දින සටහන රසවත් ය. අර්ථවත් ය. හැඟුම්බර ය. මේ නවකතාව ජීවිතය ඒ අයුරින්ම පිටපත් කිරීමක් සේ මට පෙනේ. යම් චරිතයක සකලවිධ හැසිරීම් විස්තර සහිත ව දැක්වීමේ අර්ථය කුමක් ද? මානව සබඳතා සියුම් ව නිරූපණය කරමින් ජීවිතයට අලුත් අර්ථයක් එකතු කරන්නට කතුවරිය අසමත් ය. නවකතාවක් රචනා කිරීමේ දී සුදුසු ආකෘතියක් තෝරාගැනීම ඉතා වැදගත් ය. නව ආකෘතිය සමඟ නවකතාවේ ඉලක්ක, අරමුණු, පරමාර්ථ වෙනස් වූ අවස්ථා ද තිබේ.

කොළොම්බියාවේ මාකේස් නවකතාවේ ආකෘතිය වෙනස් කිරීම සඳහා ප්‍රබල උත්සාහයක යෙදුණු අපූරු නවකතාකරුවෙකි. ඔහු ලතින් අමෙරිකාවේ ප්‍රබන්ධ කතාවට දේශපාලනයට හා චින්තනයට බලපෑම් කළ යෝධයකු ලෙස සැලකිය හැකි ය. 2007 දී බුකර්ස් සම්මානය ලබාගත් අරුන්දතී රෝයි ගැන සඳහන් කරන විචාරකයෝ ඇයගේ ‘ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්’ කෘතියේ ආකෘතිය පසසති. ‘ගොඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්’ කෘතිය රචනා වී ඇත්තේ ද දරුවකුගේ ළමා විය මුල්කරගෙන ය. දරුවා කෙරෙහි බලපවත්වන පීඩනය, සූරාකෑම හා විස්මය ඉතා සූක්ෂ්ම ලෙසත් අලුත් ප්‍රවේශයකින් යුතුවත් ප්‍රතිනිර්මාණය කිරීමට අරුන්දතී රෝයි සමත්වී ඇති බව බොහෝ දෙනා පිළිගනිති. නවකතා රචනයට එක් වූ මුල් ම නවකතාකාරිය ලෙස ප්‍රකට ජපානයේ මුරාසකී මැතිනිය පවා ස්වකීය පුරාණ සම්ප්‍රදායෙන් බැහැරව නව ආකෘතියක් මත පිහිටා තම නිර්මාණ එළිදක්වා තිබේ.

නිදසුන් ලෙස ‘මුරාසකී දිනපොත’ යන කෘතිය වුව දැක්විය හැකි ය. ලෝක සාහිත්‍යය ගැන ප්‍රාමාණික ඥාානයක් ඇති විජේමාන්න මැතිනිය තම කතාව ඉදිරිපත් කිරීමට උචිත ආකෘතියක් තනා ගැනීමට අපොහොසත් වේ. ඒ නිසා ම ඇය සිය කතා වස්තුවේ උපරිම ආස්වාදයන් බිඳගෙන නීරස මහා පතරංගයක් ඉදිරිපත් කර තිබේ. සමස්තයක් ලෙස ගත්කළ මේ පොත්ගෙඩිය වනා හී අතිශය අසාර්ථක උත්සාහයෙකි. එහි පිට කවරයේ ඇද අකුරු පහකින් බැමි හා බැමි යැයි සටහන් කොට කඹ කෑලි කිහිපයකින් තොණ්ඩු කිහිපයක්ද දක්වා තිබේ. ඒ පිටකවරය නවකතාවට වඩා විකාරයෙකි. මේ කතාවේ එන සසි පබා අවසානයේ බැමිවලින් මිදෙන බව අතාර්කික ලෙස දක්වා ඇතත්; කතුවරිය තඩි තාප්පයකට යට වී ඇති බව පෙනෙන්නට තිබේ. මහාචාර්ය විජේමාන්න නවකතා ලියන්නට නොගොස් ‘මුගටිරාළ’ (2006) වැනි ළමා කතා ලියාගෙන සම්මානත් ලබා ගෙන සිටින්නේ නම්; වඩා යහපත් ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා