අවනීතියට එරෙහිව මුලින්ම නැඟී සිටියේ ජනපති මහින්ද

අවනීතියට එරෙහිව මුලින්ම නැඟී සිටියේ ජනපති මහින්ද

අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය අරඹමින් විපක්ෂ නායක කියයි

අවනීතියට එරෙහිව මුලින්ම නැගී සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ඒ මහතා එසේ පැවසුවේ පිටකෝට්ටේ ජාතික සේවක සංගමයේ ඊයේ (10) පැවති ‘අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය’ නමැති වැඩපිළිවෙළ ආරම්භ කරමිනි. එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය. පක්ෂයේ අර්බුද ඇති කර අපගේ කකුලෙන් අදිමින් සමහරු අපෙන් අහනවා එජාපය මොනවද කරන්නේ කියා. දිනුවත් පැරදුණත් අපි හොඳ පිරිසිදු දේශපාලනයක නිරත වනවා.

අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය අරඹමින් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කතා කරයි. ඡායාරූපය -නිශ්ශංක විජේරත්න

මේ රටේ ආණ්ඩුවක් හැදිය හැකි පක්ෂ දෙකයි තිබෙන්නේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය පමණයි. එබැවින් අප නිවැරදි නායකත්වයක් යටතේ භේද භින්න නොවී ඉදිරියට යා යුතුයි. එසේ නොවුනහොත් ජනතාව වෙනත් විකල්ප වලට යොමුවිය හැකියි. එම නිසා අපි හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ක්‍රියා කළ ආකාරයට තදින් ක්‍රියා කරනවා. එසේ කිරීමෙන් පක්ෂය නිවැරදි මාවතට ගත හැකියි. අද අපි මේ වැඩසටහනට උදේ 9.00 ට එන්න කීවාම සමහරු උදේ 10.00 ට ආවේ.

එන්න කියපු සමහරුන් ඇවිත් නෑ. අපි ඒ අය ගැන ඉදිරියේදී තදින් ක්‍රියා කරනවා. මාධ්‍යයෙන් ඡන්ද දිනිය නොහැකියි. මාධ්‍යයෙන් මනාප ලබා ගැනීම පමණයි කළ හැකි වන්නේ. අපි ඡන්ද දිනපු හැටි මේ හැම දෙනාම දන්නවා. අපි ගෙයින් ගෙට ගියා ජනතාවට කතා කළා. එසේ නොමැතිව මාධ්‍යයෙන් පමණක් ඡන්ද දිනය නොහැකියි. කණ්ණාඩි බෙදලා ඡන්ද දිනන්න බෑ. හැමෝම කණ්ණාඩි බෙදනවා. මුලින්ම පක්ෂයේ ඡන්ද වැඩි කළ යුතුයි.  ඒ සඳහා ගෙන් ගෙට ගොස් බිම් මට්ටමෙන් සංවිධානය විය යුතුයි.

අපේ පක්ෂයට කූඩැල්ලන් අවශ්‍ය නෑ. මුලින්ම ලේ උරා බී ඊට පසුව අතහැර යන අයගෙන් පක්ෂයට පලක් නෑ. අවශ්‍ය වන්නේ එක්ව ඉදිරියට යන වැඩකරන අය පමණයි. එජාප මහලේකම් තිස්ස අත්තනායක, කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රින් වන හර්ෂ ද සිල්වා, මංගල සමරවීර, ජයලත් ජයවර්ධන, රවී කරුණානායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. එක්සත් ජාතික පක්ෂයේ ජන සන්නිවේදන අංශය මෙහිදී නව වෙබ් අඩවියක් ඔන්ලයින් ගුවන් විදුලි සේවයක් හා පුවත්පතක්ද දොරට වැඩීම සිදු කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා