එජාපයට පනවා තිබූ වාරණය 29 දා තෙක් දීර්ඝ කෙරේ

කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම වළක්වමින්

එජාපයට පනවා තිබූ වාරණය 29 දා තෙක් දීර්ඝ කෙරේ

රජයට එක් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණය පැවැත්වීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂයට නිකුත් කර ඇති වාරණය ලබන 29 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ජී. ඒ. ඩී. ගනේපොළ මහතා ඊයේ (10) නියෝග කළේය. වාරණ නියෝගය විසුරුවා හැර නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා විත්තිකාර රනිල් වික්‍රමසිංහ මහතා හා මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (09) සිය නීතිඥයන් මඟින් ලිඛිත කරුණු ගොනු කළේය.

අදාළ නියෝජගය තහවුරු කරමින් විත්තිකරුවන්ට අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙස පැමිණිලිකාර මන්ත්‍රීවරු ලිඛිත දේශන ගොනු කළහ. දෙපාර්ශ්වයේ ලිඛිත දේශන පිළිගත් විනිසුරුවරයා අතුරු තහනමක් නිකුත් කරනවාද ? නැන්ද යන්න පිළිබඳ නියෝගය ලබන 29 වැනි දින ඉදිරිපත් කරන බව දන්වා සිටියේය. කොංග්‍රස් පක්ෂ නායක අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ හා තිස්ස අත්තනායක මහත්වරුන්ට මේ වාරණය නිකුත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් සිටියදී දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පළ කිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීමට හේතු ඇත්නම් දැනුම් දෙන ලෙස තිස්ස අත්තනායක මහතා පසුගිය පෙබරවාරි 3 වැනි දින නිකුත් කළ ලිපියකට එරෙහිව මේ නඩු හත පවරා ඇත. කොංග්‍රස් පක්ෂය එජාපය සමඟ සන්ධාන ගත වූයේ මහ මැතිවරණයට තරග කිරීමට පමණක් බවත්, කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය තම පක්ෂය බවත් පැමිණිලිකරුවෝ කරුණු ඉදිරිපත් කළහ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මහ ලේකම් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්. ටී. හසන් අලි, වෙළෙඳ පාරිභෝගික කටයුතු නියෝජ්‍ය ඇමැති බෂිර් සේගුඩාවුඩ්, පක්ෂ භාණ්ඩාගාරික එම්. එස්. එම්. අස්ලම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. එස්. තවුපික්, මොහොමඩ් ෆයිසාල් කාසිම්, එච්. එම්. පාරිස් මහත්වරු මේ නඩු පැවරූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා