සුගතදාස පිටියේ ‘මෙගා ෂෝ’ තහනම්

සුගතදාස පිටියේ ‘මෙගා ෂෝ’ තහනම්

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ හා එළිමහන් ක්‍රීඩාංගණයේ ‘මෙගා සංගීත සංදර්ශන’ පැවැත්වීම මේ වසරේ සිට තහනම් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා නියෝග කොට ඇත. ක්‍රීඩා පිටියේ සම්පූර්ණ අයිතිය ක්‍රීඩා සංගම්වලට හිමිවිය යුතු හෙයින් ක්‍රීඩා පුහුණු කටයුතුවලට හා තරග පැවැත්වීමට පමණක් ක්‍රීඩාංගණ වෙන් කර තබන ලෙස සුගතදාස ක්‍රීඩා අධිකාරියේ සභාපතිවරයාටද දැනුම් දී තිබේ. එමෙන්ම සුගතදාස ක්‍රීඩාංගණය හා එහි සම්පත් භාවිත කර වාර්ෂික පුහුණු වැඩසටහන් හා ක්‍රීඩා තරග සංවිධාන කිරීමට මේ වසරේ කටයුතු කරන ලෙස සියලු ක්‍රීඩා සංගම් වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇතැයි ද ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

සුගතදාස ක්‍රීඩාංගණයේ ‘මෙගා ෂෝ’ පැවැත්වූයේ එහි නඩත්තු කටයුතුවලට ප්‍රමාණවත් මුදල් සොයා ගැනීමට බව පැවසුවත් අමාත්‍යාංශයේ නව වැඩපිළිවෙළ අනුව එවැනි අවශ්‍යතාවක් පැන නොනගින බව ද ඇමැතිවරයා පැවැසීය. පසුගිය කාලයේ සුගතදාස රථගාලෙන් රුපියල් ලක්ෂ 3ක ආදායමක් සටහන් වුවද වර්තමානයේ එය රුපියල් ලක්ෂ 9 දක්වා ඉහළ ගොස් ඇතැයි ද අනාවරණය කළේය. සුගතදාස අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් පී. සමරතුංග මහතා ඇතුළු වත්මන් පාලානාධිකාරියෙන් ක්‍රීඩා සංගම්වලට හොඳ සහයෝගයක් ලැබෙනු ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය. කෙසේ වුවද ජාතික වැදගත්කමක් ඇති වෙනත් උත්සවවලට ක්‍රීඩාංගණය භාවිත කිරීමට අවහිරයක් නොමැත.

සුගතදාස ක්‍රීඩාංගණයේදී 1991 හා 2006 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය අභිමානවත් ලෙස සංවිධාන කෙරුණි. 2010 ආසියානු පාපන්දු සංගම් අභියෝගතා කුසලාන තරගාවලියද 2002 ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය ද පැවැත්වුණි. මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු දැන් ආරම්භ කොට ඇත. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංණයේ දී පසුගිය වසරේ අයිෆා සම්මාන උළෙලද පැවැත්වුණි. සුගතදාස ක්‍රීඩා අධිකාරිය වෙත ගෙවී ගිය වසරේදී රජයෙන් ලැබුණු මුදල් ප්‍රතිපාදන සියයට සියයක්ම භාවිත කිරීම විශාල ප්‍රගතියක් බව ද ක්‍රීඩා ඇමැතිවරයා පෙන්වා දුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා