හාමර් ඛේදවාචකයේ විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය

හාමර් ඛේදවාචකයේ විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය

පර්චස් විස්සක දේපළක් අත්පත් කැර ගැනීමට සිය අසල්වැසියාත් ඔහුගේ තරුණ පුත්‍රයා හා දියණියත් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට හා තවත් පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ටී.එම්.පී.බී. වරාවැව මහතා විසින් ඊයේ (10) මරණ දඬුවම නියම කරන ලදී.  දෙහිවල “හාමර් ඛේදවාචකය” නමින් ප්‍රසිද්ධ වූ මේ ත්‍රිපුද්ගල ඝාතනය ලංකා ඉතිහාසයේ සිදුවූ ඉතා අමානුෂිකම මිනී මැරුමක් ලෙස හැඳින්වූ විනිසුරුවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නියම කරන දිනක වේලාවක වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රාණය නිරුද්ධ වනතෙක් විත්තිකරුවන් එල්ලා තැබීමට නියම කළේය.

මෙම අමානුෂික ඝාතනය සිදු කළ විත්තිකරුවන් මියගිය පුද්ගලයන් සතු වූ රුපියල් දෙලක්ෂයකට ආසන්න වූ මුදල් හා දේපළ කොල්ල කෑම සම්බන්ධයෙන් ද වරද කරුවන් බවට ප්‍රකාශ කළ විනිසුරුවරයා විත්තිකරුවනට අමතර වසර දහයක සිර දඬුවමක් නියම කළේය. ඊට අමතරව රුපියල් අසූ එක්දහස බැගින් දඩ මුදල් ගෙවීමට විත්තිකරුවනට නියම කළ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවූවොත් අමතර වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඩුවමකටද විත්තිකරුවන් යටත් කෙළේය. දෙහිවල පදිංචි හැරිසන් ජයවීර නැමති ව්‍යාපාරිකයකුට හා කේ.ඩබ්ලිව්. ඒ. සුනිල් ශාන්ත හෙවත් රුවන් නමැති ත්‍රිරෝද රථ රියැදුරකුට මෙලෙස මරණීය දණ්ඩනය නියම වුණි.

2003 මැයි මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී දෙහිවලදී කදිරවෙල් මහේන්ද්‍රන් නමැත්තා සමඟ එක්ව ඔස්ටින් චාල්ස් ෆැන්ක්ලීන් හාමර් (79) (පියා) ඩීමන් හාමර් (31) (පුතා) සහ ඩෙසි ඈන් මැක්ලින් ලෙබරන් හාමර් (29) (දුව) මරා දමන ලදැයි විත්තිකරුවනට විරුද්ධව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කැර තිබුණි. මෙම මනුෂ්‍ය ඝාතනවලින් පසුව ඩීමන් හාමර් නමැත්තා සතුව තිබූ රුපියල් 31000/ක් වටිනා අත් ඔරලෝසුවක් ලෙබරන් හාමර් නමැත්තා සතුව තිබූ රුපියල් එක් ලක්ෂ පනස් එක් දහසක් පමණ වටිනා අත් පළඳනාවක්, පෙන්ඩනයක් හා රූපවාහිනී යන්ත්‍රයක් කොල්ලකන ලද බවට විත්තිකරුවනට විරුද්ධව වැඩිදුරටත් චෝදනා නගා තිබුණි. මෙම නඩුව වසර 4 1/2ක් පුරා විභාගයට ගැනුණි.

පැමිණිල්ලේ සාක්කිකරුවකු බවට පත් කළ විත්තිකරුවන් සමඟ මේ අපරාධයට සම්බන්ධව වූ කදිරවෙල් මහේන්ද්‍රන් නමැත්තා දීර්ඝ සාක්කියක් දෙමින් මේ අපරාධය සිදුකළ ආකාරය හෙළි කෙළේය. බර්ගර් ජාතිකයන් වූ මරණකරුවන් පදිංචි ඉඩමේ කොටසක් චීන අවහන්හලක් පවත්වාගෙන යෑමට නඩුවේ පළමු විත්තිකරුට කුලියට ලබා දී තිබූ බවත් පළමු විත්තිකරු ගෙවිය යුතු කුලී මුදල් කිසිවක් නොගෙවා බලහත්කාරකමින් එම කොටසේ ව්‍යාපාරික කටයුතු පවත්වමින් ගොස් ඇති බව නඩු විභාගයේ දී අනාවරණය විය. සුව මේ ඉඩම සම්පූර්ණයෙන් අයිතිකැර ගැනීමට නඩු පැවරීම සඳහා මෙම ඉඩමේ මුල් ඔප්පුව පළමු විත්තිකරුට අවශ්‍යව ඇති බවත් කෙසේ හෝ මේ ඔප්පුව ලබා ගැනීමට පළමු විත්තිකරුගේ ඥාති නිවෙස්වල කුඩා කල සිට මෙහෙකාරකම් කළ කදිරවෙලු මහේන්ද්‍රන් නමැති නඩුවේ සාක්කිකරුවකු කරන ලද තැනැත්තාට රැකියාවක් ලබාදෙන බව පවසමින් විත්තිකරුවන් ඔහු මේ අපරාධය සඳහා කැඳවාගෙන ගොස් ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

හාමර් මහතා පදිංචි නිවසට ගොස් ඇති මොවුන් ඔප්පුව සම්බන්ධව විමසා පසුව හිසට පොලු පහරක් ගසා ඔහුව ඝාතනය කැර ඇති විත්තිකරුවන් නිවසේ සැඟව සිටිමින් මියගිය හාමර් මහතාගේ පුතා හා දියණිය රැකියාවට ගොස් නිවසට පැමිණි පසු ඔවුන්ද ඉතා අමානුෂික අයුරින් ඝාතනය කැර ඇති බවද නඩු විභාගයේ දී හෙළිවිය. ගල්කිස්ස හෝටලයේ සේවය කළ ඩෙසි හාමර් මෙනවිය (29) හා සම්පත් බැංකුවේ සේවය කළ ඩීමන් හාමර් (31) අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කැර ඇති බවද නඩු විභාගයේදී හෙළිවිය. විත්තිකරුවනට එරෙහිව ඇති චෝදනා පහම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කැර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා මරණ දඬුවම පැමිණවීමට පෙර කිසිවක් පැවසීමට ඇද්දැයි විත්තිකරුවන් දෙදෙනාගෙන් විමසීය.

තමා මෙම අපරාධයට වචනයකින් හෝ සිතුවිල්ලකින්වත් සම්බන්ධයක් නැති බව හා අධිකරණය ලබාදුන් තීන්දුව අසාධාරණ බව පළමු විත්තිකරු ප්‍රකාශ කැර සිටි අතර දෙවැනි විත්තිකරු ප්‍රකාශ කැර සිටියේ මෙම අපරාධය සඳහා පොලිසිය ඔහුව පැටලවූ බවයි. වයස අවුරුදු 34ක් වන දෙවැනි විත්තිකරුට අවුරුදු 15ට අඩු ගැහැණු දරුවන් සිව් දෙනෙක් සිටින බවත් ත්‍රීවිල් රථයකින් ලද ආදායමින් දරුවන් නඩත්තු කළ ඔහුට නඩුව සම්බන්ධව වසර 8ක කාලයක් රිමාන්ඩ් බාරයේ සිටීම නිසා එම ආදායමද අහිමි වී ඇති බවත් පැවසූ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ. හිරිමුතුගොඩ මහතා තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. දේපළ කොල්ලකෑම සඳහා එකම පවුලේ තාත්තා, දුව, හා පුතා ඉතා අමානුෂික ලෙස ඝාතනය කළ මෙය ලංකා ඉතිහාසයේ අමානුෂිකම මිනීමැරුමක් යැයි අධිකරණය අමතමින් විනිසුරු වරාවැව මහතා ප්‍රකාශ කෙළේය.

වසර 28ක් වන තම අධිකරණ සේවා කාලය තුළ හතළිස් දහසකට අධික නඩු ප්‍රමාණයක් විමසා ඇති බවත් ඒ සෑම නඩුවක්ම ඇසුවේ බුද්ධ ධර්මය මත පිහිටා බවත් විනිසුරු වරාවැව මහතා ප්‍රකාශ කැර සිටියේය. ඡන්දය, ද්වේෂය, මෝහය, භය යන සතර අගතීන්ගෙන් තොරව තමා නඩු විභාග කැර ඇති බවද විනිසුරු වරාවැව මහතා පැවසීය. සතර අගතීන්ගෙන් තොරව නිවැරදි තීරණ ගතහොත් දෙවියන් ඉදිරියේ කෙලින් හිටගන්න පුළුවන් බවත් දිව්‍ය ලෝකයට මෙන්ම අවීචි මහා නරකාදියට යන්නෙත් මිනිසුන් බවත් විත්තිකරුවනට මරණීය දණ්ඩනය පැනවීමට පෙර පැවසූ විනිසුරු වරාවැව මහතා මිනිසුන් මරා දේපළ කොල්ල කන පුද්ගලයින් නීතියෙන් ද පැන යන්න උත්සාහ කරන බවත් පැවසීය. විනිසුරුවරයාගේ දේශනයෙන් අනතුරුව අධිකරණ ශාලාවේ දැල්වෙමින් තිබූ විදුලි බුබුලු හා විදුලි පංකා නිවා දැමීමට නියම කළ විනිසුරුවරයා ඉන් අනතුරුව විත්තිකරුවනට මරණ දඬුවම නියම කැර සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ තුසින් මුදලිගේ මහතා පෙනී සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා