‘ගුවන්ටනාමෝ’ සිර කඳවුර වසා දමන්න

‘ගුවන්ටනාමෝ’ සිර කඳවුර වසා දමන්න

මානව හිමිකම් ක්‍රියාකාරීහු ධවල මන්දිරය අභියස විරෝධතා

කියුබාවේ පවත්නා අමෙරිකානු ගුවන්ටනාමෝ රැඳවුම් කඳවුර වසා දමන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙරේදා එක්සත් ජනපදයේ ධවලමන්දිරය අබියස විරෝධතා උද්ඝෝෂණයක නියැළුණහ. මේ කඳවුර විවෘත කර දසවසරක් ඉකුත්ව ඇත. “හිංසනයට එරෙහි සාක්ෂිකරුවෝ නම් මේ කණ්ඩායම ඉකුත් ඉරිදා ද විරෝධතාවක නියැලී තිබුණු අතර ඔවුහු “නඩු විභාගයක් නොමැති දින රහිත රැඳවුම” යන්න ලියැවුණු කූඩුවක වරින්වර කීපදෙනා බැගින් අගුලු ලා ගෙන සිටිති.

ගුවන්ටනාවෝ කඳවුරට එරෙහිව ධවල මන්දිරය අබියස කූඩුවක රැඳී සිට විරෝධතා දක්වන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි මේ. ඒ. එෆ්. පී.

අද බදාදා, වනතුරු මේ විරෝධතාවේ නියැලීමට ඔවුහු අදහස් කරති. මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු මානව හිමිකම් කණ්ඩායම් කීපයක් අද විශාල ජන රැළියක් පැවැත්වීමටත් ධවල මන්දිරයේ සිට අමෙරිකානු අගනගරය දක්වා දිවෙන මිනිස් දම්වැලක් සකැසීමටත් සූදානම් බව ප්‍රකාශ කර තිබිණ. මීට සමාන්තරව පැරිස්, ටොරෙන්ටෝ, ලන්ඩන්, බ්‍රසල්ස් හා බර්ලින් යන නගරවලද විරෝධතා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඔවුන් පවසන්නේ එක්සත් ජනපදය ගුවාන්ටනාමෝ කඳවුරේ යුද සිරකරුවන් රඳවාගෙන සිටින්නේ දින නියමයක් නොමැතිව හා නඩු විභාගවලින් තොරව බවය. තවද ඔවුන් වධ හිංසනයට ලක්කරන බවටද මේ කණ්ඩායම් චෝදනා කරති. 2009 ජනවාරියේ බලයට ආ ජනාධිපති බැරැක් ඔබාමා වසරකදී මේ කඳවුර වසා දමන බව කීවද එය තවමත් ක්‍රියාත්මකව නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා