නිදහස් රටක් තුළ අපට ඇත්තේ අලුත් බලාපොරොත්තු

නිදහස් රටක් තුළ අපට ඇත්තේ අලුත් බලාපොරොත්තු

ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති

මෙරට දිනාගත් නිදහස රටේ සංවර්ධනයටත් ඉදිරි ගමනටත් යොදාගත හැකි ආකාරය, ජාතික ගැටලුවට අවශ්‍ය විසඳුම් හා තවත් දේශපාලන හා සමාජීය කරුණු පිළිබඳව ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

* යුද වාතාවරණයෙන් පසු යළිත් සාමකාමී වාතාවරණයක් රට තුළ ඇතිවී තිබෙනවා. මේ වාතාවරණය නිදහස සඳහා බලපා තිබෙන්නේ කොහොමද?

තිස් අවුරුදු යුද්ධය නිසා මෙරට නිදහස් වටපිටාව හා මහජනතාවට තිබූ නිදහස සම්පූර්ණයෙන්ම හැකිලී ගොස් තිබුණේ. 1948 දී අප නිදහස ලැබුවත් එම නිදහස යුද්ධය නිසාත් ත්‍රස්තවාදය නිසාත් එදා ලැබු නිදහස සම්පූර්ණයෙන්ම ඇහිරී ගොස් තිබුණා. දේශපාලන සමාජීය නිදහස තබා රට තුළ ඔබ මොබ ඇවිදීමේ නිදහස පවා නැත්තටම නැතිවී ගොස් තිබුණේ. ඒ නිසා පසුගිය අවුරුදු තිහේදී 1948 දී ලැබු නිදහස සම්පූර්ණයෙන්ම නැතිවී තිබුණේ. මේ තත්ත්වය නිසා මුළු සමාජයම නිදහස සීමා කර ගත් එක් තැනකට කොටුවූ තත්ත්වයකයි තිබුණේ. එහෙත් අද වෙද්දී තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව තිබෙන්නේ.

1948 දී අප නිදහස ලබද්දී අප කලාපයේ තිබු බොහෝ රටවල් සිටියේ අපට වඩා බොහෝ පිටුපසින්. සිංගප්පූරුව ගනිමු. ඉන්දුනීසියාව බලමු. මැලේසියාව ඇතුළු බොහෝ රටවල් ඌණ සංවර්ධිත තත්ත්වයකයි එදා තිබුණේ. අප ආර්ථික හා සමාජීය වශයෙන් දියුණු තත්ත්වයකයි සිටියේ. එහෙත් අද තත්ත්වය බලන්න. සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල් සංවර්ධනයේ ඉදිරි පිමි කිහිපයක් පැනලා සිටින්නේ. එහෙත් අප එක තැන පල්වෙන තත්ත්වයකයි සිටියේ.

මේ තත්ත්වය කෙතරම් දුරකට පහළ වැටුණාද කිව්වොත් 2000 2001 වර්ෂ වෙද්දි මේ රටේ ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගෙන තිබුණේ. මෙය මෙරට ආර්ථික නිදහසට විලංගු වැටීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යුද්ධය නිසා මිල කළ නොහැකි මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. මේ තත්ත්වය වෙනස් කර රට තුළ සාමකාමී තත්ත්වයක් ඇති කිරීමටත් 1948 දී ලැබු නිදහස නැවත ඇති කිරීමටත් පුළුවන්කම ලැබී තිබෙනවා. වෙනත් විදිහකට කියනවා නම් 1948 දී ඇතිවූ නිදහස යුද්ධය නිසා යටපත් වූ නිදහස යළිත් දිනා ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා.

* යුද්ධයෙන් පසු සමාජ තත්ත්වය හා නිදහස නැවත තහවුරු වී තිබෙනවා. එවැනි තත්ත්වයකදී මෙරට සමාජ ආර්ථික සංවර්ධනය වගේම රටේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය මොන වගේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර තිබෙන්නේ?

රටකට දේශපාලන නිදහස පමණක් තිබුණට ජනතාව සෑහීමකට පත් වෙන්නේ නැහැ. යටිතල පහසුකම් සංවර්ධනය වගේ පාර්ශව පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව යුද්ධයෙන් පසු රටේ මාර්ග සංවර්ධනයද විදුලි බලාගාර සංවර්ධනය වරාය ඉදිකිරීම් ඇතුළු හැම අංශයක් පිළිබඳවම අවධානය යොමු කර තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණේ. නැගෙනහිර උදානය, උතුරු වසන්තය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ මේ පළාත්වල පෙර නොවූ විරූ සංවර්ධනයක් ඇති කිරීමට පුළුවන් වුණා.

එපමණක් නොවෙයි රටේ අනෙක් පළාත්වලත් විශාල සංවර්ධනයක් සිදු වෙලා තිබෙනවා. මාර්ග සංවර්ධනය, විදුලිය ලබාදීමද දැන් වේගයෙන් සිදු වෙමින් තිබෙනවා. මේ ගැන රටේ ජනතාව තුළ විශාල පිළිගැනීමක් ඇති වෙලා තිබෙනවා. රජයේ ඉලක්කය වී ඇත්තේ මහාමාර්ග, විදුලිය, ඇතුළු අත්‍යවශ්‍ය සේවා සියල්ලම ජනතාව වෙත ලබාදීමට. ඒ ගැන රජය කටයුතු කර තිබෙනවා. ඒ සියලු පහසුකම් නිසා ජනතාවට අලුත් නිදහස සමඟ අලුත් බලාපොරොත්තු ඇති වෙලා තිබෙනවා.

* ඔබගේ විෂය වන්නේ රාජ්‍ය පරිපාලන විෂයයි. මේ යටතේ පළාත් මට්ටමට පරිපාලනය විමධ්‍යගත කිරීමට ඔබේ අමාත්‍යාංශය මොන විදිහේ පියවරක්ද ගෙන තිබෙන්නේ?

රටක පාලනය ශක්තිමත් කරන්න නම් ප්‍රාදේශීය පරිපාලනයත් ශක්තිමත් කළ යුතුයි. ඒ තත්ත්වය නිසා අප අමාත්‍යාංශය ප්‍රබල ලෙස මැදහත්ව කටයුතු කරනවා.

රාජ්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයේ පරිපාලන නිලධාරීන්ගේ හිඟයක් තිබුණා. මේ තත්ත්වය පාලනය කිරීමට නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. අපගේ අරමුණ වී තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ජාලය ශක්තිමත් කිරීමටයි. ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

* මෙරට යුදමය තත්ත්වය නිමා වුවත් දේශපාලන හා මාධ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව නිදහස සීමා වී ඇතැයි චෝදනාවක් විපක්ෂය පාර්ශවයෙන් එල්ල වෙනවා. මේ චෝදනාවලට ඔබේ ප්‍රතිචාරය මොන වගේද?

රටේ ජීවන තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා. අද වන විට ජීවන තත්ත්වය හා සමාජීය තත්ත්වය විශාල ලෙස ඉහළ ගිහින් තිබෙන්නේ. එහෙත් දේශපාලන නිදහස, මාධ්‍ය නිදහස වැනි ක්‍ෂේත්‍ර පිළිබඳව අවලාද නගන අයට මේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් නැහැ වගේ කතා කරනවා. නැති නම් සිතේ ඇති දේශපාලන කුහකත්වය නිසා මේ යථාර්ථය නිසි විදිහට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ දශක දෙකකට කිට්ටු කාලයක් පුරා එක දිගටම මැතිවරණ පරාජයට පත් වුණා. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ මේ දේශපාලන පක්ෂ දෙකම ප්‍රබල විදිහට ජන සමාජයෙන් වියෝවී යාමයි. රටේ සමාජ ප්‍රශ්නවලට උත්තර දීමට නොහැකිව විපක්ෂය නිරුත්තර වෙලා සිටින්නේ. විපක්ෂයට අද සමාජය තුළ පිළිගැනීමක් නැහැ වගේම එම දේශපාලන පක්ෂ අතර වගේම ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තරයේත් විශාල අසමගිකම් ඇතිවෙලා තිබෙන්නේ.

දේශපාලන නිදහස පිළිබඳව කතා කරන විපක්ෂය ඔවුන්ට බලය තිබූ අවදියේ හා පෙර ක්‍රියාකාරකම් සලකා බලද්දී අද දේශපාලන නිදහස ගැන කතා කරන්නේ මේ අය කොහොමද කියන එක ප්‍රශ්නයක්. වෙනත් විදිහකට කියනවා නම් දේශපාලන නිදහස හොඳින් තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් තුළ දේශපාලන නිදහස නැතැයි විපක්ෂය නඟන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් හා අතිශයෝක්තියක් විදිහට කියන්න පුළුවන්.

ජනමාධ්‍ය නිදහස පිළිබඳවත් මට කියන්න තිබෙන්නේ එවැනි දෙයක්ම පමණයි. අද විශාල පුවත්පත් ප්‍රමාණයක් භාෂා තුනෙන්ම පළවෙනවා. එපමණක් නොවෙයි විද්්‍යුත් මාධ්‍යත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන් නිදහසේ තමන්ගේ මතය පළ කරනවා. ඔවුන්ට කිසිදු දේශපාලන හෝ රාජ්‍ය බලපෑමක් නැහැ. ඒ ගැන සමහරු කියනවා එක එක විදිහේ ප්‍රකාශ. එහෙත් ඒ ප්‍රකාශවල සත්‍යයක් නැහැ.

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස ඉතාමත් ඉහළින් ආරක්ෂිත වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ නිදහස නැහැ මාධ්‍ය මර්දනයක් දේශපාලන මර්දනයක් තිබෙනවා යැයි කවුරුන් හෝ කියනවා නම් එය අසත්‍යයක්.

* මෙරට නිදහස තිබුණත් ජනතාවට එහි ප්‍රතිලාභ නොලැබෙන බවට ඇතැම් පාර්ශව චෝදනා එල්ල කරනවා. මේ චෝදනාවලට පදනමක් ඇතැයි ඔබ සිතනවාද?

ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත දෙයක්. රට 1948 දී නිදහස ලැබීමත් සමඟ යුද්ධයෙන් රට බේරාගත් පසු නිදහසක් මෙරටට ලැබුණා. එපමණක් නොවෙයි රටේ නිදහස් වාතාවරණය නිසා සමාජය ඇතුළත විශාල පිබිදීමක් ඇතිවෙලා තිබෙනවා. අද මා නිදහසේ ගමනක් යන්නේ, ඔබ නිදහසේ ගමනක් යන්නේ, අලුත් නිදහස නිසා. අප විදෙස් ජාතීන් හමුවේ පහත මට්ටමේ සිටින්නේ 1948 දී උදාකරගත් නිදහස නිසයි.

ඒ නිසා මෙරටට රටේ ජනතාවට නිදහසේ ප්‍රතිලාභ නිසි විදිහට ලැබී නැතැයි කවුරුන් හෝ කියනවා නම් එය වැරැදි මතයක්, වැරැදි තක්සේරුවක් විදිහටයි සලකන්න පුළුවන්කම තිබෙන්නේ. අප හැම දෙයක් ගැනම දේශපාලන දෘෂ්ටියකින් නොබැලිය යුතුයි, නිදහසක් නැහැ. නිදහසේ ප්‍රතිලාභ ජනතාවට ලැබී නැතැයි කියන එක වැරැදියි.

* උදාවී ඇති සාමකාමී වාතාවරණය ස්ථිරසාර සාමයක් බවට පත් කර ගැනීමට වැඩපිළිවෙළක් ඇති කර ගත යුතුව තිබෙනවා. මෙයට විසඳුම විදිහට 13 වෙනි සංශෝධනය හෝ එයට වැඩි විසඳුමක් ගැන සාකච්ඡා කෙරෙනවා. මේ ගැන රජයේ ප්‍රධාන ඇමැතිවරයකු විදිහට ඔබේ මතය මේ ගැන මොන වගේද?

අප මේ සාමය උදාකර ගත්තේ විශාල කැප කිරීම් හා පරිත්‍යාගයක් කරලා. ඒ නිසා අප මේ ත්තත්වය දිගින් දිගටම ආරක්ෂා කර ගත යුතුයි. එම තත්ත්වය විනාශ වුවහොත් නැවතත් රට තුළ අරාජික තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. එනිසා එවැනි තත්ත්වයක් ඇති නොවන විදිහට කටයුතු කිරීම අප සැමගේ වගකීමක් විදිහට සලකන්න ඕනෑ.

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවෙකු විදිහට ශ්‍රීලනිපය විශාල වගකීමක් තිබෙනවා. වෙනත් පක්ෂවලට ජනතාව පිනායන විදිහේ ප්‍රකාශ සිදු කරන්න පුළුවන්. එහෙත් ශ්‍රීලනිප යට එහෙම බැහැ. අප ත්‍රස්තවාදය නැති කළා යුදමය වශයෙන්. එහෙත් මේ තත්ත්වය ඇති වීමට හේතු වූ කාරණා ගැන අවධානය යොමු කළ යුතුයි.

ඒ අනුව අවශ්‍ය විසඳුම් සෙවිය යුතුයි’ අපට පටු දේශපාලන පරමාර්ථ මුල් කරගෙන ජනතාව ආකර්ෂණය කර ගැනීමට පමණක් ගැන කල්පනා කරන්න බැහැ. වගකිවයුතු දේශපාලන පක්ෂයක් විදිහට රටේ ප්‍රශ්න දෙස බැලිය යුතුයි. අනෙක ජාතික ප්‍රශ්නයක් සමඟ එහි විසඳුම් ගැන කල්මැරීමත් සිදු නොකළ යුතුයි. ජනතාව පුහු සතුටු කිරීමකින් නො නැවතී වගකීම් සහගතව අවශ්‍ය විසඳුම් ගැන සොයා බැලීම තමයි කළ යුත්තේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා