ඉරණමඩු වැව සංවර්ධනයට රු. කෝටි 244ක IFAD ආධාර

ඉරණමඩු වැව සංවර්ධනයට රු. කෝටි 244ක IFAD ආධාර

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 22.2 ක (රුපියල් කෝටි 244.2) ආධාරයක් ලබාදීමට කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල (IFAD) තීරණය කර ඇත.

වාරිමාර්ග, යටිතල පහසුකම් ආදිය සංවර්ධනය කිරීම මෙන්ම භෝග විවිධාංගිකරණය, උතුරු පළාතේ කුඩා ගොවිබිම් හිමියන්ට නව වෙළෙඳපල අවස්ථා උදාකර දීම, ඉරණමඩු වැව ප්‍රතිසංස්කරණය, ගොවීන් වෙත ජලරක්ෂණ කළමනාකරණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් පුහුණු කිරීම ආදිය මේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ මූල්‍ය ආයතනයක් වන අතර මෙම ආධාරය ලබාදීමට අදාළ ගිවිසුම ඇතිකර ගැනීම ඉතාලියේ මිලානෝ නුවර පිහිටි කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල් මූලස්ථානයේදී සිදු කෙරිණි.

“ඉරණමඩු වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය” යනුවෙන් නම්කර තිබෙන මේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම සඳහා ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදලේ සභාපති කනායෝ එෆ්.න්වන්ස් මහත්වරු අත්සන් කළහ.

ත්‍රස්ත ග්‍රහණයේ පැවත විනාශවී ගිය ඉරණමඩු වැව ප්‍රතිසංස්කරණය කිරීම මේ මඟින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන අතර ඒ හරහා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 7000 කට පමණ ප්‍රතිලාභ අත්වන බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

පසුගිය 1978 වසරේ සිට මේ දක්වා කාලය තුළ වැඩසටහන් 16 ක් වෙනුවෙන් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක (රුපියල් කෝට් 4400) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අතර ඒ මඟින් පවුල් 500000 ට වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමිව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා