වසර සියයක් පැරැණි දොඹකර දෙකක්

පැය 24ක් ඇතුළත පාලම් 2ක් සවිකළ

වසර සියයක් පැරැණි දොඹකර දෙකක්

පැය විසි හතරකින් පාලම් දෙකක් සාදා නිම කළ හැකි ද? හැකිය. ඒ සඳහා අධිෂ්ඨාන ශක්තිය ඇති පිරිසක් එක් වූහ. ඔවුනට අප්‍රමාණ ශක්තියක් ලබා දුන්නේ දොඹකර දෙකකි. විශේෂය වන්නේ එම දොඹකර මෙරට ඇති වසර සියයකටත් වඩා පැරැණි ඒවා වීමයි. අඟුරු කකා වතුර බිබී මේ දොඹකර ක්‍රියාත්මක වීම තවත් විශේෂත්වයකි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දොඹකර දෙකක් හා එම දෙපාර්තමේන්තුවේ සේවකයන් එක්ව මෙම විස්මකර්ම කාර්යය නිම කර තිබේ. ඔවුන් විසින් එක් පාලමක් නිමවනු ලැබ ඇත්තේ මාතර නගරයට ආසන්න දුම්රිය මාර්ගයේ ය. එය අඩි හතළිහක් දිග පාලමකි. අනෙක ගාල්ල තල්පෙ දුම්රිය මඟෙහි නිමකර ඇති අඩි හැටක් දිග පාලමයි. මෙ පාලම් දෙක සවි කිරීමට ගතවී ඇත්තේ පැය 24 ක කාලයක් පමණි. ඉන්දියාවෙන් හෝ අන් රටකින් ඉංජිනේරුවන් හා කාර්මිකයන් ගෙන්වා මෙම පාලම් තනන්නට ගියේ නම් ඒ සඳහා වැය වන මුදල සුළු පටු වන්නේ නැත.

අපේ මුදල් පිටරටකට නිකරුණේ ලබාදීමට අකමැති, අපේ මුදල් මේ රටේම රඳවා ගැනීමට කැමති දුම්රිය දෙපාර්තමේන්තුවේ පිරිසක් මේ කාර්යය සඳහා පෙරමුණ ගත්හ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරී ප්‍රධාන පාලම් පරීක්ෂක රංජිත් විජේසිරි තවත් 35 දෙනකු සමඟ මෙම පාලම් තැනිය යුතු වූ දක්ෂිණ මුහුදු බඩ දුම්රිය මඟ අදාළ ස්ථාන වෙත පැමිණියේ වසර 100 කට වඩා පැරැණි දොඹකර දෙකක්ද දුම්රියේ පටවාගෙනය.

පාලම් සකස් කිරීමට පෙර ඒ සඳහා පූර්ව සූදානමක් සිදුවෙයි. පාලම් සැකසීම සඳහා අවශ්‍ය උපකරණ සූදානම් කර ගැනීම හා පාලම් කොටස් එකලස් කර ගැනීම. අවසානයේ කාර්යය නිම කිරීමට පැමිණෙන්නේ අප ඉහතින් සඳහන් කළ වසර සියයකට වඩා පැරැණි දොඹකර දෙකය. පැරැණි පාලම ගලවා ඉවත් කිරීමට හා නව පාලම සවි කිරීමට පාලම් දෙකෙළවර හිඳ මිනිසුන්ට අවශ්‍ය යෝධ ශක්තිය ලබා දුන්නේ එම දොඹකරයන්ය.

“මේ දොඹකර සඳහා මහ ලොකු නඩත්තුවක් අවශ්‍ය වන්නේ නැහැ. මේවා ඉතා පහසුවෙන් මෙහෙයවීමට හැකිවීම අපට උපකාරයක්” රංජිත් විජේසිරි පවසයි. “මේ දොඹකර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ වතුරත් අඟුරුත් විතරයි.” දුම්රිය මාර්ගයෙන් ගලවා ඉවත් කළ සිල්පර කොට පළා දර ලබාගෙන ඒවා දොඹකර තුළ ඇති ළිපට දමා ඔවුන් අඟුරු සපයා ගෙන තිබිණි. එසේ අ¼ගුරු හා සිසිල් ජලය සපයන්නේ නම් දොඹකර එක දිගට පැය 24 ක් වුව ක්‍රියාත්මක වන බව රංජිත් විජේසිරි ප්‍රධාන පාලම් පරීක්ෂකවරයා පවසයි. මෙසේ අවම වියදමකින් උපරිම ප්‍රයෝජන ගන්නට දුම්රිය දෙපාර්තමේන්තුව ගන්නා තැත පැසසිය යුතුය. වසර සියයක් පැරැණි ද යන්න අදහා ගත නොහැකි ලෙස කුඩා යකඩ කැබැල්ලේ සිට ටොන් තිහක් දක්වා බර උසුලන එම දොඹකර පැය 24 ක් ඇතුළත දක්ෂිණ මුහුදු බඩ මාර්ගයේ පාලම් දෙකක් සවි කිරීමට අපේම උදවියට සහාය වූයේ ය.

පුදුමයක් විය හැකි නමුත් මෙය අපේ කාලයේ සත්‍ය කතාවකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා