පළාත් සභාවලට වැඩි බලයක් ඉල්ලන්නේ රට බෙදා වෙන්කිරීමට උත්සාහ දරන අයයි

පළාත් සභාවලට වැඩි බලයක් ඉල්ලන්නේ රට බෙදා වෙන්කිරීමට උත්සාහ දරන අයයි

- මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව

සියලු ජනකොටස් සතුටු කිරීම සඳහා ලබාදී ඇති බලතල ප්‍රමාණවත් බවත් ඊට වඩා බලතල ඉල්ලන්නේ නම් එය රට බෙදා වෙන් කිරීම සඳහා වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.

ආණ්ඩුකාරවරයා එම අදහස් පළ කළේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඉකුත් දා (02) පැවැති රණවිරු සේවා අධිකාරිය මඟින් සංවිධානය කළ රණවිරු ඥාතීන් සඳහා වූ ව්‍යාපෘතියක පුහුණු වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

ඒ මහතා එහිදී මෙසේ පැවසීය.

පළාත් සභාවල බලය වැඩි කිරීම සඳහා 13 න් ඔබ්බට ගිය ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. මේ වැඩි බලතල ඉල්ලන පුද්ගලයෝ මේ රටේ වසර 30 ක් පුරා පැවති යුද්ධය නැති කිරීම සඳහා කිසිම ආකාරයකට උදවු නොකළ අය. ඒ අයගේ අවශ්‍යතාවය මේ රට බෙදා වෙන් කිරීම.

ලබාදී ඇති බලතල වලින් පළාත් සභාවක් විධියට මධ්‍යම පළාතේ සියලුම ජනකොටස් සතුටට පත් කෙරෙන ආකාරයෙන් කටයුතු කෙරෙනවා.

මේ රට වෙලාගත් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළා වූ මෙහෙවර රන් අකුරෙන් ලියවෙනවා. ඒ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, මවුපියන්, ආබාධිත රණවිරුවන්, විශ්‍රාමිකයන් සහ දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙනුවෙන් ගෞරවයක්, කැප කිරීමක් සහ යොමු කිරීමක් සඳහා මේ රජය දැඩි පරිශ්‍රමයක් කරනු ලබනවා. 2012 වසරේ අයවැය තුළින් සහන ලබාදී තිබෙනවා. රණවිරු සේවා අධිකාරියා ඔවුන් වෙනුවෙන් කරනු ලබන සේවය ප්‍රසංසනීයයි.

යුද්ධය නිමා වී වසර 3 ක් ගෙවුනද රණවිරුවන් කළ උදාර මෙහෙවර ජනතා සිත්වලින් වියැකී ගොස් නෑ. සෑම වසරකම පවත්වනු ලබන රණවිරු කොඩි අලෙවියට දක්වන ජනතා ප්‍රසාදය තුළින් ඒ බව ඔප්පු කර පෙන්වා දී තිබෙනවා. මධ්‍යම පළාතේ රණවිරු කොඩි අලෙවියෙන් සෑම වසරකම රුපියල් ලක්ෂ දහයක මුදලක් රණවිරු සේවා අධිකාරියට අපි ලබා දෙනවා.

මේක ජනතා කැමැත්ත සහ ඔවුන් තුළ ඇති ගෞරවය. ජනතා ගෞරවය පෙරදැරි කරගෙන මේ භුක්ති විඳින නිදහස අපි සදා රැකගත යුතුයි.

මෙහිදී සෙංකඩගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මියගිය සහ ආබාධිත අණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පනස් දෙනෙකු සම්බන්ධ කර ගනිමින් ස්වයං රැකියා වැඩමුළු පැවැත්විණි.

මේ අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්, සෙංකඩගල විදාතා මධ්‍යස්ථාන භාර නිලධාරිනී නයනා විජේරත්න මහත්මිය ඇතුළු රණවිරු ඥාතීහු සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා