එප්පාවල මැඩියාවේ මහවැලි කඳවුරු භූමිය වල්බිහි වෙලා

එප්පාවල මැඩියාවේ මහවැලි කඳවුරු භූමිය වල්බිහි වෙලා

එප්පාවල නගරයේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි මැඩියාව ගම්මානයේ අක්කර පනහක භූමි භාගයකින් යුත් මහවැලි කඳවුර පාළුවට ගොස් ඇත.

මෙම ඉඩමේ ගොඩනැඟිලි හතළිහක් - පනහක් ඉදිකර ඇත. ප්‍රයෝජනයට ගන්නා ගොඩනැගිලි කීපය හැරෙන්නට කෝටි ගණන් වටිනා ගොඩනැගිලි පාළුවට ගොස් දිරාපත්වී ගරා වැටෙමින් පවතී.

ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ නිල නිවාස ලෙස ඉදිකරන ලදැයි සැලකිය හැකි ගොඩනැගිලිවල විදුලි පංකා, යතුරු තහඩු, වැසිකිළි කට්ටල, දොර ජනෙල් ආදිය අතුරුදන් වී ඇත.

හැටේ දශකයේ මහවැලිය ඉදිකළ යුගයේ මැඩියාව මහවැලි කඳවුරේ ගොඩනැගිලි ඉදිකර ඇති අතර නඩත්තුවක් නැතිකමින් ගරා වැටෙමින් පවතී. ලෝක බැංකුවෙන් ණයට ගෙන මහවැලි ගොඩනැගිලි ඉදිකර ඇත.

මහවැලි එච්. කලාපය භාරව හැටේ දශකයේ සිට මේ දක්වා නේවාසික ව්‍යාපාර කළමනාකාරවරු 15 දෙනකු වරින්වර පත්වී ඇත. නිලධාරීන් 400ක් කලාපයේ සේවයේ යෙදී සිටිති.

අක්කර පනහක් තරම් වූ සුවිශාල ඉඩම වනගත වෙමින් පවතී. ඉඩම අලි ඇතුන්ගේ සහ කුළු හරකුන්ගේ තිප්පොළක් වනු ඇත.

මැඩියාවේ ගම්වැසියෝ ඉඩමේ හරක් බඳිති. ප්‍රදේශයට කිරිහරක් බෙදාදෙන සත්ත්ව ගොවිපලක් හැටියට මේ ස්ථානය දියුණු කළ හැකි නම් ප්‍රදේශයට යහපතක් ය.

එප්පාවල මහවැලි කොට්ඨාසයේ ගොවි සංවිධාන තිහක් පමණ පවතී. මේවා හවුල් කරගෙන මෙම ඉඩම සංවර්ධනය කොට ආදර්ශ ගොවිපොළක් සමග ගොවීන් ප්‍රායෝගිකව පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට මෙය පත් කළ හැකි නම් ප්‍රදේශයට ප්‍රයෝජනවත් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා