මුද්‍රණය සඳහා

 
පන්විලතැන්න ගරාජ බංකරයක සීනි කරිඤ්ඤං කම්හලක්

පන්විලතැන්න ගරාජ බංකරයක සීනි කරිඤ්ඤං කම්හලක්

පෙර වැරදි 22ක් ඇති සැකකරුවෙක් අත්අඩංගුවට

ගම්පොළ, පන්විලතැන්න කඩවීදියේ ඇති ගරාජයක් තුළ භූගත බංකරයක කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන යන ලද මහා පරිමාන සීනි කරිඤ්ඤං මි.ලී.ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ගම්පොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. බස්රථ ධාවනය වන මහා මාර්ගය අයිනේ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක පවත්වාගෙන යන මේ ගරාජය තුළ දකින අයට මෙහි සිදුවන දෑ වසන්වන අයුරින් ගරාජ වල මත මෝටර් රථයක් නවතා ඒ තුළ ඇති බංකරයේ මේ සීනි කරිඤ්ඤං සකස්කොට තිබේ.

ගරාජයට ඉහළින් ඇති ප්‍රධාන සැකකරුට අයත් සුවිශාල නිවස තුළින් නළ මාර්ගයක් උපයෝගි කරගනිමින් සකස්කරන ලද සීනි කරිඤ්ඤං ගරාජ් වල තුළ ඇති විශාල බැරලයට දැමීමත් පදම සකස් වූ පසු නල මගින් එම සීනි කරිඤ්ඤං පිටතට ගෙන අලෙවි කිරීමත් සිදුකොට ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

ත්‍රිරෝද රථ ගාලක් නිවාස හා වෙළඳසැල මෙන්ම තේ කම්හලක් ද සහිත විශාල ජනාකීර්ණ ප්‍රදේශයක පවත්වාගෙන යන ලද මේ නීති විරෝධි සීනි කරිඤ්ඤං අලෙවි මධ්‍යස්ථානය පිළිබඳව ප්‍රදේශවාසීන් පවා පොලිසියට නොදැන්වීම පිළිබඳව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය මවිතයට පත්ව ඇති අතර, මිනිසුන්ගේ රැකවරණය නිසා සමාජයේ සිදුවන නීති විරෝධි ක්‍රියා මැඩලීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත්තේ මෙවැනි සිදුවීම් නිසා බව ගම්පොළ පොලිස් ස්ථානාධිපති චන්ද්‍රා ජයවීර මහතා සඳහන් කෙළේ ය. මේ ප්‍රධාන සැකකරුට පෙර වැරදි 22 ක් ද ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර, ඔහු විශාල නිවසක් ඉදිකර සුඛෝපභෝගි ජීවිතයක් ගත කළ අයෙක් බවද හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පොළ ප්‍රධාන මහේස්ත්‍රාත් උපාලි ගුණවර්ධන මහතා වෙත ඊයේ (02) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ගම්පොළ කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප්‍රනාන්දු, ස.පො.අ.චූලනි වීරරත්න, ගම්පොළ පොලිස් ස්ථානාධිපති චන්ද්‍රා ජයවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ උ.පො.ප.එස්.අක්බාර් , පො.සැ. 65229 අජිත් විජේකෝන් , පො.සැ. 55747 විජයරාමන්, පොලිස් කොස්තාපල් වරුන් වන 33128 දිසානායක, 61208 උපාලි, 45215 රෝහණ, 87838 තිළිණ, 6384 උපාලි යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]