මුද්‍රණය සඳහා

 
යතුරුපැදිය නැවතුවැයි මුදලාලි පොලිස් නිලධාරියාගේ අත සපා කාලා

යතුරුපැදිය නැවතුවැයි මුදලාලි පොලිස් නිලධාරියාගේ අත සපා කාලා

කසිප්පු තොගයක් යතුරු පැදියකින් ගෙන යමින් සිටි අයෙක් අත්අඩංගුවට ගැනීමට තැත්කළ වනාතවිල්ලුව පොලිසියේ කොස්තාපල්වරයෙකුට පහරදී අත සපාකා පලා යෑමට තැත් කර ඇත. මෙය දුටු ප්‍රදේශවාසීන් පොලිසියට දන්වා ඇත. ක්‍රියාත්මක වූ වනාතවිල්ලුව පොලිසිය ඒවා ප්‍රවාහනය කරමින් තිබූ යතුරු පැදියත් සමඟම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

ඉකුත් 01 වැනි දින සවස කසිප්පුත්, යතුරුපැදියත් සමඟ සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – මන්නාරම පාරේ 11 කණුව ප්‍රදේ්ශයේ දී ය.

රාජකාරී කටයුත්තකට පුත්තලම අධිකරණයට පැමිණ එම රාජකාරි නිමවී ආපසු යමින් සිටි වනාතවිල්ලුව පොලිසියේ කොස්තාපල් 76697 ජයතිස්ස මහතා එසේ වනාතවිල්ලුව පොලිසිය බලා යමින් සිටින විට, මන්නාරම් පාරේ 11 කණුව ප්‍රදේශයේ දී සැකකටයුතු ලෙසින් යමක් ප්‍රවාහනය කරමින් තිබූ යතුරු පැදි කරුවෙකු දැක, එය පරීක්‍ෂා කිරීමට තැත් කළ අවස්ථාවේ යතුරු පැදිකරු පොලිස් කොස්තාපල්වරයාට පහර දෙමින්, පලා යෑමට උත්සාහ කර ඇත.

මෙය දුටු අසල්වාසීන් මේ බව දුරකථන මගින් වනාතවිල්ලුව පොලිසියට දන්වා ඇති අතර, වහා ක්‍රියාත්මක වූ එම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් එම ස්්ථානයට පැමිණ ඇත. එම පොලිස් කණ්ඩායම පැමිණෙන විටත් සැකකරු පොලිස් නිලධාරියාගේ අතක්ද සපා කා, ඔහු සමඟ පොර බදමින් සිට ඇති අතර, කසිප්පු ඩ්‍රෑම්ස් 160 කුත්, යතුරුපැදියත් සමඟ සැකකරු එම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුව ගෙන ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ අතර, වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]