වරදට සමාව දෙන බව පවසා මංගල යෝජනා පුවත්පත්වල පළකර

වරදට සමාව දෙන බව පවසා මංගල යෝජනා පුවත්පත්වල පළකර

කාන්තාවන් 37ක් අමාරුවේ දැමූ ‘ගලිගමුවේ අනංගයා’ රිමාන්ඩ්

භාෂා 10 ක් කතා කරන්න හැකිලු

කාන්තාවන් 5 ක් විවාහ කර ගෙන

සති අන්ත පුවත්පත් මගින් වැන්දඹු කාන්තාවන්ට විවාහ යෝජනා කරමින් ගණකාධිකාරිවරියන්, ගුරුවරියන් ආදි රජයේ ඉහළ තනතුරු දරන කාන්තාවන් 37 කු ඇසුරු කොට ඔවුන් රවටා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ අයෙකු නුවරඑළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් සමන් ජී.කාරියවසම් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කෙළේ ය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ පදිංචි ගම්ලත් ආරච්චිලාගේ අශෝක නැමති 36 හැවිරිදි අයෙකි.

මොහු විවිධ භාෂාවන් 10 ක් පමණ කථා කිරීමට හැකි අයෙකු වන අතර, විවාහයන් 05 ක් ද සිදු කරගෙන සිටින පුද්ගලයෙකු ද වේ. සැකකරුගේ මවද සහයෝග කරගනිමින් සෑම සති අන්ත පුවත්පතකම දැන්වීම් දමා ඇත්තේ, වදරට සමාව දී කාන්තාවන් විවාහ කරගන්නා බවය.

එසේම සැමියා හැර ගිය හෝ මිය ගිය වැන්දඹුවන් කෙරෙහි දක්වන අනුකම්පාව මත ඔවුන්ට ජීවිත සහකරුවකු බවට පත්වී රැකවරණය දීමට සූදානම් වූ මේ පුද්ගලයා පිළිබඳව විශ්වාසය තැබූ රටේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් මොහුගේ පිහිට පැතීමට ගොස් මේ වංචාවන්ට හසුව තිබේ.

මෙම කාන්තාවන් හඳුනාගන්නා මොහු ඔවුන් සමීපව ඇසුරු කොට හෝටල් හෝ තානායම් වලට පවා රැගෙන ගොස් ඇති අතර, ඇසුරු කිරීම අතරතුර එම කාන්තාවන්ගේ දේපළ හා මුදල්වලට මෙසේ වංචාකොට තිබේ. කෙසේ හෝ විවිධ උපක්‍රම මගින් මේ කාන්තාවන්ගෙන් මුදල් ලබාගෙන ඇති මොහු කාන්තාවන් 37 කු මේ ලෙස මුලාකොට රුපියල් ලක්ෂ 85 කට අධික මුදලක් වංචාකොට ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

බොහෝ කාන්තාවන් තමාට සිදුව ඇති අවමානය නිසා මොහුට විරුද්ධව නීතියේ පිහිට පැතීමට නොගොස් ඇති අතර, මොහුට හසුවූ පොලිස් කාන්තාවක් ඒ සම්බන්ධව නුවරඑළිය පොලීසියට කළ පැමිණිල්ලකට පසු මෙම සිද්ධියේ සුලමුල අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

නුවරඑළිය කොට්ඨාස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී මතුරට, ස.පො.අ.සී.ඩබ්.රාජපක්ෂ හා නුවරඑළිය පොලිස් ස්ථානාධිපති කමල් රණවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත විශේෂ වංචා විමර්ශන අංශයේ උ.පො.ප. ජී.එම්.ජෝතිපාල, පො.සැ. 2776 ජයරත්න, පො.සැ. 55727 උදයකුමාර, පො.කො. 54432 සුසන්ත යන නිලධාරිහු පරීක්ෂණ පැවැත්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා