ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කර ධර්මරාජ විදුහලට දරුවකු ඇතුළු කිරීමට තැත් කළ අය හසුවෙයි

ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කර ධර්මරාජ විදුහලට දරුවකු ඇතුළු කිරීමට තැත් කළ අය හසුවෙයි

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අස්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ලිපියකින් මහනුවර ධර්මරාජ විදුහලට දරුවකු ඇතුළත් කිරීමට උත්සාහ කළ පුද්ගලයකු මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙහිදී සැකකරු සතුව තිබී ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ලෙසින් සැකසූ ව්‍යාජ ලිපි දෙකක්ද පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

දෙවන වසරට සිසුවකු ඇතුලත් කිරීම සඳහා මහනුවර ධර්මරාජ විදුහල්පති එස්. එම්. කීරිතිරත්න මහතා වෙත අධ්‍යාපන ලේකම්වරයාගේ ලිපියක් බව පවසමින් ව්‍යාජ ලිපිය සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ එම ලිපිය හා අධ්‍යාපන ලේකම්වරයාගේ අස්සන පිළිබඳ සැකසිතූ විදුහල්පතිවරයා අධ්‍යාපන ලේකම් එච්. එම්. ගුණසේකර මහතාට එම මොහොතේම දුරකථනයෙන් කතා කර ලිපිය ෆැක්ස් කර යැවීමෙන් පසු එය ව්‍යාජ අස්සන්යෙදු ලිපියක් බවට තහවුරු කර ගෙන ඇත.

තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි අදාළ ව්‍යාපාරිකයා පිළිබඳ විදුහල්පතිවරයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්පති ආනන්ද විජේසුරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් මෙහි පරීක්ෂණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා