නිදහසේ සැබෑ අරුත අනාගත පරපුරට අත්කර දෙමු

නිදහසේ සැබෑ අරුත අනාගත පරපුරට අත්කර දෙමු

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මුළු රටම නිදහසේ පරම සතුට භුක්ති විඳින මේ මොහොතේ ඒ සඳහා ජීවිත දේපළ කැප කළ සියලු රණවිරුවන් සහ එයට නායකත්වය දුන් සියලු දෙනා කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නාමිකව නිදහස ලැබූ අපේ මාතෘභූමිය තිස් වසරක් පුරා පැවැති ත්‍රස්ත උවදුරු පරාජය කිරීමෙන් පසුව සැබෑ නිදහස කරා අද වන විට ගමන් කරමින් සිටී.

නිදහසේ සැබෑ අරුත අනාගත පරපුරට අත්කරදීම සඳහා ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට ගොඩනැඟීමට සියලු දෙනා පටු වාද භේදවලින් තොරව එකට එක්ව කටයුතු කළහ.

හැට හතර වැනි නිදහස් සමරුව හා එයට සමගාමීව අද (04) ආරම්භ වෙන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පිළිබඳව ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි ඇමැති තිස්ස කරල්ලියැද්ද මහතා සමඟ කළ සංවාදයකි මේ.

මෙවර නිදහස් සමරුව අනුරාධපුරයේ පැවැත්වෙනවා. අනුරාධපුරයේ උපන් කෙනෙකු හැටියට මේ අවස්ථාව ඔබගේ දිස්ත්‍රික්කයට ලබාදීම පිළිබඳව ඔබට දැනෙන හැඟීම් මොනවා ද?

සතුරු වෙඩි ශබ්දයෙන් එදා ඇළලී ගිය අනුරාධපුරය අද නිදහස් වෙඩිමුර 21 ක් ගුවනට මුදා හරින මොහොතේ රජරට අපට දැනෙන සතුට, පී‍්‍රතිය වචනයෙන් කිව නොහැකි තරම් අති මහත්.

වලිසිංහ හරිස්චන්ද්‍ර පිළිරුව පිහිටි මේ මාවතේ මා ඉතාම කුඩා කාලයේත් මෙයට පෙර නිදහස් සැමරුමක් පැවැත් වුණා. අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිඳුන් සමඟ මා එදා ඒ උත්සවයට සහභාගි වුණේ හරිම සතුටකින්.

අද සමරන නිදහස අපට අත් පත් කර දුන් මේ රටේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනපතිඳුන් ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීමට ක්‍රියා නොකළා නම් අපට මෙසේ නිදහස සමරන්ට පුළුවන් ද?

නිදහස ලැබී ගත වූ කාලයෙන් හරි අඩක්ම අපට ගත කරන්නට සිදු වුණේ ත්‍රස්තවාදීන් විසින් ඇති කළ අවිනිශ්චිත බිය සමඟයි.

අප මොහොතක් මෑත අතීතය දෙස අවධානය යොමු කළහොත් අපට සිහිපත් වෙන දෙය තමයි 2005 ජනපතිඳුන් මේ රටේ බලයට පත්වෙන විට රට තිබුණ තත්ත්වය.

එදා රට දෙකඩ වෙලා තිබුණේ, ඊනියා සාම ගිවිසුමෙන් රටෙහි කොටසක් ත්‍රස්තවාදින්ට ලියා දිලා තිබුණා පමණක් නොවෙයි, දකුණේ පත්වෙන රාජ්‍ය නායකයාට උතුර, නැඟෙනහිර පාලනය කළ නොහැකි තත්ත්වයක් පැවතුනා.

මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය තුරන් කර වසර තුනහමාරක් වැනි කෙටි කාලයකින් මේ රටින් ත්‍රස්තවාදය පරාජය කර කැඩී - බෙදී - වෙන්වී තිබූ රට සිංහ කොඩිය සෙවණට ගෙන ඒමට අපේ ජනාධිපතිතුමාට හැකි වුණා.

ත්‍රස්ත උවදුරට ඍජුවම මුහුණ දුන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනයාට කරන ගෞරවයක් සේ සලකා මෙවර නිදහස් උළෙල සහ දැයට කිරුළ රජ රටට ලබාදීම වෙනුවෙන් හදපත්ලෙන්ම ස්තුතිය එතුමාට පිරිනමනවා.

කැබිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක ගම්වැසියන් විශාල පිරිසක් ඝාතනයට ලක් වුණා. ඒ ඔබගේ ආසනයේ ජන කොටසක්. එවැනි බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට නොහැකි ලෙස ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම තුළින් අද ඒ ගම්වල ජනයාට දැනෙන සහනය කෙබඳු ද?

එදා අහිංසක නිරායුධ ගම්වැසියන්, මගේ ඥාතීන් මෙන්ම මගේ ඡන්ද දායකයන් විශාල පිරිසක් අමානුෂික ලෙස ඝාතනයට ලක් කළා. අද නිදහස සමරන මොහොතේ ඒ මිය ගිය අය අප සහෝදරත්වයෙන් සිහිපත් කරන්ට අවශ්‍යයි. ඔවුන් එදා දිවි දුන්නේ මේ මාතෘ භූමියෙන් ත්‍රස්තවාදය පළවා හැරීමේ දැඩි අවශ්‍යතාවය අපට කියාපාමින්.

අපේ රටේ හුඟ දෙනෙකුට අතීතය ඉක්මනින් අමතක වෙනවා. ඒ නිසා ඔබ ඔය ප්‍රශ්නය මතුª කළ එක මා අගය කරනවා.

මට මතකයි, එදා ඒ සිද්ධියෙන් මියගිය අහිංසක පුතණුවන් දෑතට ගෙන ගම්වැසි තරුණයකු එතැනට පැමිණි ජනපතිඳුන්ගෙන් මෙවැනි දරුවන් වෙනුවෙන් සිතා ත්‍රස්තවාදය නිමා කරලා මේ රටට නිදහස ලබා දෙන්න කියා හඬගා කීවා.

ජනතාවට ආදරය කරන, දරු දුක හඳුනන ජාතියේ පියා වශයෙන් එදා හැඟුම්බරව ජනපතිඳුන් ත්‍රස්තවාදයෙන් රට ඉක්මනින් මුදා ගන්නා බවට පොරොන්දුවක් දුන්නා.

ඒ අනුව එතුමා අපේ රට අපට නිදහස් කරදී තිබෙනවා.

මේ නිදහස හොඳින් දැනෙන්නේ එදා කොටින්ගේ බෝම්බ, වෙඩි ප්‍රහාරවලට මුහුණ දී සිටි අහිංසක ගම්වැසියන්ට යි.

ඔවුන් අද නිදහසේ ගොවිතැන් බත් කරගෙන දුවා දරුවන් පාසල් යවමින් සතුටින් ජීවත් වෙනවා. රටක ජනතාවගේ නිදහස කියන්නේ මේකයි. මේ තත්ත්වය ඔය නගරවල ඉන්න අයට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කොටින්ට රට දෙකඩ කරලා දුන්නේ. සැබෑ වශයෙන්ම අද අපේ ජනතාව නිදහස් ජාතියක්.

අපේ අය පමණක් නොවෙයි, අපේ දිස්ත්‍රික්කයට යාබදව තිබෙන උතුරේ ජනතාවත් අද නිදහසේ සිය ජීවන වෘත්තීන්වල යෙදෙනවා. මා පසුගිය දිනෙක වඩමාරච්චියටත් ගියා. රජයේ ඇමැතිවරයකු එයට කළින් ඒ ජනතාව හමුවට ගිහින් නැහැ. ඔවුන් ඉතා හොඳින් අප සමඟ කතා බස් කළා. ගැටලු ඉදිරිපත් කළා.

ත්‍රස්තවාදයෙන් උතුරු - නැඟෙනහිර ජනතාවත් පීඩාවට පත්වෙලායි සිටියේ. ඔවුන්ගෙන් ත්‍රස්තවාදීන් බදු අය කළා. ත්‍රස්තවාදින් නඩු ඇහුවා, පොලිසි පවත්වාගෙන ගියා. දරුවන් ළමා සොල්දාදුවන් සේ බඳවා ගත්තා. මේ ත්‍රස්තවාදීන්ගෙන් දෙමළ - මුස්ලිම් ජනතාවටත් තිබුණේ බරපතළ පීඩනයක්.

නිදහස සමරන අද දවසේ රටට, හා ජාතියට, අනාගතයේ මුහුණපෑමට සිදුවෙන අභියෝග තිබෙනවා ද? ඒ මොනවා ද?

අප අද දවස කැප කරන්නේ මේ රටේ අනාගත පරම්පරාවට හොඳ රටක්, නිදහස් මාතෘ භූමියක් උදා කර දෙන්ටයි.

ත්‍රස්තවාදය පරාජයට පත් කළත්, ඔවුන්ගේ මූලයන් තවමත් ක්‍රියාත්මක වෙනවා.

ත්‍රස්ත ක්‍රියාවලට යාන්ත්‍රක වූ විශාල ජන කොටසක් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයට හුරුවීමට කාලයක් ගත වෙනවා.

ඔබ දන්නවා මේ රටේ, උතුරේ පමණක් නොවෙයි දකුණේත් මෙවැනි ප්‍රචණ්ඩකාරී භීෂණ අවස්ථා දෙකකට අප මුහුණ දුන්නා. ඒ 1971 සහ 1989 දී එදා ඒ තත්ත්වයට මූලික වූ කොටස් අද වන විට ප්‍රචණ්ඩත්වය අතහැර, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දහරාවට එකතු වී සිටිනවා.

ත්‍රස්තවාදී ක්‍රියාවලට නායකත්වය දුන් අය ශාරීරිකව මේ රටේ පරාජයට පත් කිරීමට හැකි වුවත් ඔවුන්ට උඩ ගෙඩි දුන්, ඔවුන්ට මූල ධනය සැපයු, ඔවුන්ට සෑම සියලු අංශවලින් උදව් උපකාර කළ දේශීය හා විදේශීය බලවේග අදටත් ක්‍රියාත්මක වෙනවා.

මේ රටේ ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ රට පාවා දෙමින් සිටිනවා. අපේ රටේ සේනාධිනායකයා ලෝකයේ කිසිම බලවතකුට කිරීමට බැරි වූ ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා රටේ අනාගත පුරවැසියන් වන ළමා පරපුර වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ආරම්භ කළේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුවයි. ඒ අනුව මේ රටේ බහුතර ජනතාව තුළ ළමුන් කෙරෙහි දැඩි අවධානය යොමු කරන සුබවාදී සමාජ පෙරළියක් ඇති වුණා.

ළමා පරපුරේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් අපේ අමාත්‍යංශය අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අනුව පෙර පාසල් අධ්‍යාපනය රටේ විධිමත් කිරීමට පියවර ගනිමින් ඉන්නවා.

පෙර පාසල් ගුරුවරියන්ට අවශ්‍ය පුහුණුව හා භෞතික පහසුකම් අප ලබා දෙනවා. ඒ අතරතුර ළමයින් නොයෙකුත් සමාජ විරෝධි ක්‍රියාවලට යොදා ගැනීම් පිළිබඳවත් අපේ අවධානය යොමු කර තිබෙනවා.

ළමා අපචාර හා කාන්තා හිංසනය බොහෝ කාලයක සිට අපේ රටේ පැවතුනා. ත්‍රස්ත ක්‍රියා පැවැති කාලයේත් තිබුණා. වෙනස තිබෙන්නේ ඒවා ඒ කාලයේ අද වගේ වාර්තා වුණේ නැහැ. ළමා අපචාර හා කාන්තා හිංසනය අවම කිරීම සහ නැවැත්වීම සඳහා පවතින අණ පනත් සංශෝධනය කර නව නීති රීති පැනවීමට ඉදිරියේ දී පියවර ගන්නවා.

ළමා ආරක්ෂක අධිකාරිය විසින් හඳුන්වා දුන් 1929 හදිසි ඇමතුම් අංශයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙය පැය 24 පුරා භාෂා තුනෙන්ම ක්‍රියාත්මක යි. පැමිණිලි ගලා ගෙන එනවා.

ළමා ගැටලුවලට මුලින්ම වගකීම පැවරෙන්නේ මවුපියන්ටයි. අපේ ළමා කාලයයි, අද ළමා කාලයයි හරිම වෙනස්. එදා අප තුළ පැවැති ගුරු භක්තිය අද ළමයින් තුළ තිබෙනවා ද? පවුලෙන් ළමයා නිවැරැදි මඟට යොමු කළ යුතුව තිබෙනවා.

ළමුන් නොමඟට යොමු කරන දේවල් අද සමාජයේ බහුලයි. අපේ සමාජ පද්ධතියේ කඩා වැටීමක් දක්නට ලැබෙනවා. දේශපාලනඥයන්, පූජක පක්ෂය, සමාජ නායකයන්, නීතිය ක්‍රියාවට නංවන අය මේ තත්ත්වය තේරුම් ගෙන ළමයින් යහ මඟට ගැනීමට වගකීමෙන් ක්‍රියා කළ යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමි.

වරින් වර සිදු කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංවිධාන ළමයින්ගේ මනසට පීඩාවක්. ඉතිහාසය, සාහිත්‍ය ඉගැන්වීම නැවැත්වීමත් ළමයින් ගේ මානසික සංවර්ධනයට බාධාවක් වුණා. ගුරුවරුන් තුළත් එදා තිබූ පිරිච්ච බවක් අද දකින්නට නැහැ. ගුරුවරුන්ගේත් ආකල්පය වෙනස් වෙන්නට ඕන.

මෙවර දැයට කිරුළ සංවර්ධන හා අධ්‍යාපන ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ඔබේ දිස්ත්‍රික්කයේ දී යි. කොහොමද දැයට කිරුළ අනුරාධපුර ජනතාවට දැනෙන්නේ?

මෙය රජරට සංවර්ධනයට විශාල රුකුලක් ගමට දැනෙන සංවර්ධනයක් මේ මගින් ඉටු වෙනවා.

විදුලිය, මාර්ග, වැව්, අමුණු, පාසල්, ආගමික ස්ථාන, ආරෝග්‍ය ශාලා අංග සම්පූර්ණ වෙනවා. ප්‍රධාන නගරයට අඩු පාඩුවක්ව පැවැති සම්මන්ත්‍රණ ශාලාවක් දැයට කිරුළට සමගාමීව ඉදි වුණා. බස් නැවතුම්පළ අංග සම්පූර්ණ වුණා. නගරයේ සියලුම මාර්ග අලුතින් ඉදි වුණා.

සියලුම අඩු ආදායම් ලාභී පවුල්වලට නිවාසවල තාවකාලික වහල වෙනුවට ස්ථිර වහලයක් ලබා දෙනවා. මේ වැඩ සටහන් මගින් පවුල් 50000 කට ස්ථිර වහලවල් සහිත නිවාස ලැබෙනවා. පානීය ජල යෝජනා කිහිපයක් ක්‍රියාවට නැංවෙනවා.

සෑම පාසලකටම වැසිකිළි පහසුකම් හා පරිගණක පහසුකම් ලැබෙනවා. පෙර පාසල් සියල්ල විධිමත් කෙරුණා.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයට මේ “දැයට කිරුළ” ලබා දීමෙන් අපේ ජනතාවට වසර 10 කින් ඉටු කළ නොහැකි දැවැන්ත සංවර්ධනයක් ඉටු කෙරුණා.

දැයට කිරුළ පැවැත්වෙන ඔයාමඩුව ගම්මානය බටහිර අනුරාධපුර ආසනයේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යි. මෙය අති දුෂ්කර ගම්මානයක්. මේ ප්‍රදර්ශනය නිසා ඒ ප්‍රදේශයත් අවට ප්‍රදේශත් ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කෙරුණා.

එපමණක් නොවෙයි, වසර 30 ක් තිස්සේ ත්‍රස්තවාදයෙන් බැටකමින්, වෙන්වී කොන්වී සිටි රජරට වැසියා කෙරෙහි ජනපතිඳුන්ගේ සිට සියලු දෙනා ගේ අවධානය යොමු වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනපතිඳුන්ටයි, රජයටයි, විශේෂ ස්තුතියක් පිරිනමනවා.

නිදහස සමරන අද දවසේ ඔබ ඒ වෙනුවෙන් රටට දෙන පණිවුඩය කුමක් ද?

අපට රටේත් ජාතියේත් හෙට දවස වෙනුවෙන් අද දවස කැප කරන්ටයි සිදු වෙලා තිබෙන්නේ.

පශ්චාත් යුද සමයක් ගත කරන අපට අද රට සහ ජාතිය ගොඩනැඟීමේ ජාතික වගකීම පැවැරී තිබෙනවා.

ත්‍රස්තවාදය පරාජය කළ ජනපතිඳුන්ට මේ රට සංවර්ධනය කර ආර්ථික වශයෙන් සහ ජාත්‍යන්තර බලපෑම්වලින් නිදහස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා එතුමා සැලසුම් කර තිබෙන අනාගත සංවර්ධන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට පක්ෂ, පාට, භේදවලින් තොරව සියලු දෙනා එක්ව සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. එය රට වෙනුවෙන් කරන ත්‍රස්තවාදීන් පෝෂණය කරමින් ලෝකයේ රටවල් අර්බූදකාරී තත්ත්වයට පත් කරමින් සිටින රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට නොහැකි වූ නිසා ඔවුන් දැඩි ද්වේශයෙන් හා අකමැත්තෙන් පසු වෙනවා. ඒ අනුව තවමත් අපේ රටට නොයෙකුත් ජාත්‍යන්තර බලපෑම් එල්ල කරමින් ජනපතිඳුන් ඇතුලු ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් අය අපහසුතාවයන්වලට ලක් කිරීමට උත්සාහ දරනවා. දේශප්‍රේමි ජනතාව මේ තත්ත්වය තේරුම් ගත යුතුව තිබෙනවා. එසේම ඒ පවිටු අධම බලපෑම් පරාජය කිරීමට අප සැවොම එක්විය යුතුව තිබෙනවා.

මේ රටේ ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි ඇමැතිවරයා හැටියට රටේ නිදහස සමරන මේ මොහොතේ ළමුන් සහ කාන්තාවන් සඳහා ඔවුන්ගේ යහපත වෙනුවෙන් කුමනාකාරයේ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කරන්නේ?

ජාතික යුතුකමක් සේ සලකා වසර 30ක් තිස්සේ අඩපණ වූ රටේ සංවර්ධනය කෙටි කලකින් ළඟා කර ගැනීමට අප සියලු දෙනා අත්වැල් බැඳ ගනිමු කියන එකයි.