ශ්‍රී ලාංකේය ජාතියේ ආකල්පමය වෙනසක්

ශ්‍රී ලාංකේය ජාතියේ ආකල්පමය වෙනසක්

බෞද්ධ, හින්දු සමාජවල පමණක් නොව කිතුනු ජන සමූහයන් තුළද දේශාභිමානී සිතිවිලි පහළ විණි. එහි ප්‍රතිඵලයක් ලෙස කිතුනු සභාව තුළ දේශීයකරණ Indegenous ප්‍රතිපත්තියක් ඇති කරනු ලැබිණි. ඒ අනුව කිතුනු සභාවන්ද දේශීයකරණය සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබූ බව කිතුනු සභා ඉතිහාසය තුළ පැහැදිලි වෙයි. තවදුරටත් ඉදිරියට ගිය අප රාජ්‍ය නායකත්වය 1972 මැයි මස 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කරගනු ලැබිණි. ඒ අනුව අප මව්බිම “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස නම් කරනු ලැබිණි. ආර්ථිකමය වශයෙන් කෘෂිකාර්මික ප්‍රතිපත්තීන් රැසක් අනුගමනය කරනු ලැබිණි.

ශ්‍රී ලංකාව පෘතුගීසීන් විසින් ආක්‍රමණය කරනු ලැබුවේ ක්‍රි.ව. 1505 දීය. අප ඉතිහාසයට අනුව ඊට පෙරද විවිධ අන්දමේ සොලී ආක්‍රමණ වැනි ආක්‍රමණ අප රටට එල්ලවී තිබූ බවට අප ඉතිහාසය දෙස් දෙයි. එම අවස්ථාවලදීද අප රජදරුවන් මව්බිම ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කර ගැනීමට සටන් දියත් කළහ.

එම නිදහස් සටන් තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබන්නේ දුටුගැමුණු මහා නිරිදාණෝය. එම නිදහස් සටන් සියුම්ව අධ්‍යනය කළහොත් එතුමාගේ සටන් කලාව ඉතා ගාම්භීරය. එම සටන් සඳහා සියලු ජනතාව එතුමා සංවිධාන ගත කළේය.

එතුමා තෝරාගත් දසමහ යෝධයන් ඇතැම් විට කාලය අපතේ යැවූ අයවළුන්ය. නැතහොත් පූජාවලියේ දැක්වෙන ආකාරයට “තල්ගස් තම්පලා ගස් මෙන් උදුරා දැමූ” අයවලුන්ය. ඒ සියලු දෙනා නිවැරැදි දැක්මකට ගෙනෙනු ලැබුවේ ගැමුණු කුමාරයාණන්ය. රට එක්සේසත් කළ එතුමා ශ්‍රී ලාංකේය ජන ජීවිතය බතින් ,බුලතින් ස්වයංපෝෂිත කිරීම සඳහා දියුණු වාරි ක්‍රම බිහි කළේය. එතුමාගේ දෙවැනි සංග්‍රාමය වූයේ කෘෂිකාර්මික සංග්‍රමායයි. 1505 පෘතුගීසීන්ගෙන් පසු ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කළහ. ලන්දේසීන්ගෙන් පසු ඉංග්‍රීසීන් සිරිලක් ද්වීපය ආක්‍රමණය කරන ලදී. 1815 කන්ද උඩරට ගිවිසුම තුළින් මුළු මහත් ශ්‍රී ලංකාද්වීපයම ඉංග්‍රීසීන්ට යටත් විය. එදා සිට රටට ආදරය කළ සිරිලක් නායකයෝ නැවත වතාවක් ශ්‍රී ලාංකේය ජාතියේ නිදහස පතා සටන් දියත් කළහ. මෙම සටන් ප්‍රධාන ධාරාවන් දෙකක් ඔස්සේ ඉදිරියට ගිය අතර ඉන් එකක් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණමය ධාරාවන් ඔස්සේ ඉදිරියට ගෙන යන ලදී. අනෙක් ධාරාව වූයේ පූර්ණ නිදහසක් පතා කරන ලද අරගලයන්ය. කෙසේ වුණ ද එම නිදහස් සටන්වලදීසිංහල, දමිළ, මුස්ලිම් ජනතා නායකයන් එක්ව සටන් කිරීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණි. එෆ්. ආර්. සේනානායක, ඩී.එස්. සේනානයක, ආරුමුගම් නාවලර්, සිද්ධි ලෙබ්බේ මින් කිහිප දෙනෙක් පමණකි’ එම සටන්වල ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයක් දිගින් දිගටම ඇතිවීම අප ලත් ජයග්‍රහණයන්ය.

ඒ අනුව කෝල්බෲක් යෝජනා , මැනිං , මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් ඇති විය. නිල නොලත් මන්ත්‍රී සංඛ්‍යාව වර්ධනය විය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විකාශනයේ ප්‍රධානතම සංධිස්ථානයක් 1931 ඩොනමෝර් සාමිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තුළින් අපට හමුවේ. එහිදී සර්ව ජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට ලැබීමත් කමිටු හතක් තුළින් අදාළ විෂයන් ලේකම්වරුන් හත් දෙනෙකු මගින් ක්‍රියාත්මක කිරීමත් අපට හමු වෙයි. 1947 සොල්බරි ආණ්ඩකු‍්‍රම ප්‍රතිසංස්කරණය තුළින් තවදුරටත් ඉදිරියට ගොස් 1948 පෙබරවාරි 04 වන දා ශ්‍රී ලංකාද්වීපයට දේශයට නිදහස ලැබිණි. ඉන් අනතුරුව දේශය තුළ ජාතිකාභිමානය වර්ධනය විය.

බෞද්ධ, හින්දු සමාජවල පමණක් නොව කිතුනු ජන සමූහයන් තුළද දේශාභිමානී සිතුවිලි පහළ විණි. එහි ප්‍රතිඵලයක් ලෙස කිතුනු සභාව තුළ දේශීයකරණ ධ්දඤඥඨඥදධභඵ ප්‍රතිපත්තියක් ඇති කරනු ලැබිණි. ඒ අනුව කිතුනු සභාවන් ද දේශීයකරණය සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබූ බව කිතුනු සභා ඉතිහාසය තුළ පැහැදිලි වෙයි. තවදුරටත් ඉදිරියට ගිය අප රාජ්‍ය නායකත්වය 1972 මැයි මස 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කරගනු ලැබිණි. ඒ අනුව අප මව්බිම “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස නම් කරනු ලැබිණි. ආර්ථිකමය වශයෙන් කෘෂිකාර්මික ප්‍රතිපත්තීන් රැසක් අනුගමනය කරනු ලැබිණි.

නොබැඳි මාවතක ගමන් කරනු ලැබිණි. ඒ සියල්ල වෙනස් කරමින් 1978 විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය පිහිටුවාගනු ලැබිණි. ඒ අනුව විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය විණි. එම ප්‍රතිපත්තිය ගෝලීයකරණයටත්, පෞද්ගලීකරණයටත් වඩාත් සමිප එකක් විය. ඉන් අනතුරුව ශ්‍රී ලාංකේය ජන සමාජය ගමන් කරනු ලැබුවේ අඳුරු දශක තුනක් දෙසටය. කුරිරු, අමානුෂික ත්‍රස්තවාදී යුද්ධයක් අපරට තුළ ක්‍රියාත්මක කෙරිණි. ගම් නියම්ගම්වලට පැන අප සොයුරු සොයුරියන් සිත් පිත් නැතිව කපා කොටා දැමූ කුරිරු ත්‍රස්තවාදියෝ, මගීන් ප්‍රවාහනය කරන බසයක් බසයක් පාසා, දුම්රියක් දුම්රියක් පාසා දිගට හරහට බෝම්බ තබන්නට වූහ. ඇතැම් විට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පසු බැසීමට සිදු විය.

ඒ තරමටම ත්‍රස්තවාදී ක්‍රියා දරුණු විය. උතුරට යාමට කිලාලි කළපුව වැනි හොර පාරවල් භාවිතා කළ යුතුª විය. ඒ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විශේෂ අවසරයක් ගත යුතු විය. උතුරෙන් දකුණට පැමිණීමට ද එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාවට ඉඩනොදෙන ලදී. බිම්බෝම්බ දිගින් දිගටම අටවා යාල්දේවි දුම්රිය හා එම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විසන්ධි කරන ලදී. මෙම ඛේදනීය තත්ත්වයේදී අප මවුපියෝ, සොයුරු සොයුරියෝ, දූදරුවෝ අපෙන් සදටහම සමුගත්හ. අමාරුවෙන් හදාවඩාගත් ගේදොර ඉඩකඩම් , හරකාබාන සියල්ලම අපට අහිමි විය.

කෙත්වතුවල මෙහෙකරන ගොවීන්ව අමානුෂික ලෙස ඝාතනය කරන ලදී.

අවසානයේ අප ඊළාම් රජ්‍ය ලබාදී හෝ මේ තත්ත්වයෙන් මිදීම ලබාගත යුතුයැයි යන මානසික තත්ත්වයකට පත්විය.

අපි නොසිතූ විරූ ලෙස ශ්‍රී ලාංකේය ජන සමාජයට නැවතත් ස්වර්ණමය යුගයක් දකින්නට හැකි විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ එම සිහිනය සැබෑ කිරීමට ආරක්ෂක ලේකම්තුමා ඇතුළු රණවිරුවෝ සමත් වූහ.

අපට දැන් නිදහසේ උතුරට යා හැකිය. උතුරේ පිරිස් බියක් සැකක් නැතිව දකුණට පැමිණෙති. උතුරේ නිෂ්පාදන දකුණට එවති. ඒවාට හොඳ මිලක් ලැබෙයි. උතුරු පළාතේ මෙන්ම නැඟෙනහිර ජනතාවද කෘෂිකාර්මික ක්ෂේත්‍රය කෙරෙහි වැදගත් ප්‍රවේශයක් කරනු ලැබ ඇත.

බසයේ,දුම්රියේ, කාර්යාලයේ නිදහස්ව සිටිය හැකිය. පොලිස් ස්ථානවලත්, රාජ්‍ය ආයතනවලත් සියලු වැටකඩොලු ඉවත්කර ඇති අතර එම ආයතන සියල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාකරණය වී ඇත. 1948 වර්ෂයටත් වඩා ශ්‍රී ලාංකේය දේශයට නිදහස් අර්ථවත් වී ඇත්තේ වර්තමානයේය. දැන් අපි නිදහස් නිවහල් ජාතියක් ලෙස සිරිලක් දේශයෙහි ජීවත්වෙමු. මෙම නිදහස කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් බලන නව අධිරාජ්‍යවාදීන් හෙවත් ලෝක පොලිස්කාරයන් ඒ සඳහා විවිධ කුමන්ත්‍රණ ආරම්භ කිරීමට මාන බලති. ජනාධිපතිතුමාගේ වචනය අනුව මෙරටේ බහුතරයක් හෝ සුළුතරයක් නොමැතිය. ඇත්තේ රටට ආදරය කරන පිරිස සහ රටට වෛර කරන පිරිසය. අද අප රටට ආදරය කරන අය සහ රටට උගුල් අටවන අය නිවැරැදිව හඳුනා ගත යුතු වෙමු. එම කුමන්ත්‍රණකාරී වංචනික බලවේගවලින් අපගේ මව්බිම බේරා ගැනීමට වේගයෙන් පෙළගැසිය යුතු වෙමු.

තවත් ලෙසකින් ශ්‍රී ලාංකිකයන් වන අප දෙවනිවරටත් නිදහස් කරනු ලැබූ ශ්‍රී ලංකාව තුළ ආකල්පමය වෙනසකට භාජනය වෙමු. රට වෙනුවෙන් යම්කිසි කැප කිරීමක් සෑම පුරවැසියෙක්ම කළ යුතු වෙයි. එය අප රට අනාගතය මීටත් වඩා සෞභාග්‍යමත් කිරීමටය.

රජයේ සේවයේදී තමන්ට ලැබෙන වරප්‍රසාදයන් සියල්ල භුක්ති විඳිමින්, අඩුපාඩු හා අයිතිවාසිකම් ගැන පමණක් සිතමින් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමට පමණක් උත්සාහ කිරීම සුදුසු නොවේ. දැනට ජාතික භාෂා ප්‍රතිපත්තියක් සකස් වෙමින් පවතියි. සිරිලක් දෙරණේ ජීවත් වෙන අපි එකිනෙකාගේ භාෂාවන් අධ්‍යනය කළ යුතු වෙමු. සංස්කෘතීන් අධ්‍යනය කළ යුතු වෙමු. ඒවාට ගරු කළ යුතු වෙමු. වැටුප් වර්ධනයන් ලබා ගැනීමට පමණක් හෝ තනතුරු ලබා ගැනීමට පමණක් දෙමළ භාෂාවේ වදන් කිහිපයක් කටපාඩම් කරගැනීම ප්‍රමාණවත් නොවේ. දෙමළ භාෂාව, දෙමළ ජනතාවගේ සිතුම් පැතුමන් සමඟ එකට අධ්‍යනය කළ යුතුය. එවිට අපගේ නිදහස සදාකාලික එකක් කළ හැකිවනු ඇත. නිලධාරී වාදයෙන් මිදීම, තමන් වෙතට පැමිණෙන සියලු දෙනා තමන්ගේ ම ජාතීන් ලෙස කල්පනා කිරීම රාජ්‍ය නිලධාරීන්ට වැදගත් වෙයි. පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ගුරුවරයාත්, රජයේ කාර්යාලය තුළ සිටින නිලධාරියාත් තමන්ගේ ආකල්ප රටේ උන්නතිය පිණිස වෙනස් කළ යුතුය. විහාරස්ථානත්, අනෙකුත් ආගමික මධ්‍යස්ථානත් පෙරටත් වඩා සමාජගතවීමේ අවශ්‍යතාවය වර්තමානයේ ඇත.

දේවස්ථානවල ආරක්ෂක වැඩපිළිවෙළවල් ශක්තිමත් කොට ජනතාවගෙන් ඈත්වීමට වෙහෙස දැරීම නිදහස් චින්තනයට සුදුසු නොවේ. ආචාර ධර්මවල නැතහොත් ප්‍රතිමාණවල බිඳ වැටීමක් ඇත්නම් ඒවා සකස් කළ යුත්තේ සියලු ආගමික පූජ්‍ය පක්ෂයන්ය. කැඩී බිඳී විනාශ වූ ප්‍රතිමාණ පද්ධතිය සකස් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් පල්ලියෙන් හා පන්සලෙන් ආරම්භ විය යුතුය.

මෙ සියල්ල තුළ පැවසෙන්නේ වර්තමාන ශ්‍රී ලංකාවට උචිත අයුරින් ආකල්පමය වෙනසක් , කැපවීමක් එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවා වෙනුවට අප අධ්‍යාත්මය තුළින්, මනස තුළින් ශරීරය තුළින් ඇති කළ යුතු බවයි. එවිට දෙවනි වරටත් නිදහස් වූ ශ්‍රී ලංකාවේ අනාගතය නැතහොත් මතු පරපුරේ අනාගතය මීටත් වඩා සුඛිත මුදිත වන බව සක්සුදක් සේ පැහැදිලි වෙයි.