දැයට කිරුළ ආරම්භයේ සිට අද දක්වා

දැයට කිරුළ ආරම්භයේ සිට අද දක්වා

ශ්‍රී ලාංකීය ජාතිය ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ධෛර්යවන්ත ජාතියක් බව ලොව හමුවේ ප්‍රකාශ කිරීම දැයට කිරුළ ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනයේ අරමුණයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ වසර 2005 න් ඇරඹි “අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ” පැතුම් ඉටුවන බව මේ ප්‍රදර්ශනයෙන් විදහා දැක්වේ.

වසර 2007, පෙබරවාරි මස 04 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා භූමි පරිශ්‍රයෙන් ඇරඹි මේ මහා ප්‍රදර්ශනය මෙවර අනුරාධපුරය, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඔයාමඩුව ගොවිපළ භූමියේ පැවැත්වෙනුයේ හයවැනි වරටය.

ශ්‍රී ලාංකීය අපට කළ නොහැක්කක් නොමැත. අපට දිනන්නට අපහසු කිසිවක් නොමැත යන්න ලොවට ප්‍රදර්ශනය කිරීම, අතීත ශ්‍රී විභූතිය යළි මව්බිමට කැඳවීම, අසමතුලිත ප්‍රාදේශීය සංවර්ධනය තුලිත කිරීම දැයට කිරුළ ප්‍රදර්ශනය මගින් අපේක්‍ෂිත ඉලක්කයන්ය.

මෙවන් භාරදූර වගකීමක් විශ්වාසයෙන් යුතුව සංවිධානය කිරිමේ අවස්ථාව ජනාධිපතිතුමා විසින් එදා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැතිවරයා වූ වත්මන් විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට භාර දුන්නේය.

වසර 2005 න් පසු ඇරඹි මහින්ද රාජපක්‍ෂ ජනපතිඳුන්ගේ පාලන සමයේ අප රටට අත් වූ ආරක්‍ෂක, දේශපාලන, සාමාජයීය සහ ආර්ථික ජයග්‍රහණ මේ ප්‍රදර්ශනයෙන් විදහා දැක්වේ.

වසර 2006 ජූනි මස 19 වැනිදා නැඟෙනහිර පළාතේ මාවිල්ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීමේ අරමුණින් මානුෂීය මෙහෙයුම ඇරඹිණි. එලෙස ඇරඹි මෙහෙයුම දිනෙන් දින අඩියෙන් අඩියෙන් කොටි මර උගුල් බිඳ දමා ජාතියට නිදහස උරුම කර දෙන තෙක් පැවැත්විණි. එහි අවසානය දක්නට ලැබුණේ 2009 මැයි මස 22 වැනි දින එල්. ටී. ටී. ඊ. නායක ප්‍රභාකරන්ගේ ජීවිතය විනාශ කිරීමෙන් පසුවය.

මේ කාලවකවානුවේ කොටි ත්‍රස්තවාදීහු මුළු වෙර යොදා රට භීෂණයට පත් කිරීමට ක්‍රියා කළ ද මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු සාමය ලැදි ජනතාව වෙත මරණ බිය මුදා හළ කොටි ත්‍රස්තවාදී තැන තැන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, සමූල ඝාතන සිදු කළහ.

රජයේ දැක්ම

එවන් අභාග්‍ය සම්පන්න කාල වකවානුවක වුව අප රටේ ආරක්‍ෂාව, සංවර්ධනය සහ සමාජ සුබසාධනය යන අංශ තුනම එක හා සමානව ඉදිරියට ගෙන යෑම ජනාධිපතිතුමා ප්‍රධාන රජයේ දැක්ම විය. ඒ අනුව යමින් රට වේගවත් ආර්ථික දියුණුවකට යොමු කළ බව මෑත ඉතිහාසය පිළිබඳව මැදිහත් විවරණයක් සිදු කරන ඕනෑම අයකු පිළිගන්නා සත්‍යයකි.

රටේ ත්‍රස්තවාදය කිය කියා සංවර්ධනය හෝ ජනතා සුබසාධනය හෝ අතපසු නොකළ සහ මඟ නොහැරිය රජයක් ලෙස කටයුතු කළ අපි, බටහිර රටවල් විසින් අසමත් රාජ්‍යයකැයි ලංකාව නම් කොට තිබෙන විට ඉන් රට මුදා ගැනීමට කටයුතු කළ බව මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත.

එවන් දුර්මුඛ වූ ජාතියක නවෝදය, පිබිදීම පිළිබඳව සහ අභිමානය විදහා දැක්වෙන යමක් සිදු කරන්නැයි ජනාධිපතිඳුන් අප හට උපදෙස් ලබා දුනි. ඒ අනුව දැයට කිරුළ ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනය ඇරඹිණි.

මේ වන විට සියයට අටක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඇති ශ්‍රී ලංකාව ආර්ථික වර්ධන වේගය අතින් දෙවැනි වනුයේ ආසියා කලාපයේ චීනයට සහ ඉන්දියාවට පමණි. සියයට අටේ වර්ධනයත් සමඟ රටේ සෑම පළාතකම සිදුව ඇති ආර්ථික, යටිතල පහසුකම්වල දියුණුව, මහජන උපයෝගීතා පහසුකම්වල නවෝදය සහ ගුණ ගරුක සමාජයක් බිහිවී තිබෙන අයුරු මේ ප්‍රදර්ශනයෙන් එළිදැක්වේ.

දැයට කිරුළ ප්‍රදර්ශනය

ජාතියේ සංවර්ධනය ඊයේ, අද හා හෙට යන තුන්කල් දැක්ම එළිදැක්වෙන මෙවර ප්‍රදර්ශනය අනුරාධපුරය දිස්ත්‍රික්කයට පමණක් නොව, උතුරුමැද, නැඟෙනහිර, උතුරු, වයඹ පළාත්වල පිබිදීමකට ද මඟපාදනු ඇත.

දැයට කිරුළ ප්‍රදර්ශනයට ඉදි කරන ස්ථිර ගොඩනැඟිලි අතුරින් තුනක් අංගසම්පූර්ණ වී ගබඩා ලෙස ගොවි ජනතාවට තිළිණ කෙරිණි.

දැයට කිරුළ ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන විසිඑක් දහසක වියදමක් දරා සංවර්ධන කටයුතු සිදු කෙරේ.

අනුරාධපුර නගරයට හා ඉන් පිටවන ප්‍රධාන මාර්ග සියල්ලම කාපට් කොට වැඩි දියුණු කෙරේ. ඊට අමතරව පළාත් සභා, මාර්ග, ග්‍රාමීය මාර්ග අලුත්වැඩියා කෙරේ.

ඔයාමඩුව ප්‍රදේශයේ දිගු කලක් තිස්සේ පැවැති පිරිසිදු පානීය ජලය නොමැතිකමට විසඳුමක් ලෙස ඝන අඩි තිස්දහසකට අධික ස්ථිර ජල පද්ධතියක් තිළිණ කෙරේ.

මේ වසර අවසන් වන විට අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සෑම නිවසකට ම විදුලි බලය ලබා දේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම නිවසක්ම උළු හෝ තහඩු සෙවිලි කළ නිවාස බවට පත් කෙරේ. ඒ අනුව උළු කැට 1000 ක් ලබාගැනීමට මුදලක් ලබා දේ.

ක්‍රීඩාවට දක්‍ෂ අනුරපුර දරුවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග බිම ජය ගැනීමට පහසුකම් නැංවීමට අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදි කෙරේ.

කලාව හා සංස්කෘතික පුනරුදය ඇති කිරීමට ආසන 1000 ත් 1500 ත් අතර ප්‍රමාණයක් සහිත නවීන අංගෝපාංගවලින් සැදුම්ලත් රංග ශාලාවක් ඉදි කෙරේ.

දුෂ්කර පාසල්

දුෂ්කර පාසල්වල දරුවනට පරිගණක හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබාදීමට පරිගණක සම්පත් මධ්‍යස්ථාන, පාසල් පරිගණක විද්‍යාගාර 100 ක් ඉදි කෙරේ.

සෞඛ්‍ය අංශයේ නවෝදය පිණිස අඩු පහසුකම් සහිත ප්‍රදේශ හඳුනාගෙන සායන මධ්‍යස්ථාන 50 ක් ආරම්භ කෙරේ.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පිහිටි වැව් අමුණු පිළිසකර කෙරේ.

අලි - මිනිස් ගැටුම අඩුකරලීම සහ වනෝද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් වැය කෙරේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසීමට තිබෙන එක් පිවිසුම් දොරටුවට අමතරව තවත් පිවිසුම් දොරටුවක් විවෘත කෙරේ. එය තන්තිරිමලේ ඉදි කෙරේ.

විල්පත්තුව ජාතික වමෝද්‍යානයේ අක්කර තුන්ලක්‍ෂ එකහමාරින් දැනට ප්‍රයෝජනයට ගනු ලබන්නේ අක්කර ලක්‍ෂ දෙකකි. ඉතිරි අක්කර ලක්‍ෂ එකහමාර දියුණු කෙරේ.

සංචාරක බංගලා 10 ක් ඉදි කෙරේ. රිටිගල – උඩවලව වැනි ඇත් අතුරු සෙවණ මධ්‍යස්ථාන හතරක් අලුතින් ඉදි කෙරේ.

සංචාරක ක්ෂේත්‍රයේ නව අවස්ථා උදාකිරීම මෙහි අරමුණයි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 40 ක් දියුණු කෙරේ.

අංග සම්පූර්ණ ගොවි කෞතුකාගාරයක් ඉදිකෙරේ.

නවීකරණය

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පිහිටි පැරැණිම වැව් වන බසවක්කුලම, අභය වැව, තිසා වැව, නුවර වැව, නාච්චිදූව වැව, හුරුළු වැව ඇතුළු මහා පරිමාණ වැව් 100 ක් නවීකරණය කෙරේ. කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කෙරේ.

අනුරාධපුරය, ඔයාමඩුව දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලුම දෙනාට අවශ්‍ය සියලු පහසුකම් දැනටමත් ඉදි කර ඇත. ආරක්‍ෂාව, රථවාහන නතර කිරීමේ පහසුකම්, ආහාරපාන, පිරිසිදු පානීය ජල පහසුකම් ඉහළ නංවා ඇත.

පාසල් ඇඳුමින් සැරසී පැමිණෙන දරුවනට, ගුරුවරුනට දැයට කිරුළ ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට පහසුකම් සපයා තිබේ.

ප්‍රදර්ශන භූමියේදී යම් හදිසි අනතුරකට පත්වුවහොත් එයට වන්දි ලෙස මුදල් ගෙවීමට සෑම අයෙකුටම රුපියල් ලක්‍ෂ 10 ක රක්‍ෂණාවරණයක් ලබා දී තිබේ.

දැයට කිරුළ ප්‍රදර්ශනයේ සාර්ථකත්වයේ රහස ජනමාධ්‍යවල ඉහළ දායකත්වය ලැබීමයි. ඒ නිසා ප්‍රදර්ශන භූමියේ ඉතා සැලකිය යුතු ඉඩක් ජනමාධ්‍යයට ලබා දී ඇත.

ජනමාධ්‍යය

මෙවර දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ විශේෂිත මාධ්‍ය කලාප තුළ පෙර වසරවල මෙන් සෑම මාධ්‍ය ආයතනයකටම තනි තනි ප්‍රදර්ශන කුටි ලබා දී තිබේ.

ඒවායේ ඉදිරිපත් කරන ජනතාවාදී වැඩසටහන් වෙනදාටත් වඩා නැවුම් හා නිර්මාණාත්මක ඒවා වන බවට කිසිදු සැකයක් ද නොමැත.

දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට ජනපතිඳුන්ගේ පටන් ජනාධිපති ලේකම්වරයාගේ පටන්, සෑම ජනතා නියෝජිතයකුම, සෑම රාජ්‍ය නිලධාරියෙක්ම කැපවී සිටිති. එමෙන්ම ලක්වැසි ජනතාව මේ වැඩපිළිවෙළ වටා අත්වැල් බැඳගෙන ඇත.

ඒ නිසාම අප ජාතියේ පෞඪත්වය “ආශ්චර්යයේ පුනරාගමනය” මැයෙන් මෙවර වඩාත් උත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් පැවැත්වෙනු ඇත. අපි ඊට හදවතින්ම සුබ පතමු.