නිදහසේ සැබෑ ඵල ලබන්නට නම්...

නිදහසේ සැබෑ ඵල ලබන්නට නම්...

ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන විවිධ ජාතීන්වලට අයත් ජන කොටස් තුළ තමා ශ්‍රී ලාංකිකයකුය යන හැඟීම ජනිත වන ආකාරයට රට තුළ ඇති කරනු ලබන වෙනස්කම් ඉතා වැදගත් වනු ඇති බව මගේ හැඟීමයි. මූලිකවම මේ සඳහා විවිධ ජන කොටස්වලට සිදුවන්නා වූ ඉතා සුළු සුළු අඩුපාඩු පවා වඩාත් ඕනෑකමින්, හඳුනා ගනිමින් සහ නිවැරැදිව අවබෝධ කරගනිමින් ඒ සඳහා අවශ්‍ය දේශපාලන වෙනස්කම් නොපිරිහෙලා ඉටු කිරීමටත් ව්‍යවස්ථාමය පිළියම් නොපමාව යෙදීමටත් පියවර ගත යුතුය. තවද මේ සඳහා මිනිසුන්ගේ සිත්සතන් තුළ මෙන්ම චින්තනයේ ද සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා සුදුසු වැඩසටහන් හඳුන්වා දිය යුතු බව මගේ හැඟීමයි.

අප මව්බිමේ ඉතිහාසය දෙසට ආපසු හැරී බලන විට දී ලංකාවේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය, සහ ඒකීයභාවය මෙන්ම ජනතා නිදහසට තර්ජන සහ බලපෑම් එල්ල වූ අවස්ථා මෙන්ම අපගේ නිදහස අඩු වැඩි වශයෙන් වියැකී ගිය අවස්ථා රැසක් පවතින බව පෙනී යයි. 1505 වර්ෂයේදී සිදු වූ පෘතුගීසීන්ගේ ආක්‍රමණයත් 1602 වර්ෂයේදී සිදු වූ ලන්දේසීන්ගේ ආක්‍රමණයට මෙන්ම 1815 දී ඉංග්‍රීසීන්ගේ පූර්ණ යටත් විජිතයක් බවට පත්වීමත් මෙහිලා ඉතා වැදගත් සන්ධිස්ථානයන් ලෙස හුවා දැක්විය හැකිය.

මීට අමතරව විටින් විට සිදු කෙරුනු සොලී ආක්‍රමණයන් මගින් ද ඒ ඒ අවස්ථාවලදී රටේ නිදහසට එල්ල වූ තර්ජන සුළු කොට සැලකිය නොහැකිය. තවද 1971 දී ඇති වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදී ද රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ නිදහසට එල්ල වූ තර්ජනයන්ද මව් දෙරණ හෙල්ලුම් කෑ තවත් අවස්ථා 2 කි.

මව්බිමේ නිවහල්බව සහ ජනතාවගේ නිදහස උදෙසා කරන ලද්දා වූ සටන පිළිබඳ අනේකවිධ සාධක ලක් ඉතිහාසය පුරා දැකගත හැකිය.මෙහිදී ලක් ඉතිහාසයේ පළමු නිදහස් සටන ලෙස සඳහන් වී ඇති උඩරට රදළ ප්‍රධානීන්වන වීර කැප්පෙටිපොල දිසාවේ ඇතුළු පිරිස්වල නායකත්වයෙන් 1818දී පැන නැගුණු ඌව වෙල්ලස්ස සටන මෙන්ම 1848 වර්ෂයේදී රටේ සාමාන්‍ය ජනතාව අතරින් පැන නැගුණු වීර පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, කුඩහපොල හිමි ආදී පිරිස නායකත්වය සැපයූ නිදහස් අරගලය ආදිය කදිම උදාහරණ ලෙස පෙන්වාදිය හැකිය.

මේ සෑම තර්ජනයකදීම ශ්‍රී ලාංකීය ජනතාව ජාති, කුල, ආගම් භේදවලින් තොරව ධෛර්යසම්පන්න ලෙස එක්සත්ව එක්සිත්ව එකා මෙන්ම සටන් වැද මව්බිමේ මෙන්ම ජනතාවගේ නිදහස ආරක්ෂා කර ගැනීමට සමත් වූ බව අප සැම දෙනා දන්නා කරුණකි.

කෙසේ වෙතත් 1948 පෙබරවාරි 4 වැනි දින බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසු සහ ශ්‍රී ලාංකික ජනතාව මෙන්ම අප මව් බිම රටක් ලෙස මුහුණ දුන් වඩාත් ම දරුණු වූද අභියෝගාත්මක වූද තර්ජනය වන්නේ උතුරුකරයේ හටගත් 30 වසරක් පුරා ඇදී ගිය ජාතිවාදී ම්ලේච්ඡ යුද්ධයයි. එමගින් මව්බිමේ ස්වෛරීභාවයට ස්වාධීනත්වයට මෙන්ම ඒකීයත්වයට සහ ජනතාවගේ නිදහසටද එල්ල වනු ලැබුවා වූ තර්ජන අපරිමිත බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවනු ඇත.

මෙම යුද්ධයේදී ලක් මාතාවට අහිමි වූ ජීවිත ගණන හා දේපළවල වටිනාකම මිල කළ නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි.

පසුගිය දශක 3 ක කාල වකවානුව යළි සිහිපත් කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ උතුරේ ඇති වන්නට යෙදුනා වූ දෙමළ ජාතිවාදී ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිසා ඇති වූ ඛේදවාචකය කිසි දිනක අවසන් කළ නොහැකි, ශ්‍රී ලාංකීය ජනතාව මත පතිත වූ සදාකාලික ව්‍යසනයක් ලෙස පෙන්වා දීමට විවිධ කොටස් උත්සාහ කිරීමයි.

ලක් දෙරණේ ගම් දනව් සිසාරා යුද්ධයේ බියකරු බව ගලා යද්දී මෙම කුරිරු යුද්ධය මෙහෙය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය මොනයම්ම ජගතකුට හෝ පරාජය කළ නොහැක්කක් ලෙස බටහිර සුපිරි බලවේග මෙන්ම බටහිරට ගැතිකම් කරන්නාවූ දේශීය බලවේග විසින් ද පුන පුනා ප්‍රකාශ කරන්නට යෙදුනි.

කෙසේ වෙතත් නැවත වරක් මිනිස් නිදහස හා රටේ ස්වාධීනත්වය පිළිබඳ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ කැපවීම පෙන්නුම් කරමින් තිස් අවුරුද්දක් පුරා ඇදී ගිය ජාතිවාදී යුද්ධය මුලිනුපුටා දැමීමට මේ මොහොත වන විට ලක් ජනතාව සමත් වී ඇත.

මෙම අද්විතීය විජයග්‍රහණය කරා රට මෙහෙයවමින් ඒ සඳහා සපයන ලද අසමසම වූද එඩිතර වූද රටේ දේශපාල නායකත්වයත්, විරෝදාර ත්‍රිවිධ හමුදාවන්ගේ ධෛර්යය හා කැප කිරීමත් මුළු මහත් ජනතාවගේ පෙළ ගැසීමත් නිදහස ලබා 64 වසරක් සපිරෙන මෙම අවස්ථාවේදී පැසසීමට ලක් කළ යුතු කරුණකි.

කෙසේ වුවද සැබෑ නිදහස වඩාත් අර්ථවත් වන්නේ දේශපාලන මෙන්ම සමාජ සංස්කෘතික හා ආර්ථික වශයෙන් ජනතාව ශක්තිමත් වන්නේ නම් පමණි.

මා සිතන ආකාරයට අප ඉදිරියේ ඇති සැබෑ වූ අනාගත අභියෝග විශ්ලේෂණාත්මකව මෙන්ම විවෘත මනසකින් යුතුව සලකා බැලීම පරිපූර්ණ නිදහස කරා යන ගමන වඩාත් සාර්ථක කර ගැනීමට ඉවහල් වනු ඇති අතර 64 වන නිදහස් සැමරුම එයට ස්වර්ණමය අවස්ථාවක් කර ගැනීම අගනේ යැයි මම සිතමි.

එලෙස බලන කල්හි අප ඉදිරියේ ඇති අභියෝග ප්‍රධාන වශයෙන් එක හා සමාන වැදගත්කමකින් යුක්ත වන්නා වූ කරුණු 3 ක් ඔස්සේ පෙළ ගැස්විය හැකි බව මම අදහස් කරමි.

ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන විවිධ ජාතීන්වලට අයත් ජන කොටස් තුළ තමා ශ්‍රී ලාංකිකයකුය යන හැඟීම ජනිත වන ආකාරයට රට තුළ ඇති කරනු ලබන වෙනස්කම් ඉතා වැදගත් වනු ඇති බව මගේ හැඟීමයි.

මූලිකවම මේ සඳහා විවිධ ජන කොටස්වලට සිදුවන්නා වූ ඉතා සුළු සුළු අඩුපාඩු පවා වඩාත් ඕනෑකමින්, හඳුනා ගනිමින් සහ නිවැරැදිව අවබෝධ කරගනිමින් ඒ සඳහා අවශ්‍ය දේශපාලන වෙනස්කම් නොපිරිහෙලා ඉටු කිරීමටත් ව්‍යවස්ථාමය පිළියම් නොපමාව යෙදීමටත් පියවර ගත යුතුය.

තවද මේ සඳහා මිනිසුන්ගේ සිත්සතන් තුළ මෙන්ම චින්තනයේද සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා සුදුසු වැඩසටහන් හඳුන්වා දිය යුතු බව මගේ හැඟීමයි.

මෙය වඩාත් අපහසු මෙන්ම ඉතා දුෂ්කර වූද කරුණක් බව අවබෝධ කර ගත යුතු වන අතර ඒ සඳහා ජනතාව පෙළ ගැස්වීම දැඩි අධිෂ්ඨානයකින් යුතුව සිදු කළ යුතුව ඇත.

ඊළඟ කරුණ ලෙස මා දකින්නේ නිදහසේ සැබෑ ඵළ ලබාගන්නට නම් ලෝකයේ කවර රාජ්‍යයකට හෝ දෙවැනි නොවන ආකාරයේ එහෙත් අපටම ආවේනික වූ දේශීයත්වය මුල් කරගත් මෙන්ම ගෝලීය වශයෙන් සිදු වන්නා වූ වෙනස්කම් අවබෝධ කර ගනිමින් ගොඩ නඟා ගන්නා ශක්තිමත් ආර්ථික පදනමක ඇති කර ගැනීමයි.

අතීතයේ නිදහස් උළෙල සැමරූ ආකාරය

ආර්ථික නිදහස හා ස්ථාවරත්වය රටක ස්වාධීනත්වය කෙරෙහි ප්‍රබල ලෙස බලපෑම් ඇති කරයි. ආර්ථික බෙලහීනතාවය උපයෝගී කරගනිමින් ලොව විවිධ ජාතීන් යටපත් කිරීමට ආර්ථික ශක්තිය අවියක් කර ගනු ලැබූ අවස්ථා ඉතිහාසය පුරා සුලබව දක්නට පුළුවන.

ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම උදෙසා එදා මෙදා තුර ක්‍රියාත්මක වූ විවිධ වැඩ සටහන් ඇතත් ශක්තිමත් ආකාරයෙන් අනාගත ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ හැකියාව අප තවමත් හිමිකරගෙන නොමැති බව පෙනී යයි. එබැවින් 64 වන නිදහස් දිනය සමරන මේ මොහොතේ වඩාත් ප්‍රායෝගික මෙන්ම සමෘද්ධිමත් ආර්ථිකයක් කරා අප මව්බිම මෙහෙයවීමට තිරව අදිටන් කර ගැනීම පාලක පන්තියේ මෙන්ම සහ සියලු රටවැසියාගේද වගකීම වන්නේය.

මෙහිලා විශේෂයෙන්ම වැදගත් වන්නේ ආර්ථිකයේ නව ලෝක රටාවන් අවබෝධ කර ගනිමින් හා චීනය, ජපානය, ඉන්දියාව ඔස්සේ ගොඩනැඟී එන නව ආර්ථික ආධිපත්‍යවාදය තේරුම් ගනිමින් අප රටේ ආර්ථිකය කාලයේ තාලයට ගැලපෙන අයුරින් හැඩගස්වා ගැනීමයි.

මේ සඳහා මූලික පදනම ලෙස මහින්ද චින්තන වැඩ පිළිවෙළ යොදා ගත හැකි අතර ශක්තිමත් මෙන්ම දැඩි අධිෂ්ඨානයකින් යුතුව එය ක්‍රියාත්මක කිරීමත්, ඉලක්ක ගත අරමුණු අත්පත් කර ගැනීම උදෙසා තියුණු ලෙස අධික්ෂණයකට ලක් කිරීමත් අත්‍යවශ්‍ය කටයුත්තකි.

අප රටේ නිදහසට වඩාත් බලපෑම් ඇති කරවන්නා වූ අනෙක් ප්‍රබල අභියෝගය වන්නේ ගොඩ නැගෙමින් පවතින නව ලෝක රටාව ඔස්සේ බටහිර අධිරාජ්‍යවාදී බලවේග අප වෙත බලහත්කාරයෙන් එල්ල කරමින් සිටින්නා වූ ආධිපත්‍යවාදයයි. බටහිර ලෝකයෙන් එල්ල වන බලපෑම්වල ඇති බැරෑරුම්කම ශ්‍රීී ලාංකිකයන් වශයෙන් 64 වන නිදහස් දිනය සමරන මේ මොහොතේ දී ඉතා ගැඹුරින් මෙන්ම දුරදක්නා නුවණින් යුක්තව කල්පනා කිරීම වඩාත් කාලෝචිත බව මගේ අදහසයි.

එසේ නොවන්නේ නම් සියවස් ගණනාවක් අප විසින් භුක්ති විඳීමින් පැවතියා වූ මිනිස් නිදහස සහ රටේ ස්වාධිනත්වය අප හට සඳහටම අහිමි වී යාමට ඉඩ ඇත. මෙහිදී තේරුම් ගතයුතු තවත් කරුණක් වන්නේ බටහිර සුපිරි බලවේග පිළිකෙව් කරන බව හඟවන්නා වූ ජාතිවාදය ඔවුන් විසින්ම මනා ලෙස කළමනාකරණය කරමින් අනෙකුත් ස්වාධීන රාජ්‍යයන්හි ජීවත් වන විවිධ ජන කොටස් අතර අසමගිය වපුරවමින් එම රටවල් යටපත් කිරීම උදෙසා උපක්‍රමශීලීව යොදා ගැනීමයි. මෙයට හොඳම උදාහරණ ලෙස ඉරාකය හා ලිබියාව ගෙන හැර දැක්විය හැකිය.

ඉරාකයේදී හා ලිබියාවේදී මෙන්ම අනෙක් බොහෝ රටවලදී ද බටහිර බලවේග විසින් සිදු කරනු ලැබ ඇත්තේ රට තුළ එක් ජන කොටසකට එරෙහිව තවත් ජන කොටසක් උසි ගන්වමින් යුදමය වශයෙන් ආධාර උපකාර කර තමාගේ පෞද්ගලික අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා එම රටේ ස්ථාවර භාවය හා නිදහස යටපත් කර දැමීමයි. ශ්‍රී ලංකාවේදී ද එම පිළිවෙතම අනුගමනය කරමින් අන්තවාදී එල්.ටී.ටී.ඊ.සංවිධානයට නොයෙක් අයුරින් අනියම් ආකාරයට උදව් උපකාර කිරීම අප විසින් අත්දුටු සත්‍යයක් බව නොකිව මනාය. මෙයින් ගම්‍යවන්නේ ජාති, කුල, ආගම් හෝ ගෝත්‍ර වශයෙන් එකිනෙකා බෙදෙමින් සිටිනාතාක් කිසියම්ම රටකට ස්වාධීනව නැඟී සිටීමට නොහැකි වන අතර බලවත් ජාතීන්ගේ බලපෑම්වලින් මිදී සිටීමට නොහැකි වනු ඇත.

හැටහතර වන නිදහස් දිනය සමරන මේ අවස්තාවේ දී ශ්‍රී ලාංකීය ජනතාව වන අපි මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් ජාති ආගම් කුල, භේදවලින් තොරව ශ්‍රී ලාංකීය යන අනන්‍යතාවය රැකගනිමින් ඉදිරි අනාගතය සඳහා මුහුණ දෙන්නට එක් සත්ව එක් සිත්ව පෙළ ගැස්සෙන්නට අදිටන් කර ගනිමු.