අභිමානවත් නිදහස සමරමු

අභිමානවත් නිදහස සමරමු

ශ්‍රී ලංකාව මහා භාරතයට ආසන්නව පිහිටා ඇති තමන්ගේම අනන්‍යතාව රැකගත් අති සුන්දර දිවයිනකි. හිමාලය තරම් විශාල නොවූවත් සමනලකන්ද ලෝක වාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ සිව් මහා ගංගාවන්ගේ නිජ භූමිය වන මහා පර්වත රාජයෙකි. මහා භාරතය තනපුඩුවක් නම් ශ්‍රී ලංකාව එහි කිරි බිංදුව වැන්න. ඒ බව පසක් කරමින් මුළු මහත් ශිෂ්ටාචාරයට අතිශය බලපෑමක් කළ බුද්ධ ශාසනය ආරක්ෂා වූයේ මෙසිරිලක තුළය. නිදහසේ පණිවුඩය සම්මත මතවලට එරෙහිව දැඩි දෘෂ්ටි ගතිකයන්ගේ චින්තනයටත් එරෙහිව ගිය නිදහසේ පණිවුඩය රැගත් ස්වාධීන දර්ශණයක් වූ බුදු දහමට මෙසිරිලක තෝතැන්නක් විය.

සම්බුදු දහමේ ඉගැන්වෙන සම්මා දිට්ඨිය වනාහී, පරම නිදහස කරා යන ගමනට මිනිසා යොමු කළා වූද, නිවැරැදි කල්පනාව තුළින් මඟ හෙළි පෙහෙළි කළා වූද ඒකායන මාර්ගය වූයේය. නිර්වාණය යනු සම්පූර්ණ නිවීමයි. සියලු දෙනාටම ඉහළම අධ්‍යාත්මික පාරිශුද්ධත්වය එක සේ ලබා ගැනීමට ලොව කිසිදු ආගමකින් ඉඩක් ලැබී නැත. එය ලැබී අත්තේ බුදු දහමින් පමණකි. බුදු දහමේ ආගමික ශාස්තෘන් වහන්සේ සහ අනුගාමිකයා අතර පූජකයෙක් නොමැත.

අනුගාමිකයෝ එනම් සිව්වනක් පිරිසම එකම මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරති. අප මහසඟරුවන ගිහියනට ඒ මඟ කියා දෙන්නේ තමන් හංස ලීලාවෙනි. ගිහියා එය අනුගමනය කරන්නේ මොණරකුගේ ලීලාවෙනි. කාලය දීර්ඝ වුව ද අප කාටත් පරම නිදහස සඳහා වන ගමන් මඟ වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. නිදහස ගැන කල්පනා කරන විට අපට මේ පසු බිම අමතක කළ නොහැකිය.

අපි දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියමු. ධර්මාශෝක රජ සමයේ බුදු සමය මෙරට මුල් බැස ගත් අවදියේ සිටම, වටිනා සංස්කෘතික උරුමයන් රැසක් අපට දායාද කොට ඇත. බුදු දහමින් ඔප් නැංවුණු අධ්‍යාත්මයත්, වටිනා සංස්කෘතික උරුමයක් වන භාෂාව, සාහිත්‍යය, කලාව ආදී සියල්ල තුළින් හෙළයන් හැඩ ගැසුනේ ගමේ පන්සල ඇසුරිනි. “කාලාම සූත්‍රය” ආදී දේශනාවන්ගේ ඉගැන්වීම් නිදහස්, නිවහල් ස්වාධීන චින්තනනයට අග්‍රස්ථානයක් ලබා දුනි.

පොළොන්නරු යුගයේ වූ සීගිරි චිත්‍ර හා සීගිරි ගී නිදහස් , නිවහල් චින්තනයේ ඵලයන් විය. භාරතයේ බිතු සිතුවම් පිරි අජන්තාව කොතරම් විශාල වුව ද එහි අපගේ සීගිරියේ මෙන් නිදහස් නිවහල් චින්තනයෙන් ජනිත වූ ප්‍රතිභාවෙන් බිහි වූ කැටපත් පවුරක් නැත.

පොළොන්නරු රාජ්‍ය සමය වන විට හින්දු ආගමේ බලපෑමත්, සොලී ආක්‍රමණත් අප දේශයට එල්ල විය. සිංහල බෞද්ධ චින්තනයේ අසදෘශ ස්වාධීන නිදහස් චින්තනය නිසා හින්දු කොවිල් 17ක් බෞද්ධ සමාජය අතර හින්දු ආගමිකයන් සඳහා රැකුණු ආකාරය එම නටඹුන් විසින් කියාපානු ලැබේ. හින්දු ආගමට සම්බන්ධ “විෂ්ණු” හා “ ස්කන්ධ කුමාර” යන දෙවිවරු බෞද්ධ ආරක්ෂක දෙවිවරු බවට පත් වූහ.

ප්‍රථම නිදහස් උළෙලේ එක් අවස්ථාවක්...

බෞද්ධ සංස්කෘතියේ හර පද්ධති උකහා ගත් නිදහස් ස්වෛරී චින්තනයෙන් හෙබි හෙළදිව ක්‍රිස්තු වර්ෂ 1505 දී පරංගි ආක්‍රමණවලින් පසුව ඇති වූ අධ්‍යාත්මික පරිහානිය නිසා අප රට යටත් විජිතයක් බවට පත්විය. අපට කැළණිය විහාරයත් දෙවුන්දර මහ දෙවොලත් එදා අහිමිව තිබිණ.

අප ප්‍රදේශයේ කොටසක් ලන්දේසී පාලනයට නතුව පැවති යුගයේ දී එම විදේශීයන්ගෙන් පවා ඉතා හොඳ නීති පද්ධතියක් උරුම කර ගැනීමට අපි සමත් වූවෝ වෙමු.

කතෝලික බැතිමතුන්ට හිරිහැර කරදර වන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් රැකවරණය ලබා දුනි.මාතලේ ප්‍රදේශයේ වහකෝට්ටේ පල්ලිය සාදා ගැනීමට කන්ද උඩරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉඩදීම මීට කදිම නිදසුනකි.

ඉංග්‍රීසි ජාතිකයන් මෙරට පාලනය කළේ කිසි දිනෙක ලක්වැසියනට රට ආපසු භාරදීමට සිතා ගෙන නොවේ. එහෙත් අපගේ ජාතික වීරයන්ගේ සටන, නිදහස සාක්ෂාත් කර ගන්නා තුරු නතර වූයේ නැත.

1815 මාර්තු 02 දින අප දේශය නිදහස් කර ගැනීමට කැප්පෙටිපොල ප්‍රධාන කන්ද උඩරට අපේ ජාතික වීරවරයන් ගෙන ගිය සටන කොතරම් ඵලදායී ද යන්න “බැතරස් සාමි” වරයාගේ සංදේශයෙන් පෙනී යන පරිදි ඉංග්‍රීසීන් වීර කැප්පෙටිපොල සමඟ සටන් කළේ ජය ගැනීමේ විශ්වාසයෙන් නොව තම නම්බුව බේරා ගැනීමට පමණකි.

සිංහල නායකයන්ගේ අසමගිය නිසා 1815 මාරත්ª 15 දින අප දේශය ඉංග්‍රීසින්ට භාර නොදී බැරි තත්ත්වයට පත් විය. විමුක්ති අරගලයක යෙදුණු 1818, 1848 යන වර්ෂ සනිටුහන් කරන්නේ අපේ ජනතාව ස්වාධීන රාජ්‍යයක් සඳහා ගත් ප්‍රයත්නයයි.

තම ආතා, මුත්තාගේ උරුමයට හිමිව තිබුණු සිංහලුනට අයත් ඉඩම් සිලිමට දෙකට සුද්දන් විසින් කොල්ලකා ගනු ලැබීමෙන් පසු ඒ ඉඩම්වල වගා කළ ආර්ථික බෝග ඇතුළත් බිම්වල කුලී වැඩ කිරීමට එදා අභිමානවත් නිදහස් නිවහල් චින්තනයෙන් සවිබල ගැන්වී සිටි සිංහලයා කැමති නොවීය. ඒ නිසා බ්‍රිතාන්‍යන්ට සිදු වූයේ ඉන්දියාවෙන් කුලියට වැඩ කරන මිනිසුන් ගෙන්වා ගැනීමටය.

පහත රට සිටි උගත් සිංහල තරුණයන් වැඩිදුර අධ්‍යාපනය ලබත්ම, ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය ආදියෙන් පන්නරය ලැබ දිරිමත් විනි. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ආචාර්ය එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ යන විප්ලවකරුවෝ භාරතයේ මහත්මා ගාන්ධිතුමන්ගේ විමුක්ති අරගලයේ ආභාසය ලැබ දේශයේ නිදහස වෙනුවෙන් නැඟී සිටියහ.

මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ඕල්කට්තුමා, සර්.ඩී.බී. ජයතිලක ආදී ජාතියේ වීරවරයන් එදා වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ගෙන ගිය නිදහස් සටන සිහිපත් කරමින් නිදහසේ සටනට නව පන්නරයක් ලබා දුන් ආකාරය අප සන්තානයේ සදා රැඳී පවතී.

1948 දී අප ලැබූ නිදහස අර්ථවත් වූයේ අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින් ත්‍රිකුණාමලය වරාය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමෙනි.

ඉන් ඉක්බිති 1970 දී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කර බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් ම මුදවා ගෙන නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත්කිරීම මගින් සැබෑ නිදහසක් අප රටට උදා විය.

මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් ආරම්භ වූ නිදහස් දේශයේ දේශපාලන ගමන් මඟෙහි දර්ශනයට පදනම් වූයේ මිහිඳුමාහිමියන් අප දේශයට දායාද කර දුන් සම්බුදු දහමයි. රටක් නිදහස ලබන්නේ ඒ රටේ ජනතාවගේ පොදු ඉරණම දේශයේ චින්තනය මත ගොඩනඟා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ සඳහා ඇප කැප වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ගනු ලැබූ තිරසාර බුද්ධිමත් තීරණ මත ක්‍රියා කළ රණවිරුවෝ තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයේ ශාපයෙන් අප රට බේරා ගත්හ.

මහින්ද චින්තනය තුළ ගැබ් වී ඇති හැම ඡේදයක්ම, හැම වැකියක්ම, හැම පදයක්ම අර්ථවත් කිරීමට ඇප වී, කැප වී, කටයුතු කිරීමට සැබෑ නිදහස සමරන මේ මොහොතේ අප අදිටන් කර ගනිමු.

ලෞකික වශයෙන් අප සෞභාග්‍යමත්, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැඟිම සඳහා ගනු ලබන ප්‍රයත්නය සැබවින්ම කිරුළු පලදින්නේ ලෝභ, ද්වේශ, මෝහ යන අප තුළම ඇති දුර්ගුණ පරදවා අලෝභ, අදෝෂ, අමෝහ, යන කුසල් දහම් මුල් කරගනිමින් නිදහස් නිවහල් ස්වාධීන චින්තනයක් ඔස්සේ සම්මා දිට්ඨියෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපැද පරම නිදහස වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමෙනි.

2600 වැනි සම්බුද්ධ ජයන්තිය සමරන මේ අවස්ථාවේ දී ආසියාවේ ආශ්චර්යමත් දේශය ගොඩනැඟීීමටත් ලෞකික මෙන්ම ලෝකෝත්තර නිදහස ද දිනා ගැනීමටත් ඇප කැප වෙමු.