අතීතයේ පැහැරගත්

අතීතයේ පැහැරගත් අපේ නිදහස

උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යෑමට වරම් ලැබූ ලාංකික උගතුන්ට එරට වැසියන් විඳින නිදහස හා එහි අගය වටහා ගත හැකි විය. ඒ තුළින් ඔවුන් තුළ ජාතික නිදහස පිළිබඳ උද්යෝගයක් ඇතිවී එය ලක්වැසියන් අතර පැතිරී ගිය බව පැහැදිලි වේ. මේ අනුව මේ රටේ උගතුන් අතර නිදහස පිළිබඳ අලුත් මඟක් පිළිබඳ මතයක් ඇති වූ බව පෙනේ. මේ ආකාරයේ නිදහස පිළිබඳ උද්යෝගයක් එවකට සිටි උගතුන් තුළ ඇති වූ බැවින් ඔවුන්ගේ සටන අමුතු ස්වරූපයක් ගෙන ඇත. ඒ අනුව ඉංග්‍රීසින්ගේ යුද්ධ සේනා බලය, ආයුධ බලය හා ලක්වැසියන්ගේ අනාථ තත්ත්වය ද සලකා බලා සාමකාමී ලෙස කරුණු දක්වමින් ජනතාවගේ අයිතිවාසිකම් ටිකින් ටික ලබාගෙන සාධාරණය ඉටු කරවා ගැනීමට ඔවුන් සිතුවා විය හැකිය. මේ අනුව එදා සිටි අපේ උගතුන් ඇරැඹූ ‘නිදහස් සටන’ ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක මුහුණුවර ගත්තේය.

අතීතයේ ජීවත්ව සිටි අපේ ජාතික වීරයන්ගේ උද්යෝගයෙන් 1948 පෙබරවාරි 04 වැනිදා අප දේශපාලන නිදහස ලැබූවත්, සැබෑ නිදහසක් භුක්ති නොවින්දෙමු. තිස් වසරක් තුළ පැවැති කුරිරු ත්‍රස්තවාදී යුද්ධය ද අපේ නිදහසට එල්ල කළේ බලවත් ප්‍රහාරයකි. 30 වසරක් මුළුල්ලේ අපි නිදහස සැමරුවද, එය කළේ බියෙන් සැකයෙන් හා මානසික වශයෙන් වේදනා විඳිමිනි. 2009 මැයි 18 වැනිදා කොටි ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීම තුළින් අපේ සැබෑ නිදහස දැන් යළිත් පණ ගන්වමින් තිබේ. වසර 40 ක් පුරා දේශපාලන අත්දැකීම්වලින් පරිපූර්ණ වු මහින්ද රාජපක්ෂ නායකයාණන්ගේ දූරදර්ශී එඩිතර ක්‍රියා මාර්ගයන් නිසා අපේ රටට සැබෑ නිදහස උදා කර ගැනීමේ මාවතට පය ගැසීමට දැන් කාලය පැමිණ ඇත. එතුමාගේ චින්තනය වී ඇත්තේ සංවර්ධනය මත පිහිටා රට හැදීම තුළින් රටට හා ජාතියට සැබෑ නිදහස උදා කර ගත හැකි බවය. “2005 මහින්ද චින්තනය” හා “2010 මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම” යන ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගෙන්ද ඉදිරිපත් කර ඇත්තේ ඒ සැබෑ නිදහස ළඟා කර ගැනීමේ ක්‍රමවේදයයි.

ශ්‍රී  ලංකාවාසී අපට 1948 පෙබරවාරි මස 04 වැනි දින නිදහස ලැබීමෙන් පසුව ගෙවී ගිය කාලවකවානුවෙන් අඩකට ආසන්න කාලයක් අපේ රටේ ජාතිවාදී ගැටුම් පැවතුණි. එම ගැටුම් නිමාවට පත්වී සාමකාමී වාතාවරණයකින් හෙබි රට අලුත් යුගයකට පා තබා ඇති පසුබිමකයි අප මෙසේ 64 වැනි ජාතික නිදහස් දිනය සමරන්නේ.

ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1640 දක්වා පෘතුගීසින්ගේද, 1640 සිට 1796 දක්වා ලන්දේසීන්ගේද, 1796 සිට 1948 පෙබරවාරි 04 දින දක්වා ඉංග්‍රීසින්ගේද පාලනයන්ට යටත්ව වසර 443 කට අධික කාලයක් එම අධිරාජ්‍යවාදී රැහැනින් වෙලී සිටි ලාංකිකයනට නිදහස ලැබුණේ අපේ අතීත වීරෝදාර ජනතාවගේ අඛණ්ඩ කැපවීමක හා අප්‍රතිහත ධෛර්යයකද ප්‍රතිඵල වශයෙනි. මෙයින් වසර 64 කට ඉහතදී අද වැනි දිනෙක අපට ආපසු ලැබුණේ එයින් වසර 132 කට කලින් එනම් 1815 මාර්තු මස 02 දා බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් විසින් උඩරට ගිවිසුම මගින් අපෙන් පැහැරගත් අපේ නිදහසය. 1802 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අත්පත් කරගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු 1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරට නායකයන් අතර ඇති කරගත් උඩරට ගිවිසුම මගින් උඩරට රාජ්‍යය අත්පත් කර ගත්හ. ඒ සමඟම සමස්ත ශ්‍රී ලංකා ධරණි තලයම ඉංග්‍රීසින්ගේ පාලනයට යටත්ව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විය.

1815 සිංහල – ඉංග්‍රීසි ගිවිසුමෙන් අධිරාජ්‍යවාදීන් මුළු රටම සිය අණසකට නතුකර ගනිද්දී දේශාභිමානයෙන් හා ජාතිකානුරාගයෙන් ඔද වැඩුණු ලාංකිකයෝ ස්වකීය නිදහස තකා අරගල කරන්නට වූහ. මේ අරගල හා උද්ඝෝෂණ 1815 සිට 1948 දක්වාම අඩුවැඩි වෙමින් හා විවිධ ස්වරූපයන්ගෙන් පැවතිණි.

මෙම අරගල පසුපස තිබූ මූලික හේතුව වූයේ ඉංග්‍රීසින්ගේ දරදඬු නීති රීති මගින් මේ රටේ ජනතාව වැඩි පීඩනයට පත්කර තිබීමයි. එදා ටොරින්ටන් සාමි වැනි ආණ්ඩුකාරයන්ට දුප්පත් ජනතාවගේ ප්‍රශ්න දුක්ගැනවිලි තේරුම් ගැනීමට හැකියාවක් නොවීය. ඔහු මේ රටේ අහිංසක ජනතාව තලා පෙළා බදු අය කළේය. “පාර බද්ද, තුවක්කු බද්ද, ඔරු බද්ද, බලු බද්ද” වැනි බදු අය කිරීම් මගින් ජනතාව පීඩනයට පත් කළේය. මෙම බදු අය කිරීම් කෙතරම් අසාධාරණ වූවා දැයි කිවහොත් නගරයේ කඩ සාප්පු, අශ්ව රථ, බරකරත්තවලට පමණක් නොව, නිවාසවල ඉස්තෝප්පුවලටද බදු ගෙවීමට නියම කෙරිණි. මේවායින් ඇතැම් බදු භික්ෂුන් වහන්සේලාටද පොදු විය.

මෙවැනි බදු අයකිරීම්වලින් පමණක් නොව, ඉංග්‍රීසින්ගේ දැඩි පාලනයට කුපිත වු ජනතාව ඇතුළු මේ රටේ ජනනායකයෝ පෙර පැවැති නිදහස උදාකර ගැනීමට මහත් උත්සාහයෙන්ද, අපරිමිත පරිත්‍යාගයෙන්ද බොහෝ කල් ක්‍රියා කළහ. එම අරගලය නිදහස් සටන නමින් හැඳින්විණි. ඒ අනුව අපේ නිදහස් සටන 1815 සිටම පැවැතියේ යැයි කිව හැකිය. අපේ රට සහමුලින්ම ඉංග්‍රීසින්ට යටත් වු දා පටන් ජාතියේ ස්වාධීනත්වය පැතූ දෑහිතැති වීර පුරුෂයෝ එය ලබා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළහ.

උද්ඝෝෂණ හා කැරැලි

ආචාර වෙඩිමුර

මෙම නිදහස් සටනේ ප්‍රබල අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ 1817 සැප්තැම්බර් මාසයේදී ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව උද්ගත වු ඌවේ කැරැල්ලය. මෙම කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා යැවූ කැප්පෙටිපොළ මහනිලමේ කැරලිකරුවන්ට එක්වීම නිසා 1818 ඔක්තෝබර් 30 වැනිදා ඉංග්‍රීසින් විසින් කැප්පෙටිපොළ නිලමේ අත්අඩංගුවට ගැනිණි. ඌවේ කැරැල්ලේ වීරයන් අතර ප්‍රමුඛස්ථානයට පත්වුයේ කැප්පෙටිපොළ දිසාවේය. මුල් වීරයන් අතරට ගැනුණු කැප්පෙටිපොළ දිසාවේ සහ මඩුගල්ලේ දිසාව කැරැලිකරුවන්ට අනුබල දුන්නේය යන චෝදනාව මත නඩු විභාග කොට 1818 නොවැම්බර් 26 දා හිස ගසා මරා දැමිණි. මෙසමයේ රටේ දේශපාලනික, සමාජ හා සංස්කෘතික වශයෙන් රටේ අවිධිමත් බවක් පහළවෙත්ම එයට එරෙහිව උද්ඝෝෂණ හා කැරැලි ගැසීම් වැඩිවන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිදහස් සටනේ පුරෝගාමියකු වු වීරපුරන්අප්පු 1848 අගෝස්තු 08 දා වෙඩි තබා මරා දමන ලද අතර, 1849 ජනවාරි 06 දා ගොංගාලේගොඩ බණ්ඩා වීරයාද මරණ දඬුවමට යටත් කරන ලදී. නිදහස පිණිස දිවි නොතකා සටන් කළ වුන් අතර, වාරියපොළ හිමි නමින් වු පැවිදි වීරයාද, හඟුරන්කෙත ඩිංගිරාළ ද ප්‍රකටව පෙනේ.

1818 දී කැප්පෙටිපොළ දිසාවගේ මෙහෙයවීමෙන් දියත් වූ සටන, 1848 දී ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන්අප්පු වැනි වීරයන් මෙහෙය වූ කැරැල්ල ශ්‍රී ලංකාවේ නිදහස් සටන් ඉතිහාසයේ වඩා වැදගත් තැනක් ගනී. 1818 කැරැල්ල කැප්පෙටිපොළ දිසාවේට මරණීය දණ්ඩනය ලැබීමෙන් අවසන් වූ අතර, ඔහු සිය දේශය, හා ජාතිය වෙනුවෙන් මරණයට මුහුණ දුන් අභීත නායකයෙක් විය. 1848 කැරැල්ලේදී ගොංගාලේගොඩ බණ්ඩා, වීරපුරන්අප්පු, නිකවෙල පුංචිරාළ, මල්පිටිගේ අප්පුහාමි, අලුත්ගම බණ්ඩා, අලවලගොඩ ලියෝමින්, බබාආරච්චි, කිරිබණ්ඩා ඇතුළු වීරයින් 17කුට මරණීය දණ්ඩනය නියම විය.

සිංහලයන්ගේ මෙම අරගල නිසා ඉංග්‍රීසිහු වඩ වඩාත් කෲරත්වයට පත්වුවත්, ලාංකිකයන්ගේ එඩිතර බව පිළිබඳව ඔවුහු විශ්මය පළ කළහ. එනිසාම “වීර කැප්පෙටිපොළ”ට කරන උපහාරයක් වශයෙන් ඔහුගේ හිස් කබල එංගලන්තයේ “එඩින්බරෝ” කෞතුකාගාරයේ තැබූවේ ඉංග්‍රීසින් විසිනි. 1848 මාතලේ කැරැල්ලෙන්පසු සිංහලේ නිදහස් සටන අඩපණ වූ බව පෙනේ. “මාර්ෂල්ලෝ” නැමැති යුද්ධ නීතියත්, ඉංග්‍රීසින්ගේ යුද්ධායුධ හා මනාසේ සංවිධානය කරන ලද යුද්ධ භට හමුදාත් නිසා නිදහසට කැමැති සිංහල වීරයන්ට හිස එසවීමට ශක්තියක් නොවීය. එකල පැවැති තත්ත්වය අනුව සලකන විට ඉංග්‍රීසින්ට විරුද්ධව නැගීී සිටීමේ ප්‍රවණතාවය සිංහලයන්ගේ අඩුවූ බව පෙනේ. මේ නිසාදෝ 20 වැනි සියවස ලබා වසර කිහිපයක් ගතවන තුරුත් නිදහසක් ලබා ගැනීමේ අදහසක් ජාතිය තුළ ඇති නොවූ බව සිතිය හැකිය.

කෙසේ නමුත් 20 වැනි සියවසේ මුල්කාලය තුළ රටේ වත් පොහොසත්කම් ඇති පවුල්වල දරුවන්ට ඉංග්‍රීසි භාෂාව, වෛද්‍ය විද්‍යාව, නීති ශාස්ත්‍රය වැනි විෂයයන් ඉගෙන ගැනීමට පහසුකම් ලැබීම තුළින් ඔවුන් එංගලන්තයට ගොස් එවැනි විෂයයන් හැදෑරීමට පටන් ගත්හ.

උසස් අධ්‍යාපනය

උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යෑමට වරම් ලැබූ ලාංකික උගතුන්ට එරට වැසියන් විඳින නිදහස හා එහි අගය වටහා ගත හැකි විය. ඒ තුළින් ඔවුන් තුළ ජාතික නිදහස පිළිබඳ උද්යෝගයක් ඇතිවී එය ලක්වැසියන් අතර පැතිරී ගිය බව පැහැදිලි වේ. මේ අනුව මේ රටේ උගතුන් අතර නිදහස පිළිබඳ අලුත් මඟක් පිළිබඳ මතයක් ඇති වූ බව පෙනේ. මේ ආකාරයේ නිදහස පිළිබඳ උද්යෝගයක් එවකට සිටි උගතුන් තුළ ඇති වූ බැවින් ඔවුන්ගේ සටන අමුතු ස්වරූපයක් ගෙන ඇත. ඒ අනුව ඉංග්‍රීසින්ගේ යුද්ධ සේනා බලය, ආයුධ බලය හා ලක්වැසියන්ගේ අනාථ තත්ත්වයද සලකා බලා සාමකාමී ලෙස කරුණු දක්වමින් ජනතාවගේ අයිතිවාසිකම් ටිකින් ටික ලබාගෙන සාධාරණය ඉටු කරවා ගැනීමට ඔවුන් සිතුවා විය හැකිය. මේ අනුව එදා සිටි අපේ උගතුන් ඇරඹූ ‘නිදහස් සටන’ ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක මුහුණුවර ගත්තේය.

1900 ගණන් වනවිට ලාංකිකයන්ගේ අරගලකාරී බව මුළුමනින්ම අඩුවී ගොස් නැවත 1908 පමණ වන විට ප්‍රජාතාන්ත්‍රීය මාර්ග ඔස්සේ නිදහස තකා සටන් කිරීම ආරම්භ විණි. මෙහි පළමු පියවර හැටියට සැලකිය හැක්කේ 1908 අවසාන භාගයේදී ලංකාවේ එවකට පැවැති ආණ්ඩු ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට ඉල්ලීමක් කරමින් සර් ජේම්ස් පීරිස් මහතා විසින් බ්‍රිතාන්‍ය රජයේ යටත් විජිත භාර මහලේකම්වරයාට සන්දේශයක් ඔප්පු කිරීමයි. මෙම අවදියේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා “ලංකා ජාතික සංගමය” පිහිටුවා ගත් බව පෙනේ. එම සංගමය මගින් 1921 දී අලුත් ව්‍යවස්ථාවක් යටතේ නිදහස පතා මහා උද්ඝෝෂණයක් පවත්වා ඇත. මෙම කාලයේ “යාපනයේ සංගමය” නමින් උතුරේද දේශපාලන සංගමයක් පිහිටුවා ඇත. මේ දේශපාලන ව්‍යාපාරයන් නිසා සාමාන්‍ය ජනතාව අතර ද දේශපාලන හැඟීම් ඇතිවන්නට විය.

මෙසේ ආරම්භ වූ නිදහස් ව්‍යාපාරය නිසොල්මන්ව හෙමින් සීරුවේ ව්‍යාප්ත වෙමින් යන අතරතුර 1915 වර්ෂය තුළදී සිංහල මුස්ලිම් අරගලය ඇතිවීමෙන් විශාල කෝලාහලයක් ව්‍යාප්ත විණි. මෙම කෝලාහලය මැඩපැවැත්වීම සඳහා ඉංග්‍රීසි ආණ්ඩුව යුද්ධ නීතිය අතට ගනිමින් සිංහලයන්ට දරුණු අසාධාරණකම් කරන්නට විය. මේ හේතුව නිසා එවකට සිටි සිංහල ප්‍රභූවරයන් තුළ නිදහස පිළිබඳ දැඩි උනන්දුවක් ඇතිවිණි. 1915 දී ඇති වූ මෙම අරගලය ජාතීන් දෙකක් අතර සිදුවූවද, රජය එය සලකණු ලැබූයේ රාජ්‍ය විරෝධී කැරැල්ලක් හැටියටය.

සුදු පාලකයන්

එනිසාම සුදු ජාතික පාලකයන් විසින් සිංහලයන්ට පමුණුවන ලද කෲර වධහිංසා අප්‍රමාණ විය. ඔවුන් අසරණ ගම්වාසීන් අල්ලා වෙඩි තබා මරා දැමුවා පමණක් නොව සිංහල ප්‍රභූන් සිරගත කිරීම්වලටද ලක් කළහ. ඇතැමුන් මරා දැමූහ.

මෙම සුදු පාලකයන්ගේ සහ ඔවුන්ගේ සහචරයන්ගේද අයුතු ක්‍රියා නිසා සිංහල ප්‍රභූන් තුළ ජාතියට නිදහස ලබා ගැනීමේ අධිෂ්ඨානය තව තවත් තහවුරු විය.

මෙම ප්‍රභූන් අතර සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් අරුණාචලම්, සර් පොන්නම්බලම් රාමනාදන්, සර් ඩී. බී. ජයතිලක, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඇෆ්. ආර්. සේනානායක, ඩී. ඇස්. සේනානායක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ඩි. ආර්. විජයවර්ධන ආදී ප්‍රභූන් රැසක් ප්‍රමුඛයෝ වුහ.

පසු කලෙක මෙම ක්‍රියාදාමයට මහත් උනන්දුවකින් එක් වූ තරුණ පිරිස් අතර එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඒ. ඇෆ්. මොලමුරේ, ජෝර්ජ් ඊ. ද සිල්වා, ආර්. එස්. එස්. ගුණවර්ධන, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි උගතුන්ද වුහ.

ජාති හිතෛෂීන්

මෙම උද්යෝගිමත් ජාති හිතෛෂීන් විසින් අරඹන ලද නිදහස් සටනේ ප්‍රතිඵලයක් වශයෙන් වරින්වර ලංකාණ්ඩු ක්‍රමය වෙනස්කම් කීපයකට භාජනය වී එක්තරා ප්‍රමාණයකට ලක්වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හිමි වු බව පැවසිය යුතුය. මෙම අවදියේ මෙහි නම් සඳහන් නොවූ තවත් ජාති හිතෛෂී ප්‍රභූන් රැසක් මෙම සටනට එක්වෙමින් එක්තරා ප්‍රමාණයක අයිතිවාසිකම් දිනා ගැනීමට ක්‍රියා කළහ. මේ ආකාරයේ ක්‍රියාදාමයන් තුළින් සැලකිය යුතු ජයක් හිමි කර ගැනීමට ද හැකි වු බව සඳහන් කළ යුතුය.

අවසන් අදියරේ දී එනම් 1944 වර්ෂයේ දී එංගලන්තයේ කම්කරු පක්ෂ ආණ්ඩුව විසින් මෙහි එවන ලද සෝල්බරි සාමි ප්‍රමුඛ කොමිසන් සභාව විසින් අභ්‍යන්තර කටයුතු පිළිබඳ සම්පූර්ණ පාලන බලය ඇති කැබිනට් ක්‍රමයේ ආණ්ඩු ක්‍රමයක් යෝජනා කළහ.

මෙම ආණ්ඩු ක්‍රමය යටතේ 1947 වර්ෂයේදී මන්ත්‍රීන් තේරීමක් පවත්වන ලදුව එහිදී ඩී. එස්. සේනානායක මහතා ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා මේ ආණ්ඩු ක්‍රමය ඔස්සේ කටයුතු කරමින් මාස කිහිපයක් තුළදී ශ්‍රී ලංකාවට සම්පූර්ණ නිදහස ලබා ගැනීමට සමත්විය. මේ අනුව ලංකාවට සම්පුර්ණ නිදහස අත්පත් කර දීමට එකඟ වු බ්‍රිතාන්‍ය රජය ඊට අදාළ රාජාඥාපනත් ඇතුළු වෙනත් නීතිරීති සම්පාදනය කොට එය ලංකාවට පවරා දීම සඳහා බ්‍රිතාන්‍ය මහරජතුමා වෙනුවෙන් එතුමාගේ සහෝදර ග්ලෝස්ටර්හි ආදිපාදතුමා සහ එම දේවිය ඇතුළු පිරිසක් මෙහි එවා 1948 පෙබරවාරි 04 වැනිදා ලක්වැසි ජනතාව නිදහස්, නිවහල් ස්වාධීන ජාතියක් බවට පමුණුවනු ලැබූහ.

විචක්ෂණශීලී බව

1948 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලාංකිකයනට නිදහස ලැබුණේ ඉන්දියාව ආදී ආසියාතික හා අප්‍රිකානු රටවල්ද අධිරාජ්‍යවාදීන්ගේ රැහැණින් මිදීමේ ප්‍රතිඵලයක්ද හේතුකරගෙන වුවත්, නිදහස පතා ලාංකිකයන් කරගෙන ආ අරගල අපට අමතක කළ නොහැකිය.

මක් නිසාද? මේ සටන් ඉතිහාසය පුරාම ජාතියේ ප්‍රෞඪත්වය, විචක්ෂණශීලී බව හා දේශාභිමානය පිළිබඳ හැඟීමද රැඳී ඇති නිසාය. 1928 ඩොනමෝර් කොමිසමේ යෝජනා තුළින් සර්වජන ඡන්ද බලය ලැබීමත් නිදහස් සටනේ ප්‍රතිඵලයක් වන අතර, 1972 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් වෙන් වු ස්වාධීන ජන රජයක් වීමත් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

අතීතයේ ජීවත්ව සිටි අපේ ජාතික වීරයන්ගේ උද්යෝගයෙන් 1948 පෙබරවාරි 04 වැනිදා අප දේශපාලන නිදහස ලැබූවත්, සැබෑ නිදහසක් භුක්ති නොවින්දෙමු. තිස් වසරක් තුළ පැවැති කුරිරු ත්‍රස්තවාදී යුද්ධය ද අපේ නිදහසට එල්ල කළේ බලවත් ප්‍රහාරයකි. 30 වසරක් මුළුල්ලේ අපි නිදහස සැමරුවද, එය කළේ බියෙන් සැකයෙන් හා මානසික වශයෙන් වේදනා විඳිමිනි.

සැබෑ නිදහස

2009 මැයි 18 වැනිදා කොටි ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීම තුළින් අපේ සැබෑ නිදහස දැන් යළිත් පණ ගන්වමින් තිබේ. වසර 40 ක් පුරා දේශපාලන අත්දැකීම්වලින් පරිපූර්ණ වු මහින්ද රාජපක්ෂ නායකයාණන්ගේ දූරදර්ශී එඩිතර ක්‍රියාමාර්ගයන් නිසා අපේ රටට සැබෑ නිදහස උදා කර ගැනීමේ මාවතට පය ගැසීමට දැන් කාලය පැමිණ ඇත.

එතුමාගේ චින්තනය වී ඇත්තේ සංවර්ධනය මත පිහිටා රට හැදීම තුළින් රටට හා ජාතියට සැබෑ නිදහස උදාකර ගත හැකි බවය.

“2005 මහින්ද චින්තනය” හා “2010 මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම” යන ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගෙන්ද ඉදිරිපත් කර ඇත්තේ ඒ සැබෑ නිදහස ළඟාකර ගැනීමේ ක්‍රමවේදයයි.

මේ ලැබුණ නිදහස ඉදිරියටත් රැක ගැනීමට නම් දැනට හිස ඔසවමින් පවතින බටහිර බලවේගවලට එරෙහිව ජනතාව පෙළගැස්විය යුතු අතර, මහින්ද චින්තනයෙන් පෙන්වා දී ඇති පරිදි ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාත්මික වශයෙන් සංවර්ධන ඉලක්කයන් ජයගෙන නිදහස් නිවහල් සමෘද්ධිමත් මාතෘ භූමියක ජීවත්වීමට මෙම 64 වන ජාතික නිදහස් දිනයේ අදිටන් කරගත යුතුය.