අසමතුලිතතාව අවම කිරීමට රජය දරන උත්සාහයේ ප්‍රතිඵලයක්

අසමතුලිතතාව අවම කිරීමට රජය දරන උත්සාහයේ ප්‍රතිඵලයක්

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 64 ක් සපිරීම සමරන්නේ ජයග්‍රහණ කිහිපයක් හමුවේය. නිදහස ලබනවිට මෙරට ජනගහනය ලක්ෂ 80 කි. අද වනවිට එය ලක්ෂ 200 ක් වී තිබේ. එතැනම ගත වූ වසර 64 ඇතුළත අපේ රටට මුහුණදීමට සිදුවූ අභියෝග ගැන ඉඟියක් ඇත. නිදහස ලබන විට මෙරට වත්කම් ඉහළම මට්ටමක විය.

විශේෂයෙන් කොරියානු යුද සමයේ රබර් මිල ඉහළයාම, දෙවන ලෝක යුද සමයේ අපට බ්‍රිතාන්‍යන්ගෙන් ලැබුණු විශේෂ ප්‍රතිපාදන වැනි දෑ පිළිබඳ සලකා බලන කළ ආසියාවේම සැලකිය යුතු වත්කමක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිතව තිබිණි.

අනෙක් අතට සුබසාධන කටයුතු සඳහා නිදහසටත් පෙර පටන්ම මුදල් ආයෝජනය කළ නිසා දැන් සහශ්‍ර සංවර්ධන ඉලක්ක ( ර්ච්ට්) ලෙස සලකන සාධක බොහොමයක් දිනා ගැනීමටත් අපට හැකිවී ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය, වාරිමාර්ග කෘෂිකාර්මික වැනි ක්‍ෂෙත්‍ර බොහොමයක් අපට ඉතා වාසිසහගත විය. නමුත් වාසිදායක නොවන දෑ ද තිබිණි. ඒ ජනතා වත්කම් විශාල ලෙස සහන මිලට ආහාර දීමට යොදා ගැනීම වැනි දෑය. දේශපාලනය සහ ලාබෙට ආහාර දීම අතර දැඩි සම්බන්ධයක් ද පැවැතියා පමණක් නොව අනාගතයට බලපාන අඳුරු සෙවණැල්ලක් බවටද පත්විය. මේ සුබසාධක ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය වූයේ ශීඝ්‍ර වර්ධනයක් ජනගහනය තුළින් දැකීමයි.

එක් පැත්තකින් දරු උපත් වාර්තාගත මට්ටමකට පැමිණි අතර මරණ සංඛ්‍යාව අවම මට්ටමකට ළඟා විය. වැඩි ජනගහනය සහ සුබසාධනය නිසාද සංවර්ධනය සඳහා ආයෝජනය කළ යුතු මුදල් සිතාමතා අඩු කිරීම නිසාද ක්‍රම ක්‍රමයෙන් ජනගහනය වැඩිවීමත් සංවර්ධන වේගය අඩුවීමත්, සුබසාධන ඉල්ලීම් වැඩිවීමත් අප ආර්ථිකයේ ලක්ෂණ බවට පත්විය.

ඉන්දියාවද අනුගමනය කළේ මේ හා සමාන ප්‍රතිපත්තියකි. එරට ආර්ථික සංවර්ධන වේගය 1% - 2% සීමා විය. අර්ථ ශාස්ත්‍රඥයන් විසින් මේ සංවර්ධන ක්‍රියාවලිය අවඥාවෙන් මෙන් හඳුන්වා දුන්නේ ‘හින්දු සංවර්ධන වේගය’ වශයෙනි. ඒ අනුව අපේ සංවර්ධන වේගය ‘බෞද්ධ සංර්ධන වේගය’ යැයි කිව හැකිය. මේ දෙකටම නූතන ලෝකයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමට නොහැකිය.

එම නිසා ක්‍රම ක්‍රමයෙන් 1970 ගණන් දක්වාම අප දෙරටේම ආර්ථිකයන් දෙසැත්තෙන්ම වියදම්වන දෙකොන විලක්කුවක් හා සම කළ හැකිය. නමුත් ජනගහනය වැඩිවීම නිසා පිපිරීමක් ඇතිවීම නොවැළැක්විය හැකි කාරණයක් විය. ඒ අනුව, ලංකාවේ ජවිපෙ පළමු අරගලය, ඉන්දියානු මහද්වීපයේ වංගදේශය නම් නව රාජ්‍යයක් බිහිවීම, ජාතිය ආගම හා භාෂාව මුල්කරගෙන අනුප්‍රාත්තවලට බලය ඉල්ලීම වැනි ප්‍රවණතාවයන්ද මතු විය. ඇත්තටම මේ ප්‍රවණතාවන්ට මූලික හේතුව ආර්ථික පසුබැස්මයි. ආර්ථිකය දියුණු නොවන විට වැඩිවන ජනයා බලාසිටියේ රජයේ රැකියා දෙසයි.

සංවර්ධනයේ එක් අදියරක්..

රජයේ රැකියා වැඩිවීම යනු නැවත ආර්ථික පසුබැස්මක් ඇතිවීමයි. 1980 ගණන් වනවිටත් අපේ කලාපයටම මේ උභතෝකෝටිකයට මුහුණ දීමට සිදුව තිබිණි. ඊට විසඳුම් ලෙස මධ්‍යගත රජයේ සැලසුම් ක්‍රියාත්මක කරන, නිලධාරීවාදය මත යැපෙන ආර්ථිකයක් වෙනුවට වෙළෙඳපොළ ආර්ථිකයට ( ර්චපඬඥබ ඡ්ජධදධථර ) අනුගත විය. මීට ප්‍රධාන හේතුව සමාජවාදයේ ප්‍රභේද ලෙස සලකන සාමකාමී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයත්, යුරෝපයේ කොමියුනිස්ට් පක්ෂයත් කඩා වැඩීම තුළින් නව වෙළෙඳපොළ මුල්කරගත් ආර්ථිකයක් නිර්මාණය වීමයි. ඊට භාවිතවන නව ලිබරල්වාදය ( ව්ඥධ - ඹ්ඪඡඥචතඪඵථ ) නම් වැරැදි යෙදුම වෙනුවට වෙළෙඳපොළ මුල්කරගත් ආර්ථිකයක් ( ර්චපඬඥබ ර්‍ණපඪඥදබඥඤ ඡ්ජධදධථර ) යන්න වඩා උචිතය. වෙළෙඳපොළ ආර්ථිකය තුළ වෙසෙසින්ම පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ නිපදවයි.

සමාජවාදී ආර්ථිකයක් තුළ රුසියානු කියමනකට අනුව අර්තාපල් ඉල්ලන විට ගල් අඟුරු ලබාදේ. ගල් අඟුරු ඉල්ලන විට ආර්තාපල් ලබාදේ. එවැනි විකෘති නිෂ්පාදන ඉලක්ක කඩා බිඳ දැමුවේ නව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය, ගොර්බචොව්ට පසු රුසියාව සහ විශේෂයෙන් චීනයේ ඩෙං ෂියාඕ පිංග්ගේ අත්හදා බැලීම් තුළිණි. නමුත් ලංකාව මෙන්ම ඉන්දියාවත් අපේ කලාපයේ සෙසු රටවලුත් 100% එම වෙළෙඳපොළ ආර්ථිකයට යොමු නොවීය. විශේෂයෙන් මහජනයාගේ අවශ්‍යතාවන විදුලිය, ජලය, සමාජ ආරක්ෂාව වැනි ක්‍ෂෙත්‍ර සෘජුවම රජයේ වගකීම් ලෙස සැලකේ.

නමුත් බොහෝ විට මෙවැනි ක්‍ෂෙත්‍ර අකාර්යක්ෂම විය. ඒ තුළින් අප කලාපයේ විශේෂී ලක්ෂණයක් පෙනෙන්නට ඇත. එනම් රාජ්‍ය ධනයෙන් විශාල ප්‍රමාණයක් පාඩුදායී ලෙස පවතින ප්‍රධාන ක්‍ෂෙත්‍රයන් සඳහා යෙදවෙද්දී රජයට ආදායම් ලබා දෙන්නේ ඊට පරිබාහිර වූ ක්‍ෂෙත්‍රයන් මඟින් බවයි.

ශ්‍රී ලංකාව නිදසුනක් ලෙස ගතහොත් අපට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය. සංචාරක ව්‍යාපාරය, වාණිජ කෘෂිකර්මය (තේ, රබර්) හා නව තාක්ෂණය මඟින්ද අපට ආදායම් ලැබෙමින් ඇත. පුදුමය නම් අපේ රාජ්‍ය අංශය මඟින් කිසිවක් මෙන් අපනයනය නොකිරීමයි. තවත් විදිහකින් කිවහොත් ඔවුන් මහජන මුදල් කාබාසිනියා කරන අතර රට වෙනුවෙන් කිසිවක් උපයන්නේ නැත. මේ නිසා අප ඉදිරිපිට ඇති ප්‍රධාන අනාගත අභියෝගය වන්නේ නිෂ්පාදනය ඉහළ නැංවීමයි. නිෂ්පාදනය ඵලදායිතාව වැඩි කළ යුතුය. මේ වන විට අපට ප්‍රධාන වශයෙන්ම ආදායම් ලැබෙමින් පවතින්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන මුදල් සහ සේවාවන් සැපයීම තුළිණි. එබැවින් නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීමට වගබලා ගැනීම බෙහෙවින්ම වැදගත්ය.

මෙහිදී එක් අතකින් සුබ ලකුණක් ලෙස පෙනෙන්නේ ජනගහන වර්ධනය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීමයි. දරුවන් තව තවත් හදන්නයි දේශපාලනඥයන් කොපමණ කෑ මොර දුන්නද විවිධ සමාජ ආර්ථික හේතුන් නිසා ජනගහනයේ විශාල වැඩිවීමක් සිදුවී නැත. විශේෂයෙන් අධ්‍යාපන පහසුකම් සැලසීමේදී ශ්‍රී ලංකාව මේ කලාපයේම ආදර්ශවත් රටක් ලෙස පැවතීමටත් කාන්තා අභිවෘද්ධිය උසස් මට්මක පැවතීමටත් මේ කාරණයද බලපා ඇත.

රැකියාවන්හි නියුතු හා රැකියා අපේක්ෂිත කාන්තාවන් දරු උපත් 1 – 2 කට සීමා කිරීම බොහෝ විට දක්නට ලැබේ. මේ තත්ත්වය රටේ ආර්ථිකයේ යහපතට මිස අයහපතකට හේතු වී නැත. මන්දපෝෂණය අඩු කීරිම ළමා හා මාතෘ සෞඛ්‍ය වඩා උසස් මට්ටමකට රැගෙන ඒම වැනි දෑ සිදු කළ හැක්කේද කුඩා පවුල් එක්ක ඇති විටයි. සංඛ්‍යා ලේඛන මඟින් පැහැදිලි වන්නේ කුඩා පවුල්වල දරුවන් විශාල පවුල්වල දරුවන්ට සාපේක්ෂව වඩාත් නිරෝගී බවයි.

මේ සියල්ල කිරීමට හැකි වූයේ දසක ගණනාවක් රටට පිළිලයක්ව තිබූ ත්‍රස්තවාදය අවසන් කරමින් යුද්ධය නිමාවට පත්කිරීමට සමත් වූ බැවිනි. 1948 දී අප නිදහස ලබන විට අපේ රට හැඳින්වුණේ ආසියාවේ දීප්තිමත්ම අනාගතය ඇති රට වශයෙනි. සිංගප්පුරුව, මැලේසියාව වැනි රටවල් පවා සිටියේ ශ්‍රී ලංකාව දෙස නෙත් දල්වාගෙනයි.

නමුත් එකී අපේක්ෂාවන් සිඳී බිඳී විසිරී ගියේ අපට විවිධ ජාති ආගම් හා ජනවර්ග අතර ඇති සම්බන්ධය නිසි ලෙස කළමනාකරණය කළ නොහැකි වූ බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදීව සෑම දෙනාටම එක් ඡන්දයක් හිමිවන්නේය යන නිර්ණායකය තුළ සෙසු ජනවර්ග අතර අවිශ්වාසයක් ඇතිවීම පුදුමයක් ද නොවේ.

රට එකසේසත් කළ රාජ්‍ය නායකත්වය

මක්නිසාද යත් එම ජන්ද ක්‍රමය තුළ ඔවුන් සදාකාලිකවම සුළුතරය ලෙස පවතින බැවිනි. වැඩි ඡන්දයක් හිමි ප්‍රමාණය හෙවත් බහුතරය සුළුතරයට කුඩම්මාගේ සැලකිලි දැක්වීම අභ්‍යන්තර අවුල් වියවුල්වලට පාර කැපීමකි. එමනිසා මේ ප්‍රශ්නය ඉතා සංවේදීව විසඳිය යුතු වෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ වසර 30 ක් තිස්සේ මේ රටට පිළිලයක්ව තිබූ යුද්ධය නිමා කිරීමට හැකිවීම අපේ අනාගතය දෙසට මනා නැඹුරුවක් ඇති කරන ඓතිහාසික කාරණයකි. එමඟින් නිර්මාණය වූ අවකාශය අපේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගැනීම සඳහා යොදාගත යුතුය. මේ විග්‍රහයට අනුව රටක් හැටියට අප විසින් අනාගතය උදෙසා අවධානය යොමු කළ යුතු ප්‍රධාන සාධක 2 ක් දැක්විය හැකිය. පළමුවැන්න නම් සෑම ක්‍ෂෙත්‍රකම ඵලදායිතාව ඉහළ නැංවිය යුතු බවයි.

දෙවැන්න අභ්‍යන්තරිකව විවිධ ජනකොටස් අතර ඇති යම් යම් භේදයන් සමනය කර ජනවාර්ගික ප්‍රශ්නය ලෙස හඳුනා ගන්නා ගැටලුව නිසි පරිදි කළමණාකරණය කිරිමයි. ඊටම සම්බන්ධ තවත් කාරණයක් වන්නේ නව ආර්ථික ප්‍රවණතා ඔස්සේ අපේ ආර්ථිකය කඩිනමින් දියුණු කර ගැනීමයි.

ආර්ථිකය දියුණු වන්නට වන්නට සෙසු ජනවර්ගවලට ඇති ගැටලු ද සමනය වනු නොඅනුමානය. ලොව සෑම තැනෙකම ජනවාර්ගික මුහුණුවරින් යුතු ගැටලු ඇතිවන්නේ සියලු දෙනාටම බෙදාගත හැකි පොහොසත්කමක් රටට අහිමි වූ විටයි. එවැනි ජනවාර්ගික මුහුණුවරින් යුතු ප්‍රශ්න මෙන්ම රට තුළ ප්‍රාදේශීය වශයෙන්ද ආර්ථික ප්‍රශ්න පෙනෙන්නට ඇත.

අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 50% ක් පමණ නිපදවන්නේ බස්නාහිර පළාතේ ය. එනම් කොළඹ , ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවලයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාගේ නායකත්වයෙන් යුතු අපේ රජයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේද එම දියුණු නොදියුණු පරතරය හෙවත් කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය හැකිතාක් තුරන් කිරීමයි. රජයේ ප්‍රතිපත්තියක් ලෙස ප්‍රාදේශීය සංවර්ධනය ඉහළම තැනකට රැගෙන ඒම පවතින්නේද එබැවිනි.

නිදහස් සමරුව දා විවෘත වන ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය මා දකින්නේද එම අසමතුලිතභාවය අවම කිරීමට රජය දරන උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි.

විශේෂයෙන් රජරට ආර්ථික වශයෙන් ගොඩනැඟීම සඳහා වූ පදනම දැන් යොදා අවසන්ය. යුද්ධය නිසා උතුරට සමීපවම තිබූ උතුර මැද පළාතේ අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කවලට උපරිම මට්ටමකට ළඟාවීමට අසීරු විය. යුද්ධය නිසා වැඩි වශයෙන් පීඩා වින්දේද මේ දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාවයි.

එම නිසා රජයේ ප්‍රතිපත්තිය අනුව මේ දිස්ත්‍රික්ක කඩිනමින් නැවතත් ප්‍රතිසංස්කරණය කිරීමේ වෑයම ‘දැයට කිරුළ’ මඟින් උපරිම වශයෙන් පිළිබිඹුවන බවද කිව යුතුය.