මහින්ද චින්තනයෙන් අප ලැබූ නිදහස

මහින්ද චින්තනයෙන් අප ලැබූ නිදහස

වීරෝදාර රණවිරුවන්ට නිවැරැදි දේ්ශපාලන නායකත්වය ලබා දෙමින් හා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදෙමින් දශක තුනක් තිස්සේ රට වෙලාගත් ත්‍රස්තවාදය වසර 2 1/2ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියටම සැනසුම් සුසුමක් ගත හැකි රටක් බිහි කරමිනි. මව් බිමට විජයග්‍රාහී ඒකීයභාවය දිනා දෙමින් සමස්ත ලෝකය පුරාම විනාශකාරී පිළිකාවක් ලෙස පැතිරී තිබූ ත්‍රස්තවාදය විශ්වයම විශ්මයට පත් කරමින් අවසන් කළ මේ අසහාය දේශ හිතෛෂී නායකයා ඉන් අනතුරුව දශක තුනක් තිස්සේ ගිලීයමින් තිබූ රට ගොඩනැංවීමේ මෙහෙයුම ආරම්භ කරන්නේය.

අද සමස්ත ශ්‍රී ලාංකිකයන්ට අති සුවිශේෂී වූ දිනයකි. ඒ අදින් වසර 64 කට පෙර අද වැනි පෙබරවාරි මස 4 වැනිදාවක වසර 133ක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ යටත් වැසි රටක් වූ ශ්‍රී ලංකාවට ඔවුන්ගේ නිදහස ලැබීමේ දිනය ස්මරණය කිරීමයි.

එදා සිට අද දක්වා ගෙවුණු සෑම වසරකම පෙබරවාරි මස 4 වැනිදා අප ඒ අපට උදා වූ නිදහස සංකේතවත් ලෙස එදින සමරනු ලබන්නේය. 1948 ශ්‍රී ලාංකිකයන් ලැබූ ඒ නිදහසට අදට වසර 64 කි. 1815 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් වැසි රටක් වීමට පෙරද ඉතිහාසයේ කිහිප විටක්ම මේ ඉන්දු සයුරේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලැබූ පුංචි දිවයින විවිධ ජාතීන්ගේ හා ආක්‍රමණිකයන්ගේ ගොදුරක් බවට පත්වූ බව ඉතිහාසය විසින් අපට පසක් කරන්නේය. ඉතිහාසය පෙන්වා දෙන අයුරු අප රට ක්‍රිස්තු පූර්ව පළමුවැනි ශතකයේ ද එළාර නමැති රජකු විසින් ආක්‍රමණය කරනු ලබන්නේය. එවක ශ්‍රී ලංකාවේ අග නගරය වූයේ අනුරාධපුරයයි. අගනගරය ප්‍රමුඛ මුළු රජරට පළාතම තම යටත් රාජ්‍යයක් කර ගන්නා මේ රජතුමා විසින් ජනතාව හා බුදු සසුනට දැවැන්ත හානියක් සිදු කරන්නේය. මේ ව්‍යසනයෙන් රටවැසියාත් රජරටත් බුදු සසුනත් බේරා ගැනීම සඳහා රුහුණේ මාගම තම රාජ්‍ය කොටගත් කාවන්තිස්ස රජුගේ පුත් දුටුගැමුණු කුමාරයා එළාර සමඟ සටනට බට එළාර පලවා හැර රට නිදහස් කර ගත්තේය.

නැවත වරක් අප ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදීම ආක්‍රමණයකට මුහුණ දෙන්නේය. එවර නැවත රට බේරාගන්නට වළගම්බා රජු කටයුතු කරන්නේ මලය රටේ සිට සිංහල සේනාවන් රැස්කොට නීය නම් කැරලිකාර බ්‍රාහ්මණයා ඇතුළු යුද හමුදාවන් පරාජයට පත් කරමිනි. මෙලෙසට දකුණු ඉන්දියාවේ සොලී නම් ආක්‍රමණික හමුදාවක් නැවත වරක් ක්‍රි.පූ. 997 දී අප දේශය ආක්‍රමණය කරන්නේය. සොලීන් රජරට පාලනය තම යටතට පත්කරගෙන රටේ සියලුම ධන ධාන්‍ය සම්පත් සූරාකමින් වැසියන් අන්ත අසරණභාවයට පත්කරමින් ගෙන ගිය පාලනයට එවර තිත තබන්නේ මෙරට අතිවිශිෂ්ටතම පාලකයකු වූ කීර්ති කුමරු නොහොත් විජයබාහු මහරජතුමාය.

පසුව රජරට අගනගරය පොළොන්නරුවට ගෙන යන අතර ඊළඟ ආක්‍රමණිකයෝ මේ භූමි තලයට පැමිණෙන්නේ මේ යුගයේය. ක්‍රි. ව. 1243 දී කාලිංග මාඝ නම් අති බිහිසුණු ආක්‍රමණිකයෝ පොළොන්නරුව යටත් කොට සමස්ත රජරටම ඔවුන් අතට පත්කර ගත්තේය.

මේ ආක්‍රමණිකයෝ කෙතරම් දරුණු ලෙස තම පාලනය ගෙන ගියාද යත් වෙහෙර විහාර පුස්කොළ පොත් ගම්බිම් විනාශ කරමින් අති බියකරු පාලනයක් ගෙන යන්නෝය. එවරද තවත් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් වන දෙවැනි පැරකුම්බා නරපතිඳු විසින් මේ කුරිරු පාලකයෝ හා සටන් කොට ඔවුන් පළවා හැර රට නැවත මුදා ගත්තේය. එවර මේ නරපතියා විසින් පොළොන්නරුව අතහැර දඹදෙණිය නව රාජධානිය කොට ගෙන රජකම් අරඹන්නේය. යාපනය පළමු වරට වෙනම පාලනයක් ඇරඹෙන්නේ මේ යුගයේදීය. ක්‍රමයෙන් රාජ්‍යයන් දකුණට සංක්‍රමණය වන අතර 1415 දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රටේ පාලන මධ්‍යස්ථානය බවට පත් කරමින් සයවැනි පැරකුම්බා රජු රාජ්‍ය අරඹන්නේය. යාපනයේ වෙනම පාලනයක් පැවතීම හිසරදයක් කොටගත් සවැනි පැරකුම්බාවෝ තම සේනාධිපති සපුමල් කුමරු සමඟ සේනා පිටත් කර එහි පාලකයන් හා සටන් කොට වන්නි ප්‍රදේශය හා යාපනය යටත් කොට පොළොන්නරු යුගයෙන් පසු එතෙක් දෙකඩ වී තිබූ රට නැවත එක්සේසත් කිරීමට කටයුතු කරන්නේය. එදා යාපනය මුදාගත් මේ සපුමල් කුමාරයා පසුව 6 වැනි බුවනෙකබාහු නමින් රජවන්නේය.

වෙළෙඳ ද්‍රව්‍ය

1505 දී පරංගීන් ලක්බිමට ගොඩ වදින්නේය. කුරුඳු ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය ලබා ගැනීමත් ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීමත් ප්‍රමුඛ කාර්ය කොට ගන්නා මේ පරංගීන් දකුණේ නායකයන්ගේ බලකාමය තේරුම් ගෙන ක්‍රමයෙන් මුහුදුබඩ පෙදෙස් ඔවුන්ගේ පාලනයට නතු කර ගැනීමට සමත් වන්නේය.

1470 දී සේනා සම්මත වික්‍රමබාහු රජු සෙංකඩගල මුල්කරගෙන උඩරට වෙනම රාජ්‍යයක් ගොඩනගා ගත් අතර පෘතුගීසීන් ක්‍රමයෙන් කෝට්ටේ පාලකයන් මුලා කොට අවසානයේ දොන් ජුවන් ධර්මපාල ලවා කෝට්ටේ රාජ්‍යය පෘතුගීසීන් විසින් තම පාලනයට ලියැවිල්ලකින් පවරා ගත්තේය. මේ සිදුවීමත් සමඟම 1543 දී ධර්මපාල කුමරු බුදුදහමද අතහැර ක්‍රිස්තු භක්තිකයකු බවට පත්වූ අතර සීතාවක පාලකයාව සිටි සීතාවක රාජසිංහ රජු පෘතුගීසීන් හා සටන් කරමින් තම මරණය දක්වා සීතාවක ප්‍රදේශය ආරක්‍ෂා කර ගත්තේය. අවසානයේ එම රජුගේ මරණින් පසු සීතාවක ප්‍රදේශය ද තම පාලනයට ඈඳා ගන්නා පෘතුගීසීහු මුළු පහතරටම තමන්ගේ බල පරාක්‍රමයට යටත් කර ගත්තේය.

මේ වන විට දකුණේ පෘතුගීසි පාලනයක් ද උතුරේ වෙනම රාජ්‍යයක් ද උඩරට සිංහල රාජ්‍යයද විය. උඩරටට කන්ද උඩරට, පස්රට හා මඩකලපු ප්‍රදේශ අයත් විය.

1639 වකවානුව වන විට වෙළෙඳ සංක්‍රමණිකයන් පිරිසක් ශ්‍රී ලංකා භූමිතලයට ගොඩවන්නේය. ඒ ලන්දේසි ජාතිකයන්ය. ලෝකයේ මුහුදු ගමන්වලදී ශ්‍රී ලංකාව අතිශය වැදගත් සංධිස්ථානයක් නිසා සෑම ජාතියකටම මේ පුංචි දිවයින ඔවුන්ගේ කටයුතු කරගෙන යෑමේදී ඉතා වැදගත් භූමියක් විය.

ඒ අනුව පෘතුගීසි හා ලන්දේසි සටන් පැතිරී ගිය අතර අවසානයේ 1658 වකවානුව වන විට ලන්දේසි ඵලය ඉස්මතුවී පෘතුගීසීන්ට රට හැරයන්නට විය.

මේ අනුව මෙතෙක් කලක් පෘතුගීසීන්ට අයත්ව තිබූ සියලුම භූමිය ඇතුළු සම්පත් සියල්ල ලන්දේසීන් සතු වූ අතර තමන්ට හැකි උපරිමයෙන් රටේ සම්පත හූරා කන්නට විය. 1796 වන විට ශ්‍රී ලංකාව ප්‍රබලතම විදෙස් ආක්‍රමණයකට යටත් වන්නේය. ඒ ඉංගී‍්‍රසීන් මෙරටට සේන්දු වීමය. ලන්දේසීන් සතු වූ සියලු භූමි කොටස් ලන්දේසීන් පළවා හැර ඉංගී‍්‍රසීහු ඒවා පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම යටතට පත්කරගෙන පාලනය කරන්නට විය. 1798 වසරේදී එම සමාගම යටතේ පාලනය වූ කොටස හිරු නොබසින අධිරාජ්‍යය ලෙස විරුදාවලිය ලත් බ්‍රිතාන්‍යයේ පාලනයට යටත් කර ගන්නා ලදී.

උඩරට රාජ්‍යයේද මේ වන විට යම් යම් ගැටුම් ඇතිවෙමින් තිබිණි. උඩරට විසූ රදළයන් විසින් බල ලෝභයෙන් කටයුතු කිරීම නිසා අවසානයේ උඩරට රාජ්‍යයේ බලය ඉන්දියාවේ සිට පැමිණි නායක්කාර් වංශිකයන්ට අයත් විය. රජකම වඩුග නායකයන්ගෙන් තමන්ට ලබා ගැනීම සඳහා උඩරට රදලයන් කටයුතු කළ අතර මේ සඳහා ඔවුන් පහතරට බලය අත්පත් කරගෙන සිටි ඉංගී‍්‍රසීන්ගේ පිහිට පැතීමද සිදු විය. මේ අවස්්ථාවේදී ඉංගී‍්‍රසීන් ද තමන්ට උඩරට කැරලිකාර රදළයන්ට තමන්ගේ උදව් පදව් ලබාදී ඔවුන් තමන්ගේ අණසකට නතු කර ගත් අතර මෙතෙක් කිසිදු විදේශීය ජාතියකට නොහැකි වූ උඩරට රාජ්‍යයේ බලයද ඉහත රදලයන්ගේ මෝඩ නායකයන්ගේ ක්‍රියා හමුවේ උරුම කර ගැනීමට ඉංගී‍්‍රසීන් කැමැති වන්නේය. 1815 වසරේදී උඩරට රදලයන්ගේ කැමැත්ත අනුව ඉංගී‍්‍රසීන් විසින් ගිවිසුමකින් එම රාජ්‍යයේ බලය ලබා ගත් අතර අවසානයේ සමස්ත ශ්‍රී ලංකාද්වීපයම බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විය.

මේ ගිවිසුම ප්‍රකාර රදලයන්ගේ වරප්‍රසාද එකින් එක කඩා දැමීමට බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු කළ අතර අවසානයේ 1818 වන විට ඉංගී‍්‍රසීන්ට එරෙහිව කැරළි ගැසීම් ආරම්භ විය.

ඉංගී‍්‍රසීන් පළවා හැර ශ්‍රී ලංකාව නිදහස් දේශයක් බවට පත්කර ගැනීම සඳහා මෙසේ ඇරැඹි කැරළි තීව්‍ර බවට පත්වූ අතර මේ සඳහා දේ්ශහිතෛෂී ජාති හිතෛෂි නායකවරු පෙරමුණ ගත්හ. රටට නිදහස දිනා ගැනීමේ සටන්වලදී වාරියපොල සුමංගල හිමි, ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර කැප්පෙටිපොල, විරපුරන්අප්පු යන චරිත කැපී පෙනුනේය. අවසානයේ ඔවුන් ඉංගී‍්‍රසි පාලකයන් හමුවේ පසු බැස ජීවිතයෙන් පවා වන්දි ගෙවූයේ රටේ උත්තරීතර නිදහස උදෙසාය.

නිදහස

1949 පැවැත්වූ නිදහස් උළෙල

සටන් කිරීමෙන් දිනාගත නොහැකි වූ නිදහස පරිපාලන ප්‍රතිසංස්කරණ මගින් ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ 20 වැනි සියවසේ මුල් කාලයේය. අනගාරික ධර්මපාලතුමා මෙහි ආරම්භකයා වූ අතර ඒ ඇරඹි ව්‍යාපාරයෙන් ජනතාව තුළ ජාතික හැඟීම් වර්ධනය වන්නට විය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, පොන්නම්බලම් අරුණාචලම්, මොහොට්ටිවත්තේ ගුණානන්ද, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ආචාර්ය ටී. බී. ජයා, එෆ්. ආර්. සේනානායක, හෙන්රි ස්ටීල් ඕල්කට්, පියදාස සිරිසේන, ඊ. ඩබ්ලිව්. පෙරේරා, සර් ඩී. බී. ජයතිලක, ආනන්ද සමරකෝන්, ඒ. ඊ. ගුණසිංහ, පිලිප් ගුණවර්ධන, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ආදීන්ගේ කැපවීම්වල අනගි ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාව යළි නිදහස් රටක් ලෙස අභිෂේක ලබන්නේය.

විදෙස් බලවේග

1970 දශකයේ අගභාගයේ දී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන රාජ්‍ය පාලන සමයේ දී නැවත වරක් රට දෙකඩ වන්නේය. ඒ උතුරු පළාත කේන්ද්‍රගත කරමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති මිනිස් ඝාතකයා ඇරැඹූ ඊනියා ඊළාම් සටනත් සමඟය.

මේ එල්ටීටීඊය නමැති ත්‍රස්තවාදී සංවිධානයෙන් හා ප්‍රභාකරන්ගෙන් උතුරු පළාත බේරා ගැනීමට ජයවර්ධන රජය සටන් ඇරඹු අතර ටිකෙන් ටික එල්.ටී.ටී.ඊ බලය නැඟෙනහිර පළාතද වෙලා ගන්නා අතර ජයවර්ධන පාලනයෙන් පසු ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ද ඊට පසු ඩී. බී. විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ද මේ වසංගතයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තේය. ලක්‍ෂ ගණනකගේ ජීවිත බිලි ගනිමින් රාජ්‍ය, පෞද්ගලික මෙන්ම දේ්ශපාලන නායකයන් ද විනාශ කරමින් රට ඉතා අවාසනාවන්ත තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේය. මෙහි උච්චතම අවස්්ථාව උදාවන්නේ 2001 වසරේදීය.

ඒ එදා උඩරට රදළයන් ගිවිසුමකින් ඉංගී‍්‍රසීන්ට රට පාවා දුන්නා සේම මෙදා රනිල් වික්‍රමසිංහ නමැති අගමැතිවරයා සාම ගිවිසුම නමැති ඊනියා ලියැවිල්ලක් තුළින් උතුරු නැඟෙනහිර බලය එල්.ටී.ටී.ඊ සංවිධානයට ලියාදී රට දෙකඩ කිරීමය.

මේ සිදුවීමත් සමඟ උ/නැ කොටස සමඟ විදෙස් බලවේග ද ඍජු සම්බන්ධකම් ආරම්භ කරන අතර එල්.ටී.ටී.ඊ රෝහල්, පාසල්, පොලිසි, ප්‍රවාහන සේවා, බැංකු සහ හමුදාවන්ද ඇතුළුව සම්පූර්ණ රාජ්‍යයක තත්ත්වයට උ/නැ පත්වන්නේය.

හෙටක් ගැන සිතිය නොහැකිව මුළු රටම ත්‍රස්තවාදය නැමැති භයානක අන්ධකාරයේ ගිලෙමින් තිබියදී 2005 වසරේදී ජාත්‍යානුරාගයෙන් මෙන්ම ජාතිවාත්සල්‍යයෙන් අනූන වූ වීරෝදාර දේශහිතෛෂී නායකයෙක් මේ රටේ බලයට පත් වන්නේය. මහින්ද රාජපක්‍ෂ නම් වූ මේ නායකයා පළමුවත් රට, දෙවනුවත් රට, තෙවනුවත් රට කියා මේ පුංචි දිවයිනේ නායකත්වය භාර ගත්තේය. අභීත, එඩිතර මේ නායකයා විසින් පළමුව රටට පිළිලයක් වෙමින් තිබූ ත්‍රස්තවාදය විනාශ කිරීමේ මෙහෙයුම අරඹන්නේය.

වීරෝදාර රණවිරුවන්ට නිවැරැදි දේ්ශපාලන නායකත්වය ලබා දෙමින් හා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙමින් දශක තුනක් තිස්සේ රට වෙලාගත් ත්‍රස්තවාදය වසර 2 1/2ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියටම සැනසුම් සුසුමක් ගතතහැකි රටක් බිහි කරමිනි.

මව්බිමට විජයග්‍රාහී ඒකීයභාවය දිනා දෙමින් සමස්ත ලෝකය පුරාම විනාශකාරී පිළිකාවක් ලෙස පැතිරී තිබූ ත්‍රස්තවාදය විශ්වයම විශ්මයට පත් කරමින් අවසන් කළ මේ අසහාය දේශ හිතෛෂී නායකයා ඉන් අනතුරුව දශක තුනක් තිස්සේ ගිලීයමින් තිබූ රට ගොඩනැංවීමේ මෙහෙයුම ආරම්භ කරන්නේය.

මහින්ද චින්තන නමැති ඉතා දාර්ශනික වූත් කඩිනම් වූත් හැඳින්වීමක් තුළින් රට පෙරට ගෙන යෑමේ ගමන අරඹන අතර ඒ සඳහා මහින්ද රාජපක්‍ෂයන් සතු රාජ්‍ය පාලනයේ ඇති සුවිශේෂ දැක්මද මනාව සංයෝග කරන්නේය.

රටේ තිරසාර සංවර්ධනයේ ප්‍රථම අංශය ලෙස එතුමා වටහා ගන්නේ කෘෂිකර්මාන්තයයි. ඒ අනුව සහලින් හා ආහාරවලින් මෙහෙයුම් ඇරඹිණි. විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් කුඩා පාසල් දරුවාගේ සිට මහල්ලා දක්වා සෑම පුද්ගලයකුම දායක කර ගනිමින් කෘෂිකර්මාන්තයෙන් රට ස්වයං පෝෂිත කිරීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වන්නේය.

කෘෂිකර්මාන්තයේ විපුල ඵල ලැබෙමින් තිබෙන විට එතුමා තම දැක්ම රටේ යටිතල පහසුකම් දෙස යොමු කරන්නේය. ඒත් සමඟ ගම් නියම් ගම්වල මෙතෙක් අහිමි පාරවල්වල පැවැති සියලුම මාවත්වල සිට ලොව සුපිරි රටවල පමණක් මෙතෙක් දිග හැරුණු අධිවේගී මාර්ගයන් ද ශ්‍රී ලංකාවේ ඉදි විය.

මඟ පෙන්වීම

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ද වේගවත් සංවර්ධනයක් ලැබුවේ ජනපති මහින්දගේ මඟ පෙන්වීම යටතේය. ඒ අනුව නව බස් රථ ලංගම සඳහා එක්කිරීම, පැරැණි බස් රථ ප්‍රතිසංස්කරණය කිරීම, ගමට බස්, පාසල් දරුවන්ට, කාන්තාවන්ට, කාර්යාල සේවා වැනි බස් රථ සේවා ආරම්භ කිරීම, දුම්රිය සේවය කාර්යක්‍ෂම කිරීම සහ අලුත් දුම්රිය ගෙන්වා මගී තදබදයට විසඳුම් ලබාදීම ද නව දුම්රිය මාර්ගයන් ඉදිකර රට පුරාම දුම්රිය සේවය ව්‍යාප්ත කිරීමට පියවර ගැනීමද විශේෂයෙන් පෙන්වා දිය හැකි සංවර්ධන ව්‍යාපෘතීන්ය.

වරාය හා ගුවන්තොටුපළ අංශය ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ වේගවත් සංවර්ධනයක් පෙන්නූ තවත් ක්ෂේත්‍රයකි. කොළඹ දකුණ වරාය සංවර්ධනය කිරීම, කොළඹ වරාය පුළුල් කිරීම, නැෙඟනහිර පළාතේ ඔලුවිල් වරායේ ඉදිකිරීම් ඇරැඹීම, හම්බන්තොට වරාය ඉදිකිරීම, කන්කසන්තුරේ වරාය ඉදිකිරීම ඇරඹීම, ගාලු වරායේ සංවර්ධන කටයුතු ඇරඹීම සහ ඒ හා සම්බන්ධව රැකීරක්‍ෂා විශාල ප්‍රමාණයක් බිහි කිරීම ද ඉතා ප්‍රශංසනීය කටයුත්තකි. බණ්ඩාරනායක ගුවන් තොටුපළ නවීකරණය කිරීම හා මත්තල නව ගුවන්තොටුපළක් ආරම්භ කිරීම ද ඉතා සුවිශේෂී සංවර්ධන කාර්යයන්ය. මෙම වරාය සහ ගුවන් තොටුපළවල් ඉදි කිරීමත් සමඟම සංචාරක කර්මාන්තය වැඩිදියුණු වීම හා වැඩි ගුවන්යානා ප්‍රමාණයක් ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීම තුළින් රටට ආදායම් ගලා ඒමට සැලැස්වීම මේ දුරදක්නා නුවණක් හිමි නායකයාගේ මෙහෙවර අතරට එක්වන්නේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ද කළ මෙහෙවර රැසකි. ප්‍රධාන රෝහල්වල පැවැති අඩුපාඩුකම් සකස් කිරීම සහ නව රෝහල් ඉදිකිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍ය උදෙසා හිතකර කාර්යයකට මුල පිරුවේය. ඒත් සමඟම වෛද්‍යවරුන් සඳහා විශේෂ පුහුණුවීම් හා නව තාක්‍ෂණය හා උපකරණ ලබාදීම තුළින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය ලෝකයේ ප්‍රධාන ස්ථානයකට ඔසවා තබන්නට මහින්ද චින්තනය හමුවේ හැකි විය.

ගැබිනි මවුවරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම, ළමා සෞඛ්‍ය වෙනුවෙන් වැඩි පහසුකම් සැලසීම, සේලයින් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් නිරෝගිමත් ජනතාවක් උදෙසා කළ සේවය අපමණය.

ඉසුරු පාසල්, නවෝද්‍යා පාසල්, ජාතික පාසල් යන සංකල්ප හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ අනාගතය භාරගැනීමට සිටින දරු පරපුරේ අධ්‍යාපනය උදෙසා ද මහඟු මෙහෙවරක් කිරීමට ජනාධිපතිවරයා අපමණ වෙහෙසක් දැරීය. මානව හා භෞතික සම්පත්වලින් සපිරි පාසල් පද්ධතියක් රට පුරා පිහිටුවාලීම සඳහා අවශ්‍ය ගුරුවරු බඳවා ගැනීම, ඉගෙනුම් උපකරණ ලබාදීම, ගොඩනැඟිලි, විද්‍යාගාර පහසුකම්, පුස්තකාල හා පරිගණක පහසුකම්, ක්‍රීඩාංගණ, ක්‍රීඩා උපකරණ ප්‍රමාණවත් පරිදි නගරබද මෙන්ම ගම්බද පාසල්වලට ද ලබාදෙමින් එදා කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය විනාශ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ මෙරට දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා යන විරුදාවලිය ද ලබමිනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෘත්තීය පුහුණු ආයතනය, සහ තොරතුරු තාක්‍ෂණය යන ක්ෂේත්‍ර ද නව ලොවට ගැළපෙන ලෙස ගොඩනැංවීමට අවශ්‍ය උපදෙස් හා අනුග්‍රහයන් ලබා දුන්නේ හොඳම දේ දරුවන්ට ලබාදීමේ පවිත්‍ර චේතනාවෙනි.

එදා විදුලි එළියක් පෙනෙන තෙක් මානයක නොතිබුණු ඈත දුෂ්කර ගම් නියම්ගම්වලට විදුලිය ලබාදී එම ජනතාව අඳුරෙන් ආලෝකයට ගැනීමට මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට හැකි විය. කෙරවලපිටිය විදුලි බලාගාරය, ඉහල කොත්මලේ විදුලි බලාගාරය, නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ඇතුළු ග්‍රාමීය විදුලි බලාගාර රාශියක් ස්ථාපිත කරමින් ජාතික විදුලිබල පද්්ධතිය ශක්තිමත් කිරීමට කළ මෙහෙය උත්කෘෂ්ඨය.

රාජ්‍ය සේවය

වල් වැදී තිබූ මෙරට රාජ්‍ය සේවයට නව පණක් ලබාදීමට ජනාධිපතිතුමාට හැකියාව ලැබිණි. ඒ අනුව රජයේ සේවක වැටුප් ඉහළ දමමින් විශ්‍රාම වැටුප් ක්‍රම ආරක්‍ෂා කරදී රාජ්‍ය සේවයට අලුතින් විශාල පිරිස් බඳවා ගැනීම සිදු කරමින් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට පියවර ගත්තේය. ණය පහසුකම්, රක්‍ෂණ පහසුකම්, වැටුප් වර්ධක, රෝහල් පහසුකම් හා විදෙස් අධ්‍යාපනය ඇතුළු වරප්‍රසාද රාශියක් තුළින් රාජ්‍ය සේවකයා ගෞරවාන්විත තත්ත්වයට ගෙන ඒමට ක්‍රියා කළේය.

නව ආයෝජකයන් රට තුළට කැන්දාගෙන එමින් පෞද්ගලික අංශයේ රැකියා සුරක්‍ෂිත කිරීමට පියවර ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බදු සහන ණය පහසුකම් ලබාදීම තුළින් දේ්ශීය ආයෝජකයන්වද ආරක්‍ෂා කර දෙන්නට ක්‍රියා කළේය.

වැළලී යමින් තිබූ මෙරට සමාජ සාරධර්ම ආරක්‍ෂා කිරීම උදෙසාද අපමණ සේවාවක් ඉටු කළේ ය. මතට තිත සංකල්පය තුළින් දැහැමි සමාජයක් ගොඩනැඟීමේ ආරම්භක පියවරක් තැබුවේය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් අප රට තුළට පමණක් කොටු නොවී අපට හිතැති අප ගැන උනන්දු ජාත්‍යන්තර හිතවතුන් පිරිසක් ද ගොඩනඟා ගත්තේය. එදා නායකයෝ බටහිර රටවල්ම සොයා යද්දී වත්මන් නායකයා සැබෑ හිතවතුන් ළංකර ගත්තේය. ඒ අනුව ඉරානය, මැලේසියාව, වියට්නාමය, චීනය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින, දකුණු අපි‍්‍රකාව, වෙනිසියුලාව, ජපානය, පාකිස්ථානය, කියුබාව හා ලිබියාව වැනි රටවල් අප රට සමඟ දැඩි මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගත්තේය.

ලොව ඕනෑම ජාතියක ඉතිහාසය හා සසඳන කළ ශ්‍රී ලාංකිකයන්ද අනභිභවනීය ඉතිහාසයකට උරුමකම් කියන අභීත ජාතියකි. එහෙත් පසුගිය කාලයේ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා හමුවේ අප සතු උදාර ශිෂ්ටාචාරය සතු ඇවතුම් පැවතුම් ක්‍ෂයවී ගිය අතර අප සතු ජාතික අභිමානය ද දියාරු වන්නට පටන් ගත්තේය. ඒ යටපත් වෙමින් තිබූ උදාර හැඟීම් යළිත් විකසිත කරමින් ශ්‍රී ලංකාවට සැබෑ නිදහස ලෝකයට විවර කළේ මහින්ද රාජපක්‍ෂයන් සතු දුරදර්ශී චින්තනය නිසාමය.

අවසාන වශයෙන් රජරට උපන් කෙනෙකු හැටියට නිදහස් උළෙල සහ දැයට කිරුළ ප්‍රදර්ශනය අනුරාධපුරයේ පැවැත්වීම ගැන අතිශයින් සතුටුවන අතර ඒ පිළිබඳව ජනාධිපතිතුමාට සහ රජයට ස්තුතිවන්ත වෙමි.